උසස් පෙළ ඉවර වෙලා ගෙදරට වෙලා හිටපු සංක්රාන්ති සමයේ මට රස්තියාදු ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. ඉසුරුත්, මමත්, චාමරත්, අනිලුත් මහනුවර එක්තරා තාක්ෂනික හා වෘත්තිය පුහුණු ආයතනයක (ටෙක්) මාස හයක කම්පියුයර් හාඩ්වෙයාර් කෝස් එකක් කරන්න තීරනය කලේ කාලේ ගෙවන්න වෙන විදියක් තිබුනේ නැති නිසා මිසක් ලොකු උවමනාවකට නෙවෙයි.
ආරම්භක දේශනය පැවැත්වූ විදුහල්පතිතුමා,
“ හැමෝගෙම විනය හොඳටම තියෙන්න ඕන. කලු කලිසම්, සුදු ශර්ට්, කලු සපත්තු දාන්න ඕන. රැවුල අනිවාර්යයෙන් උදේට කපන්න ඕන, කෙස් ගහක් කනේ ගෑවෙන ගානට ඉන්නේ නැතුව කපන්න ඕන, ඔලුවේ ජෙල් ගාන්න බෑ පොල් තෙල් ගාන්න ඕන, බෙකම් පාරවල් බෑ පැත්තට පීරන්න ඕන” ඔය වගේ තවත් රටේ නැති දාහක් කතන්දර. මට ආයෙත් ඇතුල් වෙන තැන තිබුන බෝඩ් එක දිහා බැලුනා. ඔව් “තාක්ෂණික හා වෘත්තීය පුහුණු ආයතනය” තමයි. මම හිතුවේ බස් එක මාරු වෙලා එළිමහන් සිර කඳවුරකටවත් ඇවිල්ලද කියලා.
අපිට උගන්නපු සංජය සර් නම් අපරාදේ කියන්න බෑ හරිම අහිංසකයා. අපි කරපු දේවල් වලින් ඒ අසරණයා කොච්චර නම් විඳෙව්වද. කෝස් එක මාස හයක් තිබුන නිසා හොඳයි. නැත්තං මනුස්සයා ජොබ් එක දාලා ගිහින් වනගත වෙනවා.
සාමාන්යයෙන් කම්පියුටර් හාඩ්වෙයාර් වගේ කෝස් එකකට ගෑණු ළමයි එනවා අඩුයි. කරුමේ කියන්නේ ආතල් එකේ ඉන්න තිබුණ පන්තියට ඇන්ටිලා වගේ සයිස් අක්කලා දෙන්නෙකුත් කඩා පාත් වුනා දෙවෙනි දවසේ. කුනු හරුප එහෙම ලිමිට් කරලා කලාත්මක විදියට කියන්න උනා ඒක නිසා. හොඳ නෑනේ. අක්කා බබාලනේ.
ඒ උනාට එයාල පන්තියට එන දවසේම මටත් කියවුනා දන්නෙම නැතුව කලාත්මක කුනු හරුපයක්. අපි හිටියේ තට්ටු තුනේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ. උදේම පන්තියට ඇවිත් මොනවා හරි කන්න අපි කට්ටියම කැන්ටිමට යන්න බහිනකොට මේ අක්කලා දෙන්නා පඩිපෙළ නැගගෙන උඩට එනවා. අපි එනකොට මෙයාලා ගමන නවත්තලා මගේ දිහා බලලා ඇහුවා,
“මල්ලී, හාඩ්වෙයාර් එක තව උඩද” කියලා.
මමත් වැඩිදුර හිතන්නේ නැතුව වාචාලකම හින්දා ගත් කටටම ඇහුවා,
“ඇයි අක්කා, ඇනගන්නද කියලා”
අක්කලා දෙන්නා අතින් කට වහගෙන හිනා වෙන්න ගත්තා. කියපු කතාවේ ඩබල් මීනින් එක තේරුම් ගියේ තවත් ටික වෙලාවක් ගියාට පස්සේ. දෙයියනේ මම කිව්වේ ඉතිං අපි හාඩ්වෙයාර් වලට යන්නේ ඒ වගේ බඩු ගන්නනේ.
අපේ හිටපු බිල්ඩින් එකට පාමුල තියෙනවා වෙරළු ගහක්. ඕකේ වෙරළු වැටෙනවා ඒ දවස් වල සට සට ගාලා. අපි උඩට යනකොට වෙරළු මල්ලක් විතර අහුලන් යනවා. කන්න උවමනාවටමත් නෙවෙයි. කාලා ඉවර වෙලා දැල අස්සෙන්, ඇට වලින් පල්ලෙහා බියුටි කචල් කෝස් එක කරන කෙල්ලොන්ගේ පන්තියට ගහන්න. වෙරළු ඇට පාර වැදුනට උන්ට හොයන්න බෑ ඇටේ එන්නේ කොහෙන්ද කියලා. දවසක් මම ඇටෙන් ගහලා හැංගෙනකොට චාමරයා ඇටයක් අරන් ගහන්න දැල ළඟට ගියා. පල්ලෙහා හිටපු උන් ඕක දැකලා ප්රින්සිපල් ට කම්ප්ලේන් කලා.
