කාන්තාරෙ ගිහින් හමාරයි! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දවස් වල මෙහෙ ඊඩ් නිවාඩු. ඉතින් ඊයෙ මායි මගෙ යාලුවෙකුයි උදේ පාන්දර හතරට ගියා සවුදියේ ෆේමස් තැනක් වෙන අල් වහබි ක්රේටර් එක බලන්න.
අපි දෙන්නගෙම අඹු දරුවො ඉන්නෙ ලන්කාවේ. නිර්මලාට පෙරේද රෑ කතා කරල කිව්වා අපි දෙන්නටම කොරෝනා නැති හින්ඳා කම්මැලිකමට පොඩි පික්නික් එකක් යනව කියලා. සාමාන්ය බර බරෙන් පස්සෙ අවසරේ බලෙන්ම ගත්තා. පාන් කෑලි කීපෙකුත් බිත්තර එහෙම දාලා හදල ගත්ත මගෙ යාලුවා. මම පොඩි ‘කොට කෑලි’ තුනක් හදා ගත්තා ඔරේන්ජ් ෂැන්ඩි කරලා බැලූ බැල්මට ඔරෙන්ජ් ජූස් වගේ පේන්න. පොඩි කික් එකකට හදා ගත්තේ පොඩ්ඩයි. ඇයි ඉතින් කිලෝමීටර් හත්සිය පනහක් විතර එලවන්න තියා හින්ඳා දවස ඇතුලත. ඕන් උදේ හතරට පිටත් වෙලා උදේ අට හමාර විතර වෙනකොට අදාල තැනට ආවා දෙන්නත් එක්ක.
මේක මේ ග්රහ වස්තුවක් වැටිච්ච තැනක්. කිලෝමීටර් හතරක් පලල, මීටර් දෙසිය පනහක් ගැඹුර මේ ආවාටය දැක්කම මතක් වෙන්නේ ‘ආවාට තිබුනත් නිසසල’ කියන සින්ඳුව මිත්රවරුනි. හරි හරි දැන් මේ සින්ඳු කියන වෙලාවක් නෙවෙයි බන්. ඕන් අපි දෙන්නා වාහනෙන් බැහැලා ෆිට් පොරවල් දෙකක් වගේ ඒ එක රිජ් එකකින් පහලට බහින්න තිබ්බ අමු ප්රපාතයේ පරිස්සමින් ටිකක් විතර බැස්සා. මයිල් ඉස්මයිල් වෙනව බන් පහල දැක්කම. මේ ක්රේටර් එකේ පතුලෙ තියෙන්නේ ලුනු මිදිලා! සුදුම සුදු පාටයි!! ඇත්තෙන්ම පුදුම හිතෙන දෙයක්. අපි දෙන්නා ෆොටෝ එහෙම ගහලා බලන්න එන මිනිස්සුන්ට මහන්සි අරින්න හදල තිබ්බ අම්බලමට ඇවිත් ගිමන් ඇරියා. හීනියට දෙක තුනක් ඇන ගෙන පාන් කෑවා. ආව් අම්මා. මරු හුලඟකුත් එනවා. ඈතින් සුදු ඔටුවෝ රැලකුත් යනවා කාන්තාරේ. නලුවො දෙන්නෙක් වගේ හිතන් අපේ කැත මූනවල් ෆොටෝ ගත්තා අර ක්රේටර් එක බැක්ග්රවුන්ඩ් එකට තියෙන්න. ඔය පහලින් ඉන්නේ මම වඳුරෙක් වගේ.
ඔන්න දැන් අපි දෙන්නගේ පුකේ තියෙන මොලේට තව මරු අදහසක් ආවා සාමාන්යෙන් එතනට එන උන් නොකරන. ඒ මොකක්ද කිව්වොත්, අපි දෙන්නට හිතුනා මේ ආවාටේ වටේ ජීප් එකේ යන්න! මේක තියෙන්නේ පට්ට කාන්තාරෙ මැද. ලඟ පාතක මිනිස්සු නෑ. ඒත් ඉතින් මොනව වෙන්නද කියල හිතපු අපි දෙන්නා ඕන් ජීප් එකේ වටේම ගියා කිලෝමීටර් ගානක්. ඔහොම ගිය ජීප් එක එක පාරටම අපිත් එක්ක තරහ වෙලා වගේ නැවතුනා බොලව්!! දැන් එන්ජිම වැඩ කරනවා වාහනේ යන් නෑ!!! අම්මා සෝරු. බලද්දී අපි වැල්ලෙ පට්ට විදියට එරිලා!! පාර වගේ ලස්සනට තිබ්බට මෙහෙ හිටපු ගමන් තියනවා සිහින් වැල්ලක් ඒකෙ එරෙනවා සින් ගාලා. දැන් ජීප් එකේ බඩ වැදිල තියෙන්නේ පොලොවේ!! ආයෙ මොන පවර් දාලා රෝද කැරකුවත් වැඩක් නෑ ඇයි ඉතින් රෝද වලට ග්රිප් වෙන්න පොලොව වදින් නෑනේ.
