මට ළාවට වගේ මතකයි මීට අවුරුදු 15කට විතර කලින් අද වගේ දවසක, ඒ කියන්නෙ කාන්තා දිනයක සිරස ටීවී එකේ ගිය උදෑසන වැඩසටහනක්. කොහොමටත් ඔය වගේ ඕනෑම දිනයක පතරංග පල් හෑලි තොගයක් ඇදබාලා තමන්ගෙ එයාර් ටයිම් එක පුරවගන්න චැනල් කාරයො දත කට මැදගෙන බලං ඉන්නවනෙ. ඉතිං මේ කියන වැඩසටහනෙත් ඒ වගේම කාන්තාව ගැන විශිෂ්ඨ ගනයේ විශ්ලේශන ලබා දෙන්න ආරාධිතයො කිහිප දෙනෙක් සම්භන්ධ වුනා. ඒ අතරින් තිදෙනෙක්ම කාන්තාවන් (මතක විදිහට රෝසි සේනානායකත් හිටියද කොහෙද). එකම පිරිමියා රංබණ්ඩා සෙනවිරත්න. මම හිතන්නෙ එයාට එන්න කියන්න ඇත්තෙ ළදුනේ, දවසක් පැල නැති හේනේ වගේ ස්ත්රීවාදී යැයි හැගෙන සිංදු කිහිපයක් ලියපු නිසා වෙන්න ඇති.
කොහොම වුනත් ඒකාලෙ රංබණ්ඩා ගැන මට පට්ට ලව් එකක් තිබුනු නිසා මමත් කට ඇරගෙන බලං හිටියා. එතන හිටපු කාන්තා විමුක්ති කාමිනියො ටික සම්මත, පුරුෂවාදී සමාජය තුළ කාන්තාවට එල්ල වන පීඩනය ගැන රොම්බ ටෝක්ස් ටිකක් ඉශු කළා. ඊට පස්සෙ ආවෙ රංබණ්ඩාගෙ අවස්ථාව. ඔහු කතාව පටන්ගත්තෙ මෙහෙම;
“අපි හිතමු ඉතාම රූමත් ළලනාවක් බස් හෝල්ට් එකක ඉන්නවා කියලා. අතපසුවීමකින් එයාගෙ ලේන්සුව බිමට වැටෙනවා. දැන් ඔය ලේන්සුව අහුලලා දෙන්න කීදෙනෙක් නම් පිරිමි ඉදිරිපත් වෙයි ද? ඒත් නිකං හරි මම ලිස්සලා ගිහිං පාරක් අයිනෙ වැටුනොත් බල්ලෙක්වත් නැගිටින්න උදවු කරන්නෙ නෑ. ඉතිං කොහොමද කියන්නෙ කාන්තාවන්ට සලකන්නෙ නෑ කියලා?”
ඊට පස්සෙ අර කාන්තා විමුක්ති කාමිනියො ටික මූනට මූන බලා ගෙන හිනා වුනා.
රංබණ්ඩා ලියපු ළදුනේ සිංදුව කාන්තා දිනයට පට්ට ගහන සිංදුවක්. මමත් කාලයක් ආසාවෙන් ඇහුවා. පස්සෙ කාලෙක සමාජ ආශ්රය ඇතුලෙ ලබපු අත්දැකීම් එක්ක මට ඒ සිංදුව පේන්න බැරි වුනා.
“බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකී… ඔබ ද කිසාගෝතමියකි.
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ…”
බම්බුව තමයි… එයා එතකොට බබා…
නෑ… මේ මම කියන්නෙ ගනිකාවන් සම්භන්ධයෙන් මගේ කිසිම විරෝධතාවයක් නෑ. උදාහරණයක් විදිහට කවුරුහරි කියනවා නම් කලාව කියන්නෙ විනෝදාශ්වාදන මාධ්යක් කියලා, මම කියන්නෙ එහෙනම් ලෝකෙ ඉන්න හොඳම කලාකාරයා ගනිකාව කියලා. ඊට වඩා විනෝදාශ්වාදයක් දෙන්න පුලුවන් ද බං වේදිකා නාට්ටි පෙන්නලා.
ඒත් රංබණ්ඩාගෙ මේ වචන ඇතුලෙ ගනිකාව අහිංසක, අසරණ, කුලෑටි, මුවපොව්වෙක් කරලා. ඇය පිළිබදව අපිට අනුකම්පාවක් ජනනය කරවන්න උත්සාහ කරලා. කොටිංම කිව්වොත් බබා කරලා.
බැලූ බැල්මට මේක ඉතා ස්ත්රීවාදී ප්රකාශනයක් වගේ පෙනුනට මට නම් ළදුනේ සිංදුවෙයි සෝමතිලක ජයමහගෙ නුඟ සෙවනක් සේ සිංදුවෙයි කිසිවෙනසක් නෑ.
“නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි.
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න”
ඒ කියන්නෙ අර ළදුනේ වගේම ගෑනි තමයි බබා. මිනිහා තමයි ඒකිට සෙවනයි, සිහිලයි, සරණයි හැම රෙද්දම දෙන්න ඕනෙ. අඩුම ගානෙ ෆෑන් එක ඔන් කරගන්නවත් දන්නෙ නෑ.
කාලයක් ඉතා සමීපව ආශ්රය කරපු කාන්තිලතා නැත්නම් බට්ටි කියන මිතුරිය කියපු කතාවක් මතක් වෙන්නෙ මේ වෙලාවට තමයි.
“හැමදාම උං එක්ක බුදියන්නෙ නෑ මල්ලි. හුගක් වෙලාවට රත්නපුරේ ටවුමට එන්නෙ ආමි එකේ කොල්ලො. ගමට යන්න කලිං පොඩි සැපක් අරන් යන්න. ඒ වෙලාවට අදුරන ත්රීවීල් එකක දාගෙන හංදියෙන් ටිකක් ඈත පාළු පැත්තකට එක්කන් යනවා. ඊට පස්සෙ මොත්තයක් දලා පර්ස් එකේ තියෙන සල්ලි ටික අරගෙන මගින් බස්සලා යනවා. මොකද ඉතිං පොලිස්සි යන්නයැ.”
ඒ කියන්නෙ ගනිකාවො හෙන පාහරයි නෙ…?
ඇයි එතකොට උඹලා ඔක්කොම හෙන සිල්වත් ද? අනේ නිකං පලයං යකෝ යන්න.
ප. ලි. – මේ ටික ලියාගෙන යනකොට අපි ඒ ලෙවල් කරන කාලෙ මගේ අතීජාත මිතුරෙක් ලියපු කවියක් මතක් වුනා.
“හිමිදිරියට පිපෙන
පවනට පෙති සැලෙන
බඹරිදු රොන් උරන
මලක් දැයි ළදුනි ඔබ…
අඳුරු රැය දුරු කරන
ලෝ සතට එළිය දෙන
දිරිය මිනිසුන් තනන
රිවි කිරණ ඔබ ද ළද…”
ප. ප. ලි. – ඔය කවිය ලියපු මිත්රයට පස්සෙ කාලෙක පිස්සු හැදුනා.
උපුටා ගැනීම: Kasun Chandranath Pathirana