අවුරුදු කීපයකට කලින් කඳුකර ගම්බද පාසලකදි පෙනිච්ච නපුරු හීනයක් මේක ……. චිත්රපටයක දර්ශනයක් නෙවෙයි .
මේ කියන ඉස්කෝලෙ ඉස්කෝලෙට පංති කාමර හිඟයි , ප්රධාන ශාලාවක් නෑ , සනීපාරක්ෂක පහසුකම් ප්රමාණවත් නෑ , ශබ්ද විකාශන පද්ධතිය ආවරණය කරන්නෙ පාසල් බිමේ කොටසක් විතරයි. තව අඩුපාඩු කෝටියයි !
.
ඉතින් ප්රධාන ශාලාවක් නැති නිසා උදේ රැස්වීම තියන්නෙ පංති පංති හැටියට තැන් තැන්වල. හය හත වසර පිට්ටනිය ඉස්සරහ. අට නවය වසර ගුරැ කාමරේ ඉස්සරහ. දහය එකොලහ වසර විදුහල්පති කාර්යාලය ඉස්සරහ. උසස්පෙළ ළමයි උසස්පෙළ ශාලාව කිට්ටුව . එදිනෙදා රැස්වීම් අධීක්ෂණය අදාළ පංතිභාර ගුරැවරැන්ගේ වගකීම . විදුහල්පතිතුමා එක එක දවසට එක එක රැස්වීම්වලට එනවා. කවදා කොයි රැස්වීමට එනවද කියල නියමයක් නෑ . ඉතින් හැමදාම රැස්වීම හොඳින් කරල හිත සතුටින් වැඩ පටන්ගන්න තමයි කවුරැත් ආස කෙරැවෙ . නැත්නම් ඉතින් උදේ පාන්දරම බැනලා, විදුහල්පතිතුමා ආව දවසක නම් අපිත් බැනුම් අහල පටන්ගන්න දවස මට නම් එහෙමපිටින්ම මුස්පේන්තු දවසක් වෙනව.
ඒ වුනාට උදේ රැස්වීම සූදානම් කරන්න ගියාම හැමදාම එකම දරැවො ටිකක් තමයි රැස්වීම මෙහෙයවන්න, සිංදු කියන්න, දැනුම මිනුම කරන්න ඉදිරිපත් වෙන්නෙ .ඉතින් කවදාවත් ඉදිරිපත් වෙන්නෙ නැතිව මුලු ගැන්වෙන දරැවන්ට කෙරෙන අවවාද තරවටු බවට හැරෙන වෙලාවලුත් තියෙනවා .
මේ කියන දවස එහෙම දවසක් . මට අලුතින් ලැබුණ හත වසරෙ පංතියෙ දෙවෙනි රැස්වීම් දවස මගෙ හිතේ. එදා නම් මොනවා වෙලාද මන්දා යන්තම් එවෙලෙ ඉස්කෝලෙ වත්තෙ ගහකින්ම කඩාගත්ත මල් දෝතක් විතරයි පූජා කරන්න තිබුණේ . හඳුන්කූරු ගේන්න අමතක වෙලා . රැස්වීම් අංග ඉදිරිපත් කරන්න හිටිය කීප දෙනෙක් ඇවිත් නෑ . එතකොට ඉතින් ඒක මගෙත් වරදක් වගෙ තමයි ගනන් ගැනෙන්නේ .
ඉතින් උදේ රැස්වීම වෙලාවෙ මට පෙනුනා නිෂාව. පහුගිය අවුරැද්දෙ අග පත්වීම ලැබුනට පස්සෙ මාසයක් විතර හය වසරෙදි මේ පංතියට උගන්නල තියෙන නිසා මට පෙනිල තියෙන්නෙ නිෂා කවදාවත් රැස්වීමක ඉස්සරහට ඇවිත් නෑ . නිකමට කට්ටිය එක්ක අත්වැල් බැඳගෙන ඇවිත් කට හොල්ලලා විතරක් යන්න වත්…….. ඉතින් මං නිෂාව ඉස්සරහට ගෙන්නුව මොනව හරි කවියක් කියන්න කියල …….
