මේක මගේ කතාවක් නෙවෙයි බණ්ඩාරගෙ කතාවක්. මේ කතාවෙ එන බණ්ඩාර කවුද කියලා ඒකනායකගෙන් අහන්න. අනිවාර්යෙන් කියයි. මොකද පහුගිය කතා වලට බණ්ඩාරත් ඒකනායකව බයිට් කරල තිබුණා. ඒක නිසා මේ කතාවෙන් අප්රමාණ ප්රීතියට පත්වෙන්නෙ ඒකනායක තමයි ඉතිං.
මේ කියන බණ්ඩාර දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්නෙ ලිපිකාර සේවාවෙන්. දුම්රිය මූලස්ථානෙට තමයි පත්වීම. ඉතින් ගෙවල් දුර බැහැර නිසා දුම්රිය මූලස්ථානය අසල ක්ෂේත්ර නිවාසයක නවාතැන් ගන්න බණ්ඩාර කටයුතු කරනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මේ නිවාසයෙ බණ්ඩාරට අමතරව තවත් කිහිප දෙනෙක් නැවතී හිටියා. ඒ ක්ෂේත්ර නිවාසයට යාබදව තිබුණෙ කාන්තා ලිපිකරුවන්ගේ ක්ෂේත්ර නිවාසය. එකම වහලක දෙපැත්ත.
ඉතිං මේ කාලෙ කඩෙන් කන්නෙ නැතුව කට්ටිය උයාගෙන කන්නෙ. මම කියන්නෙ පිරිමි අය හිටපු පැත්තෙ වෙනම උයනවා. කාන්තාවන් වෙනම උයා ගන්නවා.
බණ්ඩාරත් උයන්න දක්ෂයා. ඉතිං හවසට කට්ටියම එකතු වෙලා ඉව්වට උදේට නැගිටින්න කම්මැලි නිසා දවස් බෙදාගෙන තිබුණා උදේ උයන්නෙ කව්රුද කියලා.
එක දවසක් උදේ උයන වැඩේ පැවරුණේ බණ්ඩාරට. උයන්න පටන්ගෙන ටික වෙලාවක් ගියාම තමයි තේරුණේ දෙහි ගෙනත් නැහැ කියලා. සමහරුනම් කියන්නෙ දෙහි හෙව්වෙ වෙන දේකට කියලා.
කොහොම හරි මේ වෙලාවෙ බණ්ඩාරට ගණදෙවි නුවණ පහල වුණා. ගත්තා කෝල් එකක් යාබද ක්ෂේත්ර නිවාසෙ ඉන්න ලිපිකාරිනියකට
“මේ දෙහි ඉවරයි දෙහි ගෙඩි දෙකක් දීපන්කො”
“පාන්දර හතරයි වෙලාව. මොන වදයක්ද බණ්ඩාර මේ වෙලාවට ඇයි දෙහි හොයන්නෙ ?”
“උයන්න බන් උයන්න. ඉක්මනට දීපන්කො.”
“මේ දෙහි නම් තියනවා කොහොමද දෙන්නෙ. මට ඉස්සරහින් ඇවිත් නම් දෙන්න බෑ. මේ පාන්දර ඔයා එන්නත් එපා”
“හරි හරී දෙහි තියනවනම් ගෙඩි දෙකක් ඔය ඇතුලෙන් යන කාණුවේ එවපන්”
දෙපැත්තෙ ක්ෂේත්ර නිවාස මැදින් එකම කාණුවක් දිවෙනවා.
“ඊයා. ඒකෙ එවන්න පුළුවන්ද බණ්ඩාර. මීයොත් යනවා ඒකෙ”
“කමක් නැහැ කමක් නැහැ. දෙහි ගෙඩිය ඇතුලට මොකුත් යන් නැහැනෙ මම හෝදල ගන්නම් උඹ එවපන්කො. මම දැන් කාණුව ගාව ඉන්නෙ”
“ඔන්න එව්වා.ආවද?”
“නැහැ මඟ නතර වුණා. මචං තරහ නැතුව ඔය පැත්තෙන් වතුර එකක් ගහපන්.”
“උදේ පාන්දර දෙහි ඉල්ලුවා මදිවට වතුරත් ගහන්න කියනවා අනේ තෝ නම්.”
කොහෙම හරි ඒ පැත්තෙන් ගහපු වතුර පාරට දෙහි ගෙඩි දෙකත් එක්ක කාණුවේ තිබුණු කුණුත් බණ්ඩාර අතට යහමින් ආවා.
එදා කෑම කාපු අය මේක දන්නවද ?
කරවල කතාව පසුවට
උපුටා ගැනීම: Nirantha Vissundara