කඳුලු හංගන ආදරේ. (කෙටි කතාව) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පාන්දරින්ම අවදිවුන නිර්මලී කුප්පි ලාම්පුව පත්තු කරල අබලන් වෙච්ච මේසෙ උඩින් තිබ්බෙ මූණ කට සෝදගෙන එළිපහලියට ගිහින් එන්න. කුස්සි කෑල්ලෙ ලදරන් දොරට හේත්තු කරල තිබුන වංගෙඩිය එහාට මෙහාට කරල අගුලක් නැති දිරල ගිය දොර ඇර ගත්තු නිර්මලීට එළියට අඩිය තියන්න වුනේ නෑ. දොර ලඟම හේත්තු වෙලා ගුලි වෙලා වෙව්ලන පුංචි පුලුන් කැටියක් වගේ බළල් පැටියෙක් කබ කඳුලු පිරිච්ච ඇස් දෙකෙන් නිර්මලී දිහා බලන් හිටියෙ තමන්ට උදව් කරන්න කියන්නාක් වගේ.
” කවුරුහරි පාරට ගෙනත් දාල ගිහින්ද කොහෙද…කාලකන්නි මිනිස්සු…! “
නිර්මලීගේ එහෙම ම්මුනුවේ හිතෙන් විතරයි. කරන්න ගිය වැඩේ අමතක කරපු නිර්මලී කුණු දූවිලී වලින් පිරුණ පුංචි බළල් පැටියව දෝතින්ම ගත්තෙ කිසිම හිරිකිතයක් නැතිව. ලා රස්නෙ වතුර ටිකකින් පිහදල දාල පිරිසිදු කරපු මාස තුන හතරක පෙනුම තියන බළල් පැටියට කිරි ටිකක් හදල බත් කටක් අනල දුන්නම මහා සාගතේකින් හිටිය එකෙක් වගේ කන දිහා නිර්මලී බලාන හිටියෙ අනුකම්පාවෙන්.
නාවල කරල ගත්ත බළල් පැටියාගෙ බොහොම අහිංසක හුරතල් පෙනුමට නිර්මලීට ආදරේ හිතුනා.
” ගැණු සතෙක් හින්ද වෙන්න අතරමං කරල දාල ගියේ. නැත්තං මෙච්චර ලස්සන පැටියෙක් හදාගන්න බැරි මොකද…”
නිර්මලී තනිවම හිතුවා. පුංචි බළල් පැටියගෙ මුහුණ , රවුම් ඇස් බෝල දෙක දකින වාරයක් ගානෙ නිර්මලීගෙ සිහියට ආවෙ තමංගෙ පුංචි නංගිගෙ අහිංසක මූණ…ඒත් එක්කම නිර්මලීගෙ මූණ කපරාරු නොකරපු ගඩොල් බිත්තියෙ එල්ලල තිබුණ කැලැන්ඩරේ දිහාවට ඇදිල ගියා…
” හ්ම්ම්…හරියටම මාස හයයි අදට…”
නිර්මලී සුසුමක් හෙළමින්ම කල්පනා කරා…
.
නිර්මලී දෝතින්ම බළල් පැටියව වඩාගත්තෙ තමංගෙ නංගි ආපහු තමන් ළඟට ඉන්නව කියල හිත හදාගෙන. බළල් පැටියත් නිර්මලීගෙ උණුහුමට ගුලි උනේ ආරක්ෂාවක් දැනුන නිසා වෙන්න.