ප්රින්සිපල් පන්තියට ආවේ නිකන් කෆීර් එක වගේ.
“මොකාද බියුටි කල්චර් ක්ලාස් එකට වෙරළු ඇට වලින් ගැහුවේ”
චාමරයා මාට්ටු උනාට ගැහුවේ මම නිසා අනිත් උන් අමාරුවේ දාන්නේ නැතුව ඉදිරිපත් වුනා.
“සර් මම ගැහුවේ නෑ, ඇටේ දැලෙන් විසි කලා. ඒක දැලේ වැදිලා ඒ පැත්තට විසි වුනා”
මෙලෝ ගැලපීමක් නැති ගොං බොරුවක් කිව්වම පොර මට සෑහෙන්න සාප කරලා බැන්නා. අන්තිමට මම ඒ දවස් වල නිකටේ ලාවට වවලා තිබුන එළු රැවුල මිනිහට මාට්ටු උනා. ඒකටත් ආපහු මුල ඉඳලා බල්ලට වගේ බැන්නා. බැරිම තැන මම කිව්වා,
“ඇයි සර් අර බියුටි කල්චර් එකේ ළමයිනුත් කොන්ඩේ ස්ට්රේට් කරන්, ටින්ට් කරන් ඉන්නේ. අපි රැවුල චුට්ටක් වැව්වම මොකද” කියලා..
සංජය සර් බය වෙලා ඇස් දෙකෙන් කඳුළු පනින්න ඔන්න මෙන්න. ප්රින්සිපල්ට කලින් මිනිහා පැනලා මට ඒකට බැනගෙන බැනගෙන ගියා. බැනීමකට වඩා ඒක ඇඬීමක් කිව්වොත් වඩාත් නිවැරදියි. මොනවා උනත් ප්රින්සිපල්ගේ මතය උනේ බියුටි කචල් නිසා එයාලට එව්වා අවුල් නෑ කියන එක. කමක් නෑ, දුකක් නෑ කියලා හිත හදාගත්තා. ඒත් එදා ඉඳන් මිනිහට අපිව නිකන් නයාට අඳුකොළ වගේ. දැක්ක තැන ඇදේමයි හොයන්නේ. ඒත් ඉතිං අපි මහ ලොකුවට මිනිහව ගනන් ගත්තේ නෑ. කම්මැලිකමට ආව මිසක් අනාගතේ ගැන ලොකූ බලාපොරොත්තු තියාගෙන ඕකට ගියේ නෑ නෙව. මෑනුත් දන්නවා අපි එයාව කෙයාර් කරන්නේ නෑ කියලා.
ඉඳලා හිටලා වටේ සුද්ද කරන්න දුන්නු දවසට අපි වීසි ගහන්නේ නැති වෙච්ච මුද්දක් හොයනවා වගේ. වල් ගලවන්නේ සීයා පුවක් ඇහිඳිනවා වගේ. වීල් බැරෝව තල්ලු කරන්නේ ගොළු බෙල්ලා ගමේ යනවා වගේ. මොන තරම් ආතල් එකේ හිටියත් මිනිහගේ මූණ අපි දැක්කම වෙනස් වෙනවා නිකන් මල ගෙදරක් වගේ.
මෑනුත් ඒ වගේ තමයි. අපි දැක්කොත් මොකක් හරි වැඩක් කියනවා. ඉන්ටවල් එකේ කැන්ටිමට ගියත් කොහෙද යන්නේ අහනවා. අපි වෙලාවකට ඇහුනේ නෑ වගේ යනවා. පට්ට ගේම. මාස හයම ඉතිං අපි ප්රින්සිපල් එක්ක ගේම. ප්රින්සිපල් අපි එක්ක ගේම.
කෝස් එක ඉවර කරලා අපි යන දවසේ අපි පොඩි පාර්ටි එකක් ලෑස්ති කලා. මොනා උනත් කමක් නෑ අන්තිම දවසනේ කියලා සංජය සර් ලව්වා ප්රින්සිපල් සර්ටත් ඉන්වයිට් කලා. ටී පාර්ටි එක හොඳටම තිබුනා. සංජය සර් බලාපොරොත්තු නොවුන විදියට එයාට අපි ලෑස්ති කරලා තිබුන ප්රසන්ට් එක මම දීලා වඳින කොට සර්ගේ ඇස් වලට කඳුලු ආවා. එයා දැලෙන් එළිය බලාන ඒ කඳුලු හංගගත්තා.