බිම බලාගෙන සපත්තුවෙන් පොළොව හාර හාරා හිටිය නිෂා කීප සැරයක් කියල වතාවක් සැරෙන් කිව්වම ඇඹරී ඇඹරී ඉස්සරහට ඇවිත් හිටගත්තා . ඒ වුනාට මොකුත් කියන පාටක් නෑ . කවියක් … කතාවක් ….. සිංදුවක් ……… හැම එකටම ප්රතිචාර ලැබෙන්නේ බිම බලාගෙන කරන ඔලුව වැනීමකින් විතරයි . හැමෝම මං දිහා බලා ඉන්නව . මට දැනෙනව දැන් මගෙ ඉවසීමේ සීමාව රතු කටුව පනින බව. දැන් ඉතින් ගෙන්නගත්ත එක මොනවත් නොකර යවන්න බැහැනෙ. ඒක මට හොඳ නෑ . “හරි, වෙන මොනවත් කියන්න බෑනෙ ? අම්මා ගැන වාක්ය පහක් කියන්න බලන්න. ඒක බැරි නෑනෙ ? “
මගෙ බැල්ම නිෂා දිහාටම එල්ල වෙලා තිබුණ නිසා මට පෙනුණේ නොහෙල්ලී ඉන්න නිෂාව . තියෙන මුරණ්ඩුකම කියන්නේ ඒකට බෑ කියන්නේත් නෑ . හැබැයි මට දැනුන මොකක්දෝ හැඟීමක් මගෙ ළමයි අතරෙ හුළඟක් වගෙ පාවෙන හැටි. ඒක කතාබහක් , බැල්මක් , හිනාවක් වගෙ භෞතික සාධක මොකක්වත් නැතුව පැතිරෙමින් යන හැඟීමක් . මං මගෙ බැල්ම පංතිය දිහාට යොමු කලෙත් තරහින් . හැබැයි ළමයින්ගෙ මුහුණු දැක්කම මට තේරුම් ගියා මගෙන් මොකක් හෝ බරපතල වැරැද්දක් සිද්ද වෙලා තියෙන බව. හැමදාම උදේ මං එනකල් බලා ඉන්න , මගෙ පොත්ටිකයි බෑග් එකයි ස්ටාෆ් රෑමි එකට ගෙනියන්න රණ්ඩු කරන, මගෙ සාරි පොට පොරවගන්න, විලවුන් ගාන්න මතක් වුනත් නැතත් මට තුරැල් වෙලා “ටීච ගාව සුව……….ඳයි!” කියල නහය නටවන මගෙ ළමයි එවෙලෙ මා දිහා බැලුවෙ නන්නාඳුනන කෙනෙක් දිහා බලනව වගෙ. එහෙම නැත්නම් එලියක් පෙන්නලා සත්තුන්ව ගිනිකන වට්ටවලා සත්තු මරණ දඩයක්කාරයෙක් දිහා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි බලන සත්තු වගේ. පේලියෙ ඉස්සරහම හිටිය වත්සලා මං නොඅහා අහපු ප්රශ්නෙට උත්තර දුන්න . “ටීචර්, එයාගෙ අම්මා ඉන්නෙ රට………”
ඉස් මුදුනට වැදුණු අකුණක් සර්වාංගය පුරාම විහිදිලා ගිහින් ඇඟේ තිබිච්ච ලේ බිංදුවක් නෑරම වේලලා දාල කකුල් දෙක හරහා පොළොවට ඇදුනා වගෙ හැඟීමක් මට දැනුනෙ. මං මොනවද දෙයියනේ මේ කරගත්තෙ ? මෙහෙම බවක් දැනගෙන හිටිය නම් මං හීනෙන්වත් එහෙම කියන්න හිතන්නෙ නෑ . මට එවෙලෙ හිතුනෙ ඕනම ළමයෙකුට ලේසියෙන්ම කියන්න පුලුවන් දේ තමන්ගෙ අම්මා ගැන කියල. දැන් ඉතින් මොකක්ද කරන්නෙ ?
“කමක් නෑ , පුතා යන්න පේලියට” මං අමාරැවෙන් කියාගත්ත. නිෂා බිම බලාගෙනම පේලියට ගිහින් හිටගත්තා .
ඇත්තම කියන්නම්, ඊට පස්සෙ මොනවද රැස්වීමෙදි වුනේ කියල මට මතක නෑ .
පළවෙනි කාලච්ජේදය පුරාම මං හිටියේ හිරි වැටිච්ච හිතකින් . කරන්නෙ කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරිව. මං මට නියමිතව තිබුණ දහයෙ පංතියට ගිහින් සාමාන්යයෙන් නොකරන වැඩක් කළා. ආදර්ශ ප්රශ්න පත්තරයක තිබුණ අභ්යාසයක් දුන්න පංති නායකයට කලු ලෑල්ලෙ ලියන්න කියල . ඒක තරමක් දිග එකක් . ඉන් පස්සෙ පංතියෙ ගුරැ පුටුවට වෙලා ඉඳගෙන හිටියේ ” අද මට ටිකක් සනීප නෑ වගේ පුතේ , මට කතා කරන්න බෑ ” කියල. ඇත්තටම මගෙන් අසනීප ගතියක් පෙනුනා වෙන්න ඇති , කවුරුවත් එතනින් එහා කිසිම දෙයක් ඇහුවෙ නෑ . එහෙම ඉන්න අතර ම ගමන් මගෙ බැල්මට අහුවුනා මගෙ පංතියෙ කාලසටහන. හා….. හත්වෙනි පීරියඩ් එක මගෙ ළමයින්ට පුස්තකාල කාලච්ජේදයක්! හ්ම්ම් …….. බලමු මොකක්ද කරන්න පුලුවන් කියල ……..!