කිරි කපන්න රබර් වත්තට යන්නත් පමා උනත් නිර්මලීට බළල් පැටියා දාල යන්න හිතට දුකක් දැනුනා. නොයා බැරි හින්දම බතක් උයල හොද්දකුත් හැඳිගෑව නිර්මලී මුට්ටිය අතගාල හාල්මැස්සො ඔලු ටිකක් හොයාගෙන බත් ටිකකට අනලා පොල්කට්ටකට දාල තියල කිරි කපන්න යන්න ලැහැත්ති උනා. ඒ වෙනකන් නිර්මලීට කරදරයක් නොකරපු බළල් පැටියා , ගවුම් කඩමාල්ලක් උඩින් චීත්තයක් ඇඳගෙන පන් මල්ලක් කිහිල්ලෙ ගහගෙන වත්ත පහලට යන නිර්මලී දිහෑවෙ බලන් හිටියෙ දුකෙන් වගේ. බළල් පැටියට එළිපහලියට යන්න උවමනා වෙයි කියල නිර්මලී ගියේ යන්තං දොර අඩවල් කරලා. සතෙක් සරුපයෙක් රිංගයි කියන බය හැරුනාම හොර
හතුරෙක්ට රිංගලා ගන්න දෙයක් තමන්ගෙ පැල්පතේ නෑ කියල නිර්මලී දැනන් හිටියා. රැකගන්න කියල තිබ්බ තමන්ගෙ එකම වස්තුව වෙච්ච නංගිවත් තමන්ට රැකගන්න බැරි උනානෙ කියල නිර්මලීට මොහොතකට හීල්ලුනා…
කිරි කපන ගමනුත් නිර්මලීට සිහිවුනේ දොරමුල්ලට වෙලා තමන් එන දිහාවෙ බලන් හිටපු බළල් පැටියව. කාලෙකට කලින් දවසක තමන් කිරි කපන්න යනකොට ජනේලෙ එල්ලිලා බලන් හිටිය නංගිවත් ඒ එක්කම නිර්මලීගෙ සිහියට ආවා…
“හ්ම්ම් ඒ අන්තිම දවස…”
නිර්මලී ආයෙමත් සුසුමක් හෙලුවා. කිරි කපන ගමන්ම නිර්මලීගෙ හිත අතීතයට දුවගෙන ගියේ තමන්ටත් නොදෑනීම.
නිර්මලීගෙ අම්ම කරෙත් කිරි කපන රස්සාව. තාත්ත කියල කෙනෙක් කවදාවත් දැකල නොතිබුනත් නිර්මලී කවදාවත් අම්මගෙන් තාත්ත ගැන ඇහුවෙ නෑ. ටික ටික ලොකු වෙද්දි නම් නිර්මලීට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උනේ ගමේ මිනිස්සුන්ගෙ කසුකුසු වලින්. නිර්මලී ඉස්කෝලෙ යන වෙලාවට අම්මත් නිර්මලී එක්කම කිරි කපන්න ගියත් සමහර දවස් වලට ඉස්කෝලෙ ඇරිල ගෙදර එන මහ දවාලෙ අම්ම ගෙදර හිටිය. නිර්මලී පුංචි කාලෙදි නම් අම්මා කලින් ගෙදර එන්න එක එක හේතු නිර්මලීට කියල තිබුණා. කොණ්දෙ ඇව්ලිල්ල අතේ අමාරුව පපුවෙ දැවිල්ල වගේ ලෙඩ ගොඩක් එක එක දවසට ගෙදර එන වෙලාවට අම්මගෙ කටින් පිටවෙනකොට පුංච් නිර්මලීට අම්ම ගැන දැනුනෙ අනුකම්පාවක්. ඒත් ටිකෙන් ටික ලොකු වෙනකොට දවල් ගෙදර එද්දි අම්ම ගෙදර ඉන්න හේතුව නිර්මලීට තේරුම් ගියා. උදේ යද්දි නොතිබුනාට දවල් එද්දි මිදුල පුරා තිබුන බුලත් කෙළ පහරවල් දෙන්නෙක්ට තේ වත් කරපු කෝප්ප , ගෙදරටම තිබ්බ එකම අබලන් ඇඳේ පොඩිවෙච්ච රෙදි නිර්මලීට ඕනවටත් වඩා සාක්කි දුන්නා. ඒත් නිර්මලී කවදාවත් අම්මගෙන් ඒ ගැන ඇහුවෙ වත් අම්ම ඒ ගැන මොකුත් කීවෙ වත් නෑ. හරියට ඒක නිහඬ ගිවිසුමක් වගේ.
අම්මට රසිකා නංගි ලැබෙනකොට නිර්මලීට අවුරුදු දාසයයි. අම්මටත් වඩා ගමේ ම්නිස්සුන්ගෙ අවලාද අහන්න උනේ නිර්මලීට.
