මේ කතාව ලියන්න හිතුනෙ සමූහයේ දාල තිබුන ටැටූ ගැන කතාවක් නිසා.
මේ කතාව වෙන්නේ මීට අවුරුදු කීපයකට කලින් මට පත්වීම් ලැබුන කාලයේ. නුගේගොඩ අවට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මාගේ හිත මිතුරු වෛද්‍යවරයෙකුට නොවැළැක්විය හැකි හේතුවක් නිසා එදා හවස වෛද්‍ය මධ්‍යස්ථානයට යාමට නොහැකි වන නිසා මට යන්න කිව්වා.
සතිඅන්තයේ හවස් වරුවක වුනත් රෝගීන් එතරම් විශාල ප්‍රමාණයක් හිටියෙ නැති නිසා මමත් පොතක් එහෙම කියවාගෙන හිටියා.
ඊළඟට ආවේ වයස අවුරුදු හතර හමාරක් පමණ වන ගෑනු ළමයෙක් සහ ඒ ළමයගේ තාත්තා.
“ඩොක්ටර්, දුවගේ කන විද ගන්න පුළුවන් වෙයිද?”
“පුළුවන්. මේ වගේ වෙලාවක ආවේ විශේෂ නැකතක් එහෙම තියෙනවද කන විදින්න?” වෙලාවල් නැකත් ගැන මගේ වැඩි විශ්වාසයක් නැති උනත් එදිනෙදා දකින බොහෝ පිරිස් මේ වගේ අවස්ථා වලට වෙලාවක් බලන නිසා මම එහෙම ඇහුවා.
“අනේ නෑ ඩොක්ටර් එහෙම වෙලාවක් නම් බැලුවෙ නැහැ. කොහොමත් මේ ළමයා පොඩි කාලේ කන විදින්න මම එච්චර කැමැති වුණේ නෑ. ඒ උනාට දුවගෙ අම්මයි ආච්චි හැමතිස්සෙම කියනවා ගෑණු ළමයෙක් උනාම කන විදින්න ඕන කියලා. ඒක ඇහිලා මේ ළමයත් දැන් කියනවා මොන්ටිසෝරිය යාළුවොන්ගේ කනේ කරාඹු තියෙනවා මෙයාටත් කරාඹුවක් ඕන නිසා කියලා. ඉතිං මම අද ගෙදර ඉන්න නිසා එක්කගෙන ආවා විදින්න පුලුවන්ද බලන්න.”
ඉතින් මමත් ඒ පොඩි බබාගෙන ඇහුවා බබාට කරාබු දෙකක් ඕනද කියලා
“ඔව් අංකල් මගේ ඉස්කෝලෙ යාළුවො හැමෝටම කරාඹු තියෙනවා ඒ නිසා මටත් ඕන” හැබැයි මම ඒක මෙතන ලියනවට වඩා හුරතල් විදියට තමයි ඒ බබා ඒක කිව්වේ
“බබා බය නැද්ද ඌව වෙයි කියලා?”
“නෑහ්…..”
කන විදින්න විශේෂ උපකරණයක් තියෙනවා වෛද්‍ය මධ්‍යස්ථානයේ. මම ඉතින් ඒකත් අරගෙන නියමිත විදියට පිරිසිදු කරලා කන් දෙක දෙකේම කරාඹු එන්න ඕන තැන ලකුණු කරලා කන්පෙති දෙක ම විද්දා. බබා ඇස් පියාගෙන හිටියා විතරයි පොඩ්ඩක්වත් ඇඬුවේ වත් කෑගැහුවත් නෑ.
“බබාට ලස්සනයි ද?” මුහුණ බලන කණ්ණාඩියක් අතට දීලා මම ඉතින් පොඩි බබා ගෙන් ඇහුවා.
“ෂා ලත්තනයි” මාර ආසාවකින් තමයි ඒක කිව්වේ.
“තැන්කූ අන්කල්” කියලා බබයි තාත්තයි දෙන්නම ගියා.