හත්වෙනි කාලච්ජේදයේ මම පණිවිඩයක් යවල නිෂාව හුදකලා තැනකට ගෙන්නව ගත්ත. නිෂා ඇවිත් දොරකඩ හිටගෙන හොරෙන් එබිලා බැලුව. හැබැයි මට එයා දිහා බලන්න තරම් හයියක් තිබුණේ නැහැ. මං නිෂාට කතා කරල ලඟින් ඉන්දව ගත්ත . ඉන් පස්සෙ ටිකින් ටික නිෂා එක්ක කතා කකරද්දී තමයි මට තේරුම් ගියේ මං පාරල තියෙන්නෙ කොච්චර ලොකු තුවාලයක්ද කියල …
” අපෙ අම්මා රට ගියෙ මං එක වසරෙදි. තාත්ත වැඩ කලේ තේ වත්තෙ පැක්ටරියෙ. මාව බලා ගත්තෙ ආච්චියි සීයයි . ඒ කියන්නේ තාත්තගෙ අම්මයි තාත්තයි . මං හතර වසරෙ ඉද්දි තාත්ත බලංගොඩ පැත්තෙ රස්සාවකට ගියා . දැන් මට පුංචිඅම්ම කෙනෙක් ඉන්නව . තාත්ත මාසෙකට දෙකකට සැරයක් ඇවිත් මාව බලල යනව. අම්මා එක සැරයක් රට ඉඳල ඇවිත් ගෙදර ආව වෙලාවෙ ආච්චි අම්මට බැනලා අම්මව ගෙදරින් එලව ගත්ත . අම්මට ගෙට අඩිය තියන්න වත් දුන්නෙ නෑ . අම්මා අල්ලපු ගෙදරට ගිහින් මට එහෙට එන්න කියල පණිවිඩයක් එව්ව . මොනව වුනත් ආච්චි මට එහෙ යන්න එපා කිව්වෙ නෑ . අම්මා ඊට මාසෙකට විතර පස්සෙ ආපහු රට ගිහින් තිබුණ. ඉන් පස්සෙ මං තවම අම්මව දැකල නෑ “
මං දන්නෙ නෑ මට මොනවා වුනාද කියල . මගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් දැනුනා. පියාජේ, රෑසෝ, මරියා මොන්ටිසෝරි වගෙ අධ්යාපන මනෝවිද්යාවේදීන්, මට සරසවියෙ දි ඒ අය ගැන උගන්නපු මංජුලා මැඩම් , සමුද්රා මැඩම් , කපිල සර් වගෙ අය මගෙ ඇස් ඉස්සරහට ඇවිත් හිනාවෙන්න පටන් ගත්තෙ “උඹට අපි ඉගැන්නුවෙ ඕවා කරන්නද ?” කියල අහනව වගේ.මට මතක නෑ ඔලුව උස්සල නිෂාදි දිහා බලන්න තරම් හයියක් ලැබුනෙ කොයි වෙලාවෙද කියල . හැබැයි පුලුවන් වෙච්ච ගමන්ම මං නිෂාව වැලඳගත්ත. ඉන් පස්සෙ මං කිව්ව මං කිසිම දෙයක් නොදැනයි ඒ වෙලාවෙ එහෙම කිව්වෙ කියල …… මට ඒ ගැන හරිම දුකයි කියල …… මං ආයෙ කවදාවත් ඒ ගැන වචනයක් වත් කියන්නේ නෑ කියල …..
අන්තිමට ………
ගුරැවරයෙකුට තමන්ගෙ ශිෂ්යයෙකුට කියන්න අමාරුම වචනෙ ………..
සමාවෙන්න කියල …….!
ඇස් දෙකෙන් කඳුළු බේරෙද්දී නිෂා මගෙ කම්මුලට දැනෙන නොදැනෙන තරමෙ හාදුවක් දුන්න . ඉන් පස්සෙ ………….
එතනින් එහාට ඕන නෑ නේද ?
ඉන් පස්සෙ හැම අවුරැද්දෙම ජනවාරි මාසෙ ඇතුළත මගෙ පංතියෙ ළමයි ගැන පෞද්ගලික විස්තර පත්රිකාවක් දෙමව්පියො ලවා පුරවගෙන තියාගන්න මං පුරැදු වුණා . එතකොට අම්මා තාත්ත ජීවත් වෙලා ඉන්නවද , වෙන් වෙලාද, දරැවට යමක් කමක් කියාදෙන්න තරම් හැකියාවක් තියෙනවා ද, සහෝදර සහෝදරියන් ඉන්නවද, ඒ කවුද කියල දැනගන්න පුලුවන්නෙ. එහෙම දැනගෙන තියාගන්න එක මට හුඟක් ප්රයෝජන වුණා .
ඒ වුනත් නිෂාගෙ ඇස් වලින් වැටිච්ච කඳුළු අදටත් මගෙ ඇස්වලට කඳුළු ගේනව ….!
උපුටා ගැනීම: කුසුම් කුමාරි