“ඕකිත් තව ටික දොහකින් බඩක් උස්සගෙන යන්නෙ නැතිවෙයිද බලමුකො අපි…”
ඒ කියන කතා නෑහුන ගානට ඉන්න එක නිර්මලී පුංචි කාලෙ ඉඳලම පුරුදු වුන දෙයක්. නිර්මලීට එක වෙලාවකට අම්ම ගැන අනුකම්පාවකුත් තව වෙලාවක අප්පිරියාවකුත් නොදැනුනා නොවෙයි. අම්ම නැතිවෙනකොට නංගිට අවුරුදු දහයක් පිරුන විතරයි. අම්ම ලෙඩ ගානෙම හිටපු නිසා නිර්මලී ඒ වෙද්දිත් වත්තෙ කිරි කපන්න පුරුදු වෙලා හිටියෙ. අම්මගෙ මරණෙට මිනිස්සු ආවෙ නෑවිත් බැරිකමට. ඉස්සර ඉස්කෝලෙ ඇරිල ගෙදරට එන වෙලාවට පෑල දොරෙන් පිට වෙලා ගිය සමහරු අම්මගෙ මරණෙට ඇව්ල්ල අම්ම නරක ගෑණියෙක්ය කියල එක එකා එක්ක කුටු කුටු ගානව නිර්මලීට ඇහිල තිබුනා.
කොහොමින් කොහොම හරි තනි පංගලමේ නංගිව බලාගෙන ජීවත් වෙනව හැරෙන්න වෙන විකල්පයක් නිර්මලීට තිබුණෙ නෑ. අම්මගෙ ගාණට තමන්වත් ඇදල දාල මඟ තොට යද්දි කතා කියපු මිනිස්සු හවස් යාමෙ එහෙන් මෙහෙන් එබිකම් කර කර නිර්මලීගෙ පැල වටේ කැරකුනෙ නිර්මලීගෙන් අවසරයක් ලැබෙනකන්. දෙතුන් වතාවක් කුස්සියෙ තිබ්බ කැත්ත අරගෙන එළියට බැහැල ගමටම ඇහෙන්න කෑගහල කීපදෙනෙක්ව එළවගත්තට පස්සෙ හවසට වත්ත වටේ කැරකෙන හෙවනැලි අඩු වුනා.
අඟහිකම් මැද හරි නංගිව ඉස්කෝලෙට යැව්වත් නංගිගෙ හිතේ නම් ඉගෙනීමට මනාපයක් තිබුණෙම නැති තරං. ගේ දෙර වැඩපල මොකුත් නොකරපු නිර්මලීගෙ නංගි නැතිබැරිකම් තිබුණට සුදියට ඉන්න කැමති වුනා. රබර් වත්තෙ ඉඳල මහන්සි වෙලා හවසට එන නිර්මලීට තේ ඩිංගක් හදල දෙන්න තරං වත් උවමනාවක් නංගිට තිබුනෙ නෑ. ඒ උනත් නිර්මලී නම් නංගිට පණ වගේ ආදරේ කරා.
අවුරුදු දාසයක් වෙච්ච නංගිව තනිපංගලමෙ ගෙදර හිටවල යන එක ගැන ඒ හැටි මනාපයක් නිර්මලීගෙ හිතේ නොතිබුනාට කරන්න වෙන දේකුත් නිර්මලීට තිබුනෙ නෑ… නිර්මලී හැමදාමත් නංගිට දහසකුත් අවවාද දීල කිරි කපන්න පිටත් වුනා…නංගිට නම් ඒක මහා කන්කරච්චලයක්..සෙනසුරාද දවසක් වෙච්ච එකේ නංගිට ඉස්කෝලෙත් නිවාඩු තිබුන නිසා දවසම ගෙදරට වෙලා තනියෙන් ඉන්න වෙන බව නිර්මලී දන්නවා. ඒ හින්දම ඉස්කෝලෙ නිවාඩු දවස් වලට ඉස්පාසුවක් ලැබුන හැටියෙම ගෙදරට දුවල ඇවිත් යන්නත් නිර්මලී අමතක කරේ නෑ. නංගිත් දවස තිස්සේම ගේ අස්සට වෙලා ඉස්කෝලෙ පුස්තකාලෙන් ගෙනාව නවකතා පොතකට ඔලුව ඔබාගෙන හිටියෙ වට පිටේ ඇවිදින්න යන්න ආසාවක් නැතිව නෙවේ. ගමේ හැම පවුලක්ම වගේ තමන්ගෙ දරුවන්ට නිර්මලීලා ආස්සරේ කරන්න තහංචි දාල තිබුන හින්දා… නිර්මලීටවත් නංගිට වත් එහෙමට කියල යාලුවෙක් වත් හිට්යෙ නැති හිංදා. ..
