මට හම්බ උනා මට ලස්සනයි කියලා හිතෙන කරාබු දෙකක්. එදා වැලන්ටයින් දවසක්. අපි සාමාන්යයෙන් වැලන්ටයින් සෙලිබ්රේට් කරන්නේ නැති නිසා පුදුම හිතුනත් අහන්න ගියේ නෑ “ඇයි මේ?” කියලා. නිකං ලැබෙන අශ්වයගේ දත් ගණන් කරන්න එපා කියලා හේමන්ත නිතරම කියන හින්දා මම ඉතින් ස්තුති පූර්වකව තෑග්ග බාර අරගෙන ඒ වෙලාවෙම කනේ තිබුන කරාබු ගලවලා ඒ දෙක දාගත්තා.
එදා මෙදාතුර (අවුරුදු 21ටම) මට ලැබුන එකම වැලන්ටයින් තෑග්ග ඔච්චර තමයි. වෙඩින් එකට අම්මා මට කරාබු දෙකකුයි, ඒ වගේම පෙන්ඩන්ට් එකකුයි හදලා දෙනකම් මගේ කනේ තිබුනේ හේමන්තගේ තෑග්ග. වෙඩින් එක ඉවරවෙලා වැඩි දවසක් යන්න කලින් ඒ කරාබු දෙකින් එකක් නැති උනාට පස්සේ ආයෙමත් මගේ කණට ආවෙත් හේමන්තගේ තෑග්ග.
හොල්මන්වලට බයේ කැම්පස් අවුට් වෙන්නත් කලින් කසාද බැන්දට ඊට පස්සේ කොහොමද ජීවත් වෙන්නේ කියලා අපි දෙන්නම හිතලා තිබුනේ නෑ. වෙලාවකට දුර්වලකමක් වගේ පේන අපි දෙන්නගෙම සමාන ලක්ෂණයක් තමයි දුර දිග නොබලා අවදානම් වැඩ කරන එක. කේන්දරේ බලත්දි කිව්වත් වගේ හේමන්තට කන්න උනා මාරම කට්ටක්. මම රස්සාවක් කරේ නැති නිසා සතියට දවස් 4ක් ඕ ලෙවල් ළමයින්ට අයිටී උගන්නන්න හේමන්ත ගියා ගෙවල්වලට. රස්සාවට අමතරව. කේන්දර බලපු අංකල් කිව්වේ කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ කියලා. ඒ කතාව සහතික ඇත්ත කියලා බොහොම ඉක්මනට තේරුනත් අපි දෙන්නා ට්රයි කරේ හැම මොහොතක්ම පුළුවන් තරම් සතුටින් ඉන්න.
වැඩි වියදමක් නැතුව සතුටින් ඉන්න අපි දෙන්නා කරපු දේවල් වලින් ප්රධානම එක උනේ ෆිල්ම් සහ ටීවී සීරිස් ඩවුන්ලෝඩ් කරලා බලන එක. ටික දවසකින් මට දැනුනේ කුඩු ගහලා වගේ. මුලින්ම බැලුවේ කම්පියුටර් එකෙන්. ඒ වෙනකොට අපිට ටීවී එකක් තිබුනේ නෑ. අවුරුදු දෙකක් විතර යනකොට අපි ගත්තා කලින් පාවිච්චි කරපු තඩිම තඩි ටීවී එකක් ක්රවුන් එකෙන්.
ලේසියෙන් කිසි දෙයක් හම්බ වෙන්නේ නෑ කියලා කිව්වත් වගේ අපි ආසාවෙන් බලන් හිට්යත්, අපිටත් වඩා වටපිටාව නොයිවසිල්ලෙන් බලන් හිටියත් බබෙක් ලැබුනේ නෑ බැඳලා අවුරුදු පහක් යනකම්. ඔන්න දැන් ඒකටත් සල්ලි වියදම් කරන්න වෙච්ච කාලේ ආවා. මිස්කැරෙජස් 2ක්, ලැපරස්කොපි, ඩයලටේෂන්, IUI 5ක් එක්ක නොදැනිම කාලය ගතවෙලා යනවා.