ඒත් ප්රින්සිපල් ආවේ නෑ. මෑන් එදා කලින්ම ඔෆිස් එක වහලා ගෙදර ගිහින් තිබුනා. හත්තිලව්වේ මෙච්චර ජන්මාන්තර වෛරයක්. මම ගත්තා පෑනකුයි කොලේකුයි. හතරැස් අකුරු වලින් ලිව්වා අපිට මෑන්ගෙනුත්, මෑන්ගෙන් අපිටත් වුන හිරිහැර ටිකක් කලාත්මක විදියට. එයාගේ නික් නේම් එක “කනේ මයිල්”. මම අන්තිමට ලිව්වා,
“කනේ මයිල් තියෙන උදවිය කාට සද්ද දැම්මත් ගෙදර ගෑණිට බයයි” කියලා.
ඇත්ත නැත්ත කොහොම උනත් අපි එහෙම කතාවක් අහලා තිබුනා.
ඕක හතරට නමලා වහලා තිබුන ඔෆිස් එකේ දොරට යටින් ඇතුලට යැව්වා. ඉතිං අපි කෝස් එක ඉවර වෙලා ගෙදර ආවා. මෑන් ලියුම දැක්කට පස්සේ යකා ආවේස වෙලා තිබුනා. අපේ බැජ් එකේ එකෙකුටවත් මේ ලියුම ලියපු එකාව කියනකන් සහතික දෙන්නේ නෑ කියලා දිව්රලා තිබුනා.
මට ඔය සහතිකේ ගන්න ඕන උනේ ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ඉන්ටවීව් එකකට යන්න. මම කිරිහාමි වගේ සර් කැමති විදියට පිළිවෙළට ඇඳලා කොන්ඩේ එහෙම පැත්තට පීරලා ගියා ඕක ගන්න.
“එක්ස්කියුස්මී සර්”
මෑන් ටික වෙලාවක් අරන් ඔලුව උස්සලා බලලා ඔලුවෙන්ම මට ඇතුලට කතා කලා.
“ඇයි ?”
“සර් සෙටිෆිකට් එක ගන්න”
“කොයි අවුරුද්දෙද”
මම අවුරුද්ද කිව්වා.
“පළවෙනි බැජ් එකද දෙවෙනි බැජ් එකද”
“සර්, දෙවෙනි බැජ් එක”
මිනිහා මගේ මූණ දිහා හොඳට බලන් හිටියා. ඔව්.. එතුමා මාව අදුරගත්තා. මට තමුසෙව මතකයි. මට ඔය පන්තියම මතකයි. එදා යනකොට මට කැලෑ පත්තර ගහලා ගිහින් තිබුනේ. ඒක කරපු මිනිහා අල්ලා දෙනකන් මම එකෙකුටවත් සෙටිපිකට් දෙන්නේ නෑ කියලා කියාගෙන කියාගෙන ගියා. මම බෙල්ල ඇද කරන් දුක හිතෙන විදියට බලාන හිටියා. මම භාසාවේ දන්න සියළුම ප්රයෝග දාලා මගේ දුක සර්ට කිව්වා. මේක ගන්න බැරි උනොත් මගේ ජීවිතෙත් නැති වෙයි වගේ හිතන තරමට දුක කිව්වා. ඒකේ ලොකු වැදගත්කමක් නැති උනත් මාස හයක් කරපු කෝස් එක නිසා නිකන්ම අතෑරලා දාන්නත් දුක හිතුන නිසා උපරිම ට්රයි කලා.
“තමුං මෙච්චරම කියන නිසා මම තමුංගේ එක විතරක් දෙන්නම්. අනිත් එකෙකුටවත් එන්න එපා කියනවා මේ වැඩේ කරපු එකා කියන්නේ නැතුව මගෙන් සෙටිපිකට් ගන්න” කියලා එතුමා කිව්වා. හොඳමයි කියනවා වගේ කැලෑ පත්තරේ ගහපු මම ඔළුව හෙල්ලුවා. සර් සහතිකේ ගෙන්නගෙන අත්සන් කරලා සීල් එකත් ගහලා මට දෙන ගමන් මෙහෙම කිව්වා;
“ඒක ලියපු එකා අන්තිමට කියලා තියෙනවා මගේ කනේ මයිල් කියලා. දැනගන්නවා මගේ කනේ විතරක් නෙවෙයි, මගේ පුපෙත් මයිල් තියෙනවා”
මම ඒකටත් ගොනා වගේ ඔලුව හොල්ලලා “හොඳමයි සර්” කියලා, තවත් වැදගත් දෙයක් දැනගත්තා කියලා හිතාගෙන ගෙදර ආවා.
******
ඔය බැජ් එකේ විසි ගානක් හිටියා. එකෙක් හරි මේක දැක්කොත් ඌ දන්නවා මම කවුද කියලා. ඒත් ඒ හිටපු අජරාමර ඩයල් එකක්වත් මේ වගේ එකක් කියවයි කියලා මම හිතන්නේ නෑ.
උපුටා ගැනීම: Sherlock Holms