එදත් සෙනසුරාදාවක්… නිර්මලී කිරි කපන්න යන දිහෑවෙ නංගි බලාගෙන හිට්යෙ ජනේලෙ එල්ලිලා. එදා නංගිගෙ හැසිරීමෙ වෙනසක් දැනුනද කියල නිර්මලී තාම කල්පනා කරනව. දවල් කෑමට කියල ඉස්පාසුවක් ලැබුන හැටියෙම නිර්මලී ගෙදරට දුවගෙන ආව.දොර අඩවල් කරල තිබුනට නංගි ගෙදර නෑ කියල නිර්මලීට හිතුනෙ දෙතුන් සැරේ මිදුලෙ ඉඳන් කතා කරද්දි ගේ ඇතුලෙ කිසිම හැලහොල්මනක් නැති නිසයි. ආ පයින්ම නංගිට කතා කරල යන්න ආපු නිර්මලීට දෙලොව රත් උනා.
” මේකි මේ වෙලාවෙ කොහාට උනාද..”
තරහින් තමන්ටම කියාගත්තු නිර්මලී දොරත් තල්ලු කරගෙන ගෙට ගියා. ගෙදරටම තිබ්බ එකම කාමරේට ගිය නිර්මලීට වෙනසක් දැනුනා. නිර්මලීටත් රසිකටත් කියල මහ ඇඳුම් ගොඩක් තිබෙනෙ නෑ. තිබුන ඇඳුම් කෑලි දෙක තුන අබලන් ඇඳේ කෙලවරක ගොඩගහලයි තිබුනෙ. ඇඳුම් ටික ඇඳ පුරා විසුරුවල දාල තියන හැටි නිර්මලීගෙ ඇහැට ඇහුවුනා. නිර්මලී ඒ ටික ඇවිස්සුවෙ කලබලෙන්. රසිකාගෙ තිබුණ ඇඳුම් කෑලි ටිකත් නෑ. තමන්ගෙ තිබුණ හොඳයි කියල කියන්න පුළුවන් චීත්ත ගවුම් දෙකත් නෑ. රසිකා ඉස්කෝලෙ ගෙනියපු තැන් තැන් වල හිල් හැදිච්ච පොත් බෑග් එකත් නෑ. හැබැයි පොත් ටිකනම් බිම එළපු පැදුරෙ තිබුන විදිහටම… නිර්මලී කලබලෙන් කුස්සියට දිව්වා. කුස්සියෙ කබල් මේසෙ උඩ හතරට නවපු කොළ කෑල්ලක්… නිර්මලී කොළ කෑල්ල දිග හැරියෙ වෙව්ලන අත්දෙකෙන්.
“අක්කෙ මං සුමනසිරි අයියත් එක්ක යනවා.මාව හොයන්නෙපා. මට සමාවෙන්න.”
ලියුමෙ තිබ්බෙ එච්චරමයි. නිර්මලීට කෑගැස්සුනා. ඔලුවෙ අතගහගෙන බිම ඉඳගත්තු නිර්මලී ඉකිගගහ අඬන්න පටන් ගත්තා. සුමනසිරි….සුමනසිරි අයියා…! රසිකට වඩා වයස දෙගුණයකටත් වඩා වැඩිමල් සුමනසිරි නංගිව දැලේ දාගත්තෙ කොහොමද කියල නිර්මලීට හිතාගන්නවත් බැරි උනා. නංගි පොඩි කාලෙදි තමන් ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට සුමනසිරි අම්ම හොයාගෙන ඇවිත් පෑල දොරෙන් පිටවෙලා යනව නිර්මලී ඕන තරං දැකල තියනව. නිර්මලීට දැනුනෙ හිරිකිතයක්..අඬා වැළපුන නිර්මලී එදා ආයෙමත් කිරි කපන්න ගියේ නෑ.
