පුදුම හදිස්සියකින් යතුර කරකවලා දොර ඇරගත්ත සාරංගි එක පිම්මට නාන කාමරේට පැන ගත්තා.
වෙනදා නං ගෙට ඇතුල්වෙලා එක පිම්මට දුවන්නෙ කෑම මේසෙ ලඟට.
තාත්තා උදේ රැයින් නැගිටලා, උයලා, පිඟානට බෙඳලා තවත් පිඟානකින් වහලා තියන බත් පිඟාන කටට දෙකට ගිල දාල, තවත් ටිකක් එහේ මෙහේ කැරකි කැරකි ඉඳලා තමා සාරංගි වෙනදට නාන කාමරේට යන්නේ. ඒත් අද වෙනස්!
මානි කණට කරලා රහසින් කී දේට සාරංගිට ‘හීක්’ ගෑවුනා.උදේ ඉඳන්ම ඇඟට අපහසු ගතියක් දැනුනෙ ඒක වෙන්න ඇති. පොත් බෑගය ටිකක් දික් කරලා පිටිපස්සට තියාගෙන, බස් එකටත් නොඉඳ, සාරංගි පයින්ම ගෙදරට දුවගෙන ආවා.
“අනේ අම්මා හිටියානං!”සාරංගිට හිතුණා.
“නැන්දා හරි හිටියානං!”
ළමා වියෙන් නව යෞවනයේ දොරකඩට පිවිසෙනකොට ඇතිවෙන වෙනස්කම් ගැන ඉස්කෝලෙදි ඉගෙනගෙන තිබුණට, ගමේ ඉන්න කාලෙ දැරිවියෝ ගොඩක් මැද්දෙ ඇති දැඩි වුණායින් ඒ වෙලාවට කරන දේ ගැන දැනගෙන හිටියට, ගෑනු දැරිවියකට ජීවිතේට සමීප, වැඩිමහල් ගෑනු චරිතයක් තමා ළඟ හිටියා නං හොඳයි නේද කියලා හිතෙන වෙලාවක් එනවා.සාරංගිටත් එක පාරටම අම්මාව මතක් වුණේ ඒ හින් දා වෙන්න ඇති!
ඉස්සරහා දොරේ යතුර කරකවන සද්දයක් ඇහුනා.තාත්තා ඇවිත්! සාරංගි ‘දඩස්’ ගාලා කාමරේ දොර වහ ගත්තා.
“මගෙ දුවේ!” සාලෙ පැත්තෙන් තාත්තාගෙ ආදරණීය කටහඬ ගලාගෙන ආවා. වෙනදට සාරංගි හවසට තාත්තා ගෙදර එන වෙලාවට සාලෙ ජනේලෙ ලඟට වෙලා තාත්තා එනකල් බලාගෙන ඉන්නවා.
“මගෙ මැණිකේ!”ආයෙමත්!
සාරංගි ඇහුණු නෑහුණු ගානට හිටියා.
“මොනවා! මේ දවල් කෑම එකත් කාලා නෑ නොවැ.” ඊලඟට කටහඬ ආවෙ කෑම කාමරේ පැත්තෙන්.
“මේ දරුවා අසනීපෙංවත්ද?” ඒ සැරේ අඩි සද්දෙ කාමරේ පැත්තට!
” මගෙ මැණිකේ මොකද කාමරේට වෙලා දොර වහගෙන? ඔලුව කැක්කුමද?”
“නෑ!”සාරංගි කැත්තට පොල්ල වගේ උත්තර දුන්නා.
තාත්තට මොකක් හරි අමුත්තක් තේරෙන්න ඇති!
“එහෙනං……”
සාරංගිට තවත් හිත තද කරගෙන ඉන්න පුලුවන් වුනේ නෑ.මෙච්චර වෙලා හිතේ හිරවෙලා හිටිය ඉකිය එකපාරටම එලියට පැන්නා.ඇස් දෙකෙන් කඳුලු දෝරෙ ගැලුවා.
ඇස් වලින් කඳුලු ගලන්නෙ දුකට!
තාත්තා සාරංගිට අඬන්න ටික වෙලාවක් දුන්නා.
“මට තේරෙනව පුතේ මට තේරෙනවා. එහෙමයි කියලා මගෙ මැණික කාමරේ අස්සට වෙලා ඉන්න ඕනෙ නෑ.”
තාත්තගෙ ආදරේ වෙලාවකට සාරංගිට වාවන්නෙ නෑ.අම්මා ගෙදරින් ගිය දා ඉඳන් දුකක් නොදී සාරංගිව හදා වඩා ගන්න තාත්තා වෙච්ච මහන්සිය සාරංගි දන්නවා.
අම්මා ගෙදරින් ගියේ ඇයි කියලා අදටත් සාරංගි දන්නේ නෑ.වැඩට ගියා ගියාමයි….ආපහු ආවෙ නෑ! ආයෙ ගෙදර එන්නෙ නෑ කියලා ලියුමක් තිබ්බා තාත්තගෙ මේසෙ උඩ. කොහෙ ගියාද මොකට ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ!
ගමේ අය නං එක එක කතා කීවා. ඒත් ඒ කතා විස්වාස කරන්න අමාරුයි.
“අනේ මේ මල්වර වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න දැරිවි දාලා ගියානෙ!” සමහරු බොරුවට විස්සෝප වුණා.හුඟක් මිනිස්සු මූණට එකක්! නැති තැන තව එකක්!
ලොකු නැන්දා, සමනලී නැන්දා එහෙම සාරංගිව ආදරෙන් බලා ගත්තට අම්මාට නං පලු පැලෙන්න බැන්නා.
සාරංගිට මතක විදිහට අම්මායි තාත්තයි බොහෝම සතුටින් ජීවත් වුණේ. පැණි වරකාවට හෙන ගැහැව්වා වගේ නොවැ!සාරංගිට අම්මත් එක්ක ඇත්තටම තරහයි.
“ජීවිතේ සමහර ප්රශ්න වලට උත්තර කියලා දෙයක් නෑ මගෙ පුතේ!” අම්මාගේ නික්මයාම ගැන සාරංගිගේ ප්රශ්න වැලට තාත්තා උත්තර දුන්නේ එහෙමයි.
“මගෙ දුව එක එක්කෙනාගෙ කතා අහලා අම්මා එක්ක තරහ වෙන්න කාරි නෑ!”
එහෙම කීවට අම්මා ගියාට පස්සෙ තාත්තටත් ගමේ ඉන්න හිත දුන්නේ නෑ කියලයි සාරංගිට හිතෙන්නෙ.උසස් වීමක් ලැබුනා කියලා මෙච්චර ඈත පලාතකට ආවෙ මොන එහෙකටද? මාරුව හදා ගන්න තිබුණා නොවැ!
“පුතේ එලියට ඇවිත් මේ සුප් එක බොන්න!” තාත්තගෙ හඬ කුස්සිය පැත්තෙන් ආවා. ඒත් සාරංගි එළියට ගියේ නෑ. මෙහෙම වුනාම නාවනකල් එළියට යන්න හොඳ නෑ කියලා සමනලී නැන්දා කීවා සාරංගිට මතකයි. ඒ කාලෙ වරුණි අක්කට දවස් හතරක් කාමරෙන් එළියට යන්න ලැබුනේ නෑ! දැං මාව කවුද නාවලා එළියට ගන්නෙ?තාත්තා ගමට ගිහින් නැන්දා එක්ක එයිද?
“ඔන්න මං සුප් කෝප්පෙ දොර ළඟින් තිවුවා!” තාත්තාගේ කටහඬ ඇහුනා. සාරංගිටත් හොඳටෝම බඩගිනියි. ඇයි ඉතින් දවල් කන්නත් බැරි වුනානෙ! සාරංගි දොරෙන් එළියට අත පොවලා සුප් එක ගත්තා. තාත්තාගේ රසම රස සුප් එක!
පහුවදා උදේ කෑම එකත් ඒ විදිහටම දොර ලඟ තිබ්බා.
“මං පොඩ්ඩක් එළියට ගිහින් එන්නං!”උදේ දහයට විතර තාත්තා කොහේදෝ යන්න පිටත් වුනා. ලොකු නැන්දාව එක්ක එන්න වෙන්න ඇති!
ඒත් ගිය පයින්ම වගේ ගෙදර ආවා. කෝ නැන්දා?
” හෙට උදේ පහට නාවන නැකත තියන්නේ. මගෙ දුව ලේස්ති වෙන්න!” තාත්තා දොර ලඟට ඇවිත් කීවා.
“මම ඔය දේවල් විස්වාස කරව කෙනෙක් නං නෙමෙයි! ඒත් ඉතිං චාරිත්ර වාරිත්ර කියලා දෙයක් තියනවා නොවැ!”
පාන්දරින් නාන්න හැරහිලා සාරංගි කාමරෙන් එළියට ආවා.සුදු රෙද්දකින් සාරංගිගේ මුහුණ ආවරණය කරගෙන තාත්තා සාරංගිව ගේ මැද්දෙන් එළියට එක්ක ගියා!
මගෙ අම්මේ ගේ ඇතුලෙන් එන කිරිබත් සුවඳ!
එළියේ පයිප්පේ ලඟ සාරංගි පුංචි කාලෙ නෑව රෝස පාට බේසමට වතුර පුරවලා තියනවා සාරංගිට සුදු රෙද්ද අතරින් යාන්තමට පෙනුනා.
“මම ඔය දේවල් විස්වාස කරව කෙනෙක් නං නෙමෙයි! ඒත් ඉතිං චාරිත්ර වාරිත්ර කියලා දෙයක් තියනවා නොවැ!”තාත්තා දෙවෙනි සැරේටත් කීවා.
චාරිත්ර වාරිත්ර!
තාත්තා සාරංගිව එතන තිබුණ පුංචි බංකුවෙන් වාඩි කරවලා නැවුම් දිය පිරි කළගෙඩියෙන් සාරංගිගේ ඔලුවට වතුර වත් කලා.
සමන් පිච්ච මල් සුවඳ වතුර තාත්තාගේ ආදරේට එකතුවෙලා ඔලුවට වැටෙනවා!
ඒක පුදුමාකාර සිසිලසක්!
සාරංගිටත් හොරෙන් උනුසුම් කඳුලු බිඳු දෙකක් සාරංගිගේ ඇස් වලින් කම්මුල් දිගේ පහළට කඩා වැටුණා.
ඇස් වලින් කඳුලු ගලන්නෙ දුකටම නෙමේ!
පින්තූරය අන්තර්ජාලයෙන්!