ඒත් එක්කම ඊළඟට ආවේ අවුරුදු පහළොවක් විතර වගේ වයස ඉස්කෝලේ යන ගෑනු ළමයෙකුයි එයාගේ අම්මයි.
“ඩොක්ටර් මෙයාට සෙම වගේ කැස්සත් තියෙනවා. උණ නම් නෑ ඊයෙ ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳලා තමයි මෙහෙම” අම්මත් ඔක්කොම රෝග ලක්ෂණ ටික වේගෙන් කියාගෙන ගියා.
මමත් තව ප්‍රශ්න අහලා පරික්ෂා කරන්න ඕන විදියට පරික්ෂා කරලා බලල බෙහෙත් ටිකත් ලියල දීල ඒව බොන්න ඕන විදියත් කියල දුන්නා. ඒත් මට තේරුණා ඒ දෙන්නට තව මොනවා හරි අහන්න තියෙනවා කියලා. මම ඇහුවත් නෑ ඩොක්ටර් මොනවත් නැහැ කියලා යන්න ගියා.
ඊට විනාඩියකට විතර පස්සෙ ආයෙත් ඒ අම්මා දුව එක්ක ඇතුලට ආවා. ඒ වෙලාවේ ඒ දුවට වඩා වැඩිමල් කියලා හිතෙන තව දුවෙක් හිටියා.
එහෙම ඇවිල්ලා අම්මා අහනවා ” ඩොක්ටර් අර බබාගේ කන විද්දා නේද?”
“ඔව්…”
“කොහොමද විද්දේ?”
“කන විදින්න වෙනම මැෂින් එකක් තියෙනවනේ ඒකෙන් තමයි විදින්නේ. ඇයි එහෙම අහන්න?”
මම එහෙම ඇහුවේ ඒ දුවලා දෙන්නටම කරාඹු තිබුණා. අම්මටත් කරාඹු දෙකක් තිබුණා.
“නෑ ඩොක්ටර්ග මටත් විද ගන්න පුළුවන් වෙයිද?” කියලා මගෙන් ඇහුවෙ ඒ ළමයින්ගෙ අම්ම.
“ඔයාට කරාඹු දෙකක් තියෙනවා නේ”
“නෑ මට මේ කනේ ඊට ටිකක් උඩින් කරාඹුවක් දාන්න ආසයි ඒකයි ඇහුවේ. එහෙම විදින පුලුවන්ද?”
මටත් හැබැයි එක පාරට පොඩ්ඩක් හිනා ගියා එහෙම ඇහුවම
“ආ එහෙම විදින්න පුළුවන් බය වෙන්න දෙයක් නම් නෑ”
“එහෙනම් ඩොක්ටර් මගේ මේ වම් පැත්තෙ කනේ මෙතැන උඩින් විදල කරාඹුව ක් දාගන්න පුළුවන් විදියට හදල දෙනවද?”
මම අර කන විදින උපකරණය ආයෙ පිරිසිදු කලා ඒ විදිහට ඉල්ලපු තැනින් සලකුණු කරලා කන විදලා දුන්නා.
” වාව් අම්මි හරි ලස්සනයි” අර ගෑනු ළමයි දෙන්නා උඩ පැන පැන හිනා වෙනවා. එක ගෑනු ළමයෙක් එළියට ගිහිල්ලා ඒ ළමයගෙ තාත්තාවත් එක්කගෙන ආවා.
“තාත්ති බලන්නකො අම්මිගේ ලස්සන”
“ඔව් ඔව් ලස්සනයි තමයි. ඩොක්ටර් බැරිද මගේ නහයත් විදලා දෙන්න? ලණුවක් දාලා මේ තුන්දෙනාට මාව ඇදගෙන යන්න කියන්න” අන්තිමට හිනාවෙවී මගෙන් එහෙම ඇහුවේ ඒ ළමයින්ගෙ තාත්තා
ඡායාරූපය අන්තර්ජාලයෙනි
උපුටා ගැනීම: Thilina Chathuranga