සුමනසිරිගෙ ගෙදරට මේ සිද්ධිය ආරංචි උනේ එදා හවස් වෙලා. සුමනසිරිගෙ යාළුවෙක් තමයි පණිවිඩේ කියල තියෙන්නෙ. සුමනසිරිගෙ ගෙදර උදවිය ඇවිත් අහන් ඉන්න බැරි තරං කතා කියල දෙස් දෙවොල් තිබ්බත් ගෙටම වෙලා අඬ අඬා ඉන්නව ඇරෙන්න නිර්මලීට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. අම්මගෙත් නංගිගෙත් පව් සේරම තමන්ගෙ කරපිටින් යන්නෙ ඇයි කියල නිර්මලී විස්සෝප උනා.
කල්පනාවෙන්ම කිරි කප කප හිටපු නිර්මලී පියවි සිහියට ආවෙ ගෙදරට ආපු බළල් පැටිය සිහිවෙලා. වෙනද නංගි බලන්න යනව වගේ දවල් කෑම වෙලාවට පූස් පැටිය බලල එන්න ඕන කියල නිර්මලීට හිතුනා.
නිර්මලී දාවල් වරුවෙ අඩිය ඉක්මන් කරල ගෙදරට ආවෙ බළල් පැටියා ගෙදරින් ගිහින් වත්ද කියල හිත හිත. දොර පලුව තල්ලු කරගෙන ගෙට ගිය නිර්මලී නිකමට වගේ කාමර කෑල්ලට එබුනා. නිර්මලීට ආයෙමත් පපුව හෝස් ගාල ගියේ බළල් පැටිය දැක්කම. ඉස්සර නංගි ඉන්නකොට ඇඳේ බිත්තිය අයිනෙම නිදාගත්ත වගේ බළල් පැටියත් ඇඳේ බිත්තිය අයිනට වෙලා නිදන් හිටියා. හෙමීට ඌ ළඟට කිට්ටුකරපු නිර්මලී බළල් පැටියගෙ ඔලුව හෙමින් අතගෑවා. හෙම්බත් වෙලා හිටපු බළල් පැටියා හිටියෙ තද නින්දෙ…කුස්සි කෑල්ලට ගිය නිර්මලී හිස් වෙලා තිබ්බ පොල් කට්ටට ආයෙමත් බත් හැන්දක් අනල දැම්ම.
පුංචි දරුවෙක් වගේ ගුලිවෙලා නිදාගෙන ඉන්න බළල් පැටියා දිහා තවත් ටිකක් වෙලා බලන් ඉඳපු නිර්මලී ආයෙමත් හෙමින් සැරේ රබර් වත්ත දිහෑවට ගියා.
එදා ඉඳන් නිර්මලීගේ පාළුව මැකුවෙ පුංචි බළල් පැටියා. “සුද්දී” …, නිර්මලී බළල් පැටියට දාපු නම.
සුද්දිත් හරියට නංගි වගෙයි.නිර්මලීට නිතරම එහෙම හිතුනා. වැඩක් නොකර ඔහේ කකා බිබී වැටිල ඉන්න එක රසිකගෙත් පුරුද්ද. එක අතකට සුද්දි නම් මොන වැඩක් කියල කරන්නද කියල හිතපු නිර්මලීට තමන්ගෙම සිතිවිලි ගැන හිනා පහළඋනා. ඒත් ඉතින් වැඩක්පොලක් නොකර ඉඳපු රසිකා කොහොම දීග කනව ඇත්ද කියල හිතෙනකොට නිර්මලීට ඉබේම සුසුමක් පිට උනා.