“අද සතුටින් ඉමු, අපි දන්නේ නෑනේ හෙට අපිට මොනව වෙයිද කියලා”
ඒක තමයි හේමන්තගේ තේමා පාඨය උනේ. ඔය හැමදේම මැද අපි ගෙදරම ඉඳන් ටීවී බැලිල්ල ඇරුණු කොට ට්රිප් යන්න කතා කරන හැමෝමත් එක්ක ට්රිප්ස් එහෙමත් ගියා. නිතරම යාළුවන්ට එන්න කියලා පාටි දැම්මා. මහ ලොකු ඒවා නෙමෙයි. අපි දෙන්නා උයනවා. කට්ටියත් එක්ක කාලා පැය දෙක තුනක් සිංදු කියලා විසිරිලා යනවා. එච්චරයි. කවදාවත් අමතක කරන්න බැරි තරම් පුදුමාකාර සතුටක් අපි දෙන්නා වින්දත් පිටින් බලන හැමෝටම පෙනුනේ අපි හරිම සෙල්ලක්කාරයෝ ගානට. අවවාද අනුශාසනා එමටයි. බබාලා ගැන අහනවා වගේම තමයි,
“ගෙයක් හදාගන්නේ නැද්ද නට නටා ඉන්නේ. ජාඩියට මූඩිය වගේ වෙන් නැතුව හේමන්තව පාලනය කරගන්න බලන්න”
ඔය ඉතින් එකක් විතරයි. ඕවා අහන හේමන්ත කිව්වේ,
“ඔයා දන්නවද අනු, ගෙයක් හදනවට වඩා ලාභයි මුළු ජීවීත කාලෙම රෙන්ට් එකට ඉන්න එක”
හේමන්ත ගණං හදලත් පෙන්නුවා.
“දරුවෙක් නැතුව ගෙයක් හදලා වැඩකුත් නෑ.”
කියලා හිතලා මුළු හදවතින්ම මම හේමන්තට එකඟ වෙලා වටින් පිටින් බැනුම් අහ අහ හිටියා කම්මලේ බල්ලා වගේ. ඔය අතරතුර හේමන්තට එයා වැඩ කරපු තැනින් ‘එම්ප්ලෝයි ඔෆ් ද ඉයර්’ අවෝඩ් එක ලැබෙනවා එක අවුරුද්දක. තෑග්ග තායිලන්තයට ටිකට් දෙකක් එක්ක පුංචි ඩයමන්ඩ් එකක්. තෑග්ග ලැබුන පරක්කුවට ආසාව තිබුනත් යන්න විදියක් නෑ. එකක් සල්ලි නෑ. අනික හැම මාසෙකම IUI.
මාස පහ හයක් ගියාම හේමන්තට ආවා අයිඩියා එකක් ලෝකයාගෙන් මට බැනුම් අහන්න සිද්ධ වෙන ජාතියේ. ඒ තමයි තායිලන්තෙන් අඟල් 46 එල්ඊඩී ෆ්ලැට් ටීවී එකක් ගේ අරන් එන්න අඩුවට. ඕන එකකට හෝයියා කියලා එක පයින් කැමැත්ත දුන්නා මගේ සල්ලියෑ මට මොකෝ. ඒ වගේද ටීවී බැලිල්ල කියලා. ඒ උනත් වැඩේට අපි ළඟ සල්ලි නෑ. දෙමව්පියො, නෑදෑයෝ යාළුවො වගේද ජීවීතේටවත් දැකපු නැති අඩම්වාසීන්ගෙන් බැනුම් අහන එක. නහයට උඩින් අඟලක් ගියත් එකයි දෙකක් ගියත් එකයි කියලා ඔන්නොහේ ලියලා දානවා කියලා හිතලා තමයි මේ ලියන්නේ.