දැන් දවල් එකොලහ හමාරයි මිත්රවරුනි. සවුදියේ ඉන්න උන් දන්නවා කාන්තාරේ එකොලහ හමාර කියන්නේ කොහොම කූල්ද කියලා!! කරන්න පුලුවන් ඔක්කොම සෙල්ලන් කරා. ම්හ්. වාහනේ හෙලවෙන් නෑ. තරහ වෙලා වගේ. අපි ඉන්න තැනට එහායින් පොඩි වාඩියක් තිබ්බා. එලුවො ෆාම් එකක්. අපි දැක්කා තරුනයෙක් වැඩ කරනවා. මෑන්ස්ව එක්කන් ආවා මගේ යාලුවා. මගෙ යාලුවට ඇරබික් හොඳින් කතා කරතැකි. ඒ ගැටයා ඉතියෝපියන් හාදයෙක්. යකඩයෙක් වගේ වැඩ කරන්න පුලුවන් ඌට ඕනෙ අව්වක. අනේ ඒ සහෝදරයා උගෙ උපරිම වෙහෙසත් දැරුවා ජීප් එක ගොඩ ගන්න. මොන! හෙලවෙන් නෑ!! දැන් එකයි. මෑන්ස් අපිට කිව්වා මෑන්සුත් එක්ක එයාගෙ කූඩාරමට යන් කියලා කවුරු හරි එනකන්. හැබැයි කිව්වා කව්රුත් සාමාන්යෙන් එන්නෙත් නෑ කියලා!! ඒ කියන්නේ ලඟම මිනිස් පුලුටක් ඉන්නේ කිලෝ ගානක ඈතින්. පයින් ඒ අව්වේ යන්න ගියොත් කක්ක යනව. වැඩේ ටිකාක් විතර බරපතලයි අපි දෙන්නා විහිලු කර කර හිටියට. හොඳ වෙලාවට සිග්නල් තිබ්බා. දැන් අපි ඩෙස්පරේට් ලෙවල් එකට ඇවිත්. කෝල් කරා ඉමර්ජන්සි සර්විස්. ඒ අය අපේ ලොකේෂන් ඇරන් අපිට තව නම්බර් එකක් දුන්නා කෝල් කරන්න කියලා. පොලිසියේ නම්බර් එකකුත් දුන්නා. අපි පොලිසියටත් කෝල් කරා. උන් කිව්වා රෙස්කිව් ටීම් එකක් ඕගනයිස් කරන්නන් කියලා.
ඔය අතරේ මිස්ටර් ඉතියෝපියන් හැදුවා රොටී. ඒ රොටී කන්න ගත්තා මිනිහා හදලා තිබ්බ කඩල වලින් හැදූ තික් හොද්දක්. ඒක මෙහෙ ෆේමස් කෑමක්. මගේ යාලුවාට පොඩ්ඩක් හිරිකිතයි දැන් මේ ටෙන්ට් එකේ මනරම් සුවඳ එක්ක එහෙම කන්න. අනේ අපරාදේ කියන්න බෑ මට එහෙම අසනීප නැති හින්ඳා ඇරල දැම්ම රොටී බඩ පිරෙන්න! ඊට පස්සේ අර ඉතියෝපියන් මාස ගානකට හොදා නැති ඇඳ ඇතිලි ඇති ඇඳේ සුසන්තයා ඇලවුනා! ඒසී නැති වුනාට ටෙන්ට් එක අස්සට හුලන් එනවා!! ආව් අම්මා මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය වගේ නිදුවා මම! ඕන් නිර්මලා කතා කරනවා වීඩියෝ දාලා. මම කිව්වා ‘අපි මේ රිලැක්ස් කරනවා අම්මා මෙහෙ ෆාම් එකක. තව ටිකකින් පිටත් වෙනවා. මම ඩ්රයිව් කරන හින්ඳා ආයෙ හෙට කතා කරන්නන්’ කියලා! නැත්තන් හිතයි මොකෝ මේ රිලැක්ස් එක පැය ගානක් කරන්නේ කියලා.
පොලිසියෙන් ආවෙත් නෑ. රෙස්කියු මගුලෙක් ආවෙත් නෑ. උන් දුන්නු නම්බර් ආන්ස්වර් කරෙත් නෑ. අන්තිමට ඊට පැය තුනක ඈතින් ඉන්න මගේ යාලුවෙක් උන්ගෙ ඔෆිස් කැබ් එකක මිනිස්සු දාලා එවන්න ලෑස්ති කරා. හැබැයි ඒ අය පිටත් වෙන්න කලින් අර ඉතියෝපියන් මලයා කෝල් කරලා ජීප් එකක් ගෙන්න ගත්තා.
හවස හතරට අපි ඒ වැල්ලෙන් බේරිලා එන්න ආවා පින්වතුනි. මම ට්රිප් ගිහින් මඩේ අරහෙ මෙහෙ ස්ටක් වෙලා තියනවා ඒත් මේ වගේ භයන්කාර දෙයක් වුනු පලවෙනි අවස්තාව. ටෙල්ෆෝන් වැඩ නොකරනන්, අර ඉතියෝපියන් මල්ලි නොහිටියනන් අපි සුම්මා!! අනේ ඒ තරුනයා දුන්නු සල්ලිත් එපා කිව්වා. උන් නියම මිනිස්සු දුප්පත් වුනාට. අන්තිමට බලෙන් සල්ලි දීලා ආවේ. ඔය පහලින් තියෙන්නේ ඒ ෆොටෝ. නිර්මලාට කිව්වෙ නෑ අකරතැබ්බෙ ගැන. උඹලා කියන්නෙ එහෙම නෑ හරිද. ආයෙ කාන්තාරෙ ගිහින් හමාරයි!
උපුටා ගැනීම: Susantha Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!