කාලය හෙමි හෙමින් ගෙවිල ගියත් නිර්මලීගෙ මතකෙන් නංගිව අයින් කරන්න පුලුවන් උනේ නෑ. නංගි නැති පාළුව මැකුව සුද්දිත් ලොකු උනේ බලාන ඉද්දි වගේ. සුද්දි දැන් නිතරම අහල පහල ඇවිදින්න යන බව නිර්මලීට හිතුනත් මනුස්සයෙක් වත් වැටකඩුලු දාල හිරකරගෙන ඉන්න බැරි තැන සත්තු කොහොම තියාගන්නද කියල නිර්මලී තනියම කල්පනා කලා. වත්ත උඩහ ගෙදරට පැනල හොරෙන් කරවල කෑල්ලක් උස්සන් ආවයි කියල දවස් කීපයක්ම ඒ ගෙදර මිනිස්සු නිර්මලීට ඇහෙන්න ආඩපාලි කිවෙ නිර්මලීගෙ අම්මයි නංගිවයිත් මතක් කරලා බනින ගමන්. අම්මටයි නංගිටයි වැරැද්දක් කියන්න ඇරුනෙ නැති කට සුද්දි වෙනුවෙනුත් වැහිලම තිබුනා. ඒකත් මගෙ පිටින්ම ගියාවෙ කියල නිස්සද්දව හිටපු නිර්මලී සුද්දිගෙ ඔලුව අතගාල ගෙට ගියා.
සුද්දි ගෙදර ඉන්න වෙලාවට අහල පහළ ඉන්න බළල්ලු ඇවිත් ගේ වටේ කෑගගහ කැරකෙන හැටි නිර්මලීට සිහිකලේ අතීතයේ තමන්ගෙ ගේ වටේ රහසින් කැරකුන මිනිස් හෙවනැලි…
ඒ අතීතය එක්ක තරහ ගත්තු නිර්මලී ඒ තරහින්ම කෑ ගගහ වටේ කැරකෙන බළල්ලුන්ව එළවල දෑම්මෙ සුද්දිටත් තරවටු කරන ගමන්ම.
කොහොම කරත් තවත් ටික දොහකින් සුද්දි රෑ දවල් නැතිව ගෙදරින් පිට වෙලා ඉන්න පුරුදු උනාම නිර්මලී හිත හදාගත්තේ දැනුම් තේරුම් තියන නංගිව වත් නවත්තගන්න තමන්ට බැරි උනානෙ කියල හිතන ගමන්ම. ඉඳල හිටල හරි ගෙදර ඉන්න සුද්දි එක පාරම ගෙදර නෑවිත්ම ඉන්නකොට නංගි ගෙදරින් ගිය දා වගේම නිර්මලීගෙ ඇස් වල කඳුලු පිරුණා. නිර්මලී රබර් වත්තට යන අතරමඟත් අහල පහල වතු වලට එබිකම් කරල සුද්දි ඉන්නවද බැලුවෙ හරියට කෑමක් බීමක් වත් ලැබෙනවද දන්නෑ කියන හිතේ සාංකාවෙන්.
නිර්මලී ආයෙමත් තනි උනා. ආදරෙන් ළඟ හිටපු හැමෝම ඉක්මනින්ම ඈත් උනේ මොන කරුමෙකටද කියල නිර්මලී නිතර දෙවේලෙ කල්පනා කරා. හරියට අගුල් නොවැටෙන දොර පලුව ඉටිරෙදි ගහපු ජනෙල් මේ හැමතැනකම තිබුනෙ තනිව ඉන්න නිර්මලීට අනාරක්ෂිත බවක් උනත් නිර්මලීගේ ගිණි පුපුරු පිටවෙන බැල්මට රතිඤ්ඤා වගෙ පුපුරන වචන වලට පුලුවන් උනා තමන්ව ආරක්ෂා කරගන්න.
කාගෙවත් එක්ක වැඩි ආස්සරේට ගියෙ නැති නිර්මලී තවත් මාස ගාණක්ම තමන්ගෙ පැල්පතේ තනියම ජීවිතේ ගත කරා. පුර පෝය දවසක උදේම නැඟිටපු නිර්මලී පන්සලට යන්න හිතාගෙන උයල පිහල ලක ලෑස්ති උනත් මිදුල දිහාවෙන් ඇහුන කටහඬින් එක පාරටම ගැස්සිලා ගියා.
” අක්කේ…අක්කේ…”
“රසිකා…මගෙ නංගියේ….! “
පුපුරා හැලෙන තරහවක් නංගි ගෙදරින් ගිය දවසෙ තිබුණත් මාස ගාණක බඩකුත් උස්සගෙන දොර ඉස්සරහ හිටගෙන උන්නු නංගිව දැක්කම නිර්මලීගේ හිතේ තරහ සේරම මැකිල ගියා.