හේමන්ත ගත්තා කොමර්ෂල් බෑන්ක් එකෙන් ලෝන් එකක්. ටීවී එක ගන්නයි, හොටෙල්ස්වලට වියදම් කරන්නයි. ණයවී ගිතෙල් කෑවා වගේ. දැන් ඉතින් අපි ගියා තායිලන්තෙත් බලා කියාගෙන, ටීවී එකත් අරන් එන්න හිතාගෙන. දවස් තුනක් පටුනාම්වලත්, දෙකක් පටායා (පතායා කියලා කියනවත් අහලා තියෙනවා. ඇත්තටම මම දන්නේ නෑ මොකද්ද හරි කියලා) වලත් හිටියට මොකද විශ්වාස කරන්න දවස් පහේම වරු පහක් අපි හිටියේ ටීවී ෂොප්ස්වල. පලවෙනි දවසේ පටුනාම්වල ෂොප් එකකට ගියා නිකමට බලන්න. දෙවනි දවසේ පටායාවල ෂොප් එකකට ගියා ඒත් නිකමට බලන්න. පටායා වලින් ගමු කියලා තීරණය කරන් තුන්වෙනි දවසේ ගියාම දැනගත්තේ ඊට පහුවදා පටුනාම් වලින් ගත්තොත් 3D කණ්ණාඩි කූට්ටම් දෙකක් ලැබෙනවා කියලා ඔෆර් එකක් විදියට. එදා පටුනාම් යනකොට තව මොකක් හරි එකක්. හරියටම මතක නෑ. අන්තිම දවසේ උදේ ෂට්ල් සවිස් එකේ ෂොප් එකට ගියාම සේරමත් හරි පාස්පෝට් ගෙනත් නෑ. ආයේ ෂට්ල් සවිස් එකේම හොටෙල් එකට ගිහින් ඇවිත් ටීවී එකත් අරන් යනකොට ගංවතුරක් එනවා කියලා එයාපෝට් යන්න ඕඩර් කරපු කැබ් එකත් ඇවිත් වේලාසනම. හේමන්තට බැන බැනම ළඟ තිබුන කඩේකට ගිහින් ගෙවල්වල මිනිස්සුන්ට තෑගි ටිකකුත් අරන් අපි ආවා බයෙන් බයේ ලංකාවට කස්ටම් එකෙන් ටීවී එක තියාගනිවි කියලා.
පහුවදා මම හෑන්ඩ් බෑග් එක අස්කරත්දි තායිලන්තෙදි ඉමිටේෂන් කරාබු දාගන්න ගලවලා ටිෂු එකක ඔතපු රත්තරන් කරාබු දෙක අයන් බෝඩ් එක උඩ තිබ්බා කියලා මතක් උනේ රෑ නිදාගනිත්දි. ගැස්සිලා නැගිටලා දුවගෙන ගිහින් බලත්දි කන් දෙක රත් වෙලා, කකුල් පණ නැතිවෙලා මහධාරාණිපාත වැස්සෙත් මට දාඩිය දැම්මා. අයන් බෝඩ් එක උඩ මුකුත්ම නෑ.
ඇයි දෙයියනේ කවදාවත් නැතුව මට උදව් කරන්න හිතාගෙන හේමන්ත ගේ අස් කරානේ. ඕක අහන්න උදේ වෙනකම් මම ඇහැරිලා ඉන්න ඕනෙද කියලා හිතලා ගිහින් ඇහැරවගෙන එක්ක ආවා හේමන්තව.
“කෝ මෙතන තිබ්බ මගේ කරාබු දෙක?”
“මොන? මෙතන මුකුත් තිබුනේ නෑ”
අඩුම ගානේ හේමන්ත ටිෂු එකවත් දැකලා නෑ. වැඩක් නෑ ඉතින් තව දුරටත් ඒ ගැන අහලා.
“කුණු වලට මොකද කරේ?”
“වැස්සක් එන්න වගේ තිබ්බ නිසා පිච්චුවා”
මට හිතුනා වැස්සේ තෙමි තෙමීම දුවලා ගිහින් බලන්න.
“අපි උදේම බලමු. දැන් නිදාගමු”
හේමන්ත නිදා ගත්තට මට නම් නින්ද ගියේ නෑ. මට වෙන කරාබු දෙකක් තිබුනෙත් නෑ. හදිසියට කරාබු ගන්න ඒ වෙලාවේ සල්ලි තිබුනෙත් නෑ. ලෝන් දාලා ටීවී අරන් කරාබු නැතුව රජයේ කාර්යාලයක වැඩට යනවා කියන්නේ මූණටත් බැනුමක් අහගෙන, හැංගි හැංගි බනින ඒවත් ආරන්චි වෙන්න පුළුවන් තත්ත්වයක්. ඔක්කොටමත් වැඩිය මම ඒ කරාබු වලට ආසයි, (ඊට කලින් බර්ත්ඩේ එකකට හේමන්ත දීපූ පෙන්ඩන්ට් එකකුත් නැතිවෙලා, ඒකටත් නොසෑහෙන හිතෙන් දුක් විඳලා තිබුනේ මගේ නොසැලකිල්ල නිසා) ටීවී එක වෙනුවෙන් වැය කරපු කාලෙත් අපරාදේ, හිතේ හැටියට ෂොපින් කරන්නත් බැරි උනා. හේමන්ත ගත්ත ෆොටෝස