නිර්මලී රසිකාව ගෙට එක්කරගෙන ගියේ ඇස් වල කඳුලු පුරවගෙන. කන්න අඳින්න නැතත් ලස්සන රූප සොබාවක් තිබ්බ නංගි ඇදිල ගිහිල්ල කියල නිර්මලීට පෙනුනා. අත් වල තිබ්බ තැලුම් පාරවල් රසිකා ගෙවන ජීවිතේ ගැන නිර්මලීට සාක්කි දුන්නා. මහා දුක් කන්දරාවක් හිතේ තියන් හිටපු රසිකා මහා හඬින් වැළපි වැළපි තමන් ගෙව්ව දුක්බර දිවිය ගැන කියනකොට නිර්මලීට ඉවසුම් නැතිඋනා.
“ඒ මිනිහා මාව අතෑරිය අක්කෙ… බෝඩිං කාමරේක මෙච්චර කල් උන්නෙ. සති ගාණකින් ආවෙ නෑ… ගෙදරින් මංගල්ලයක් හොයල. ඒකට කැමති වෙලා දැන් ගෙදර ඉන්නව කියල යාළුවෙක් හම්බවෙලා කිව්ව. මං මොනා කරන්නද අතේ සතේ නැතිව. කන්ඩ බොන්ඩ ටික වත් නැතිව….”
හති ඇර ඇර හිතේ දුක නිවෙනකන්ම අඳෝනා කියපු රසිකා , නිර්මලී බෙදල දුන්න පත්පත අතට ගත්තෙ කඳුළු පෙරාගෙන. පන්සලට යන අදහස ඇතෑරල දාපු නිර්මලී කෑම කාල අහවර උන රසිකට අබලං ඇඳට චීත්ත කෑල්ල එළල දුන්නෙ ටිකක් හාන්සි වෙන්න කියල.
කාමරෙන් පිටවෙනකොටම ඉස්සරහ මිදුල දිහාවෙන් තවත් පුරුදු හඬක් ඇහෙනකොට නිර්මලී ඉක්මනට මිදුලට දුවල ගියා. නිර්මලීගෙ මූණේ මතුවුනේ හීන් හිනාවක්.
නිර්මලී දිහා බලාගෙන සමාව අයදින්න වගේ පුරු පුරු ගෑව සුද්දි ළඟට ඇවිත් කකුල් දෙකේ පැටලෙනකොට නිර්මලී හෙමීට පාත් වෙලා සුද්දිගෙ ඔලුව අතගෑව. එතකොටයි නිර්මලීගෙ ඇස් දෙකට අහු උනේ සුද්දිත් ඇවිත් ඉන්නෙ බඩකුත් උස්සගෙන කියලා.
“උඹල දෙන්නම ආපහු ආව එහෙනම් තෑගිත් අරගෙනම…”
එහෙම කියපු නිර්මලී කුස්සිය දිහාවට ගියේ සුද්දිටත් බත් අහුරක් අනල දෙන්න. ගෙට එන්න අවසර ලැබුණ සුද්දිත් නිර්මලීගෙ පස්සෙ වැටිල කුස්සියට ගියේ බඩේ ඇවිලුනු ගින්න ඉවසගන්න බැරිව කෑ ගහගෙන.
නංගිට දවාලට කන්න බත් පංගුවක් වෙන් කරපු කරපු නිර්මලි මුට්ටිය අඩියෙ ඉතිරි උන බත් ටිකට හාල්මැස්සො ඔලු ටිකක් අනල සුද්දිට කන්න පොල් කට්ටට දාල දුන්නා.
ඉස්සරහට තමන්ගෙ බත් පත බෙදන්න තියන කටවල් ගාන වැඩි වෙන බව නිර්මලීට තේරුම් ගියත් නංගිත් සුද්දිත් තමන් ළඟ ඉන්න එකේ සතුටට බඩගින්න යටපත් කරගත්තු නිර්මලී අඬුව කැඩුනු කෝප්පෙට මැටි කළයෙන් වතුර එකක් පුරවගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියා.
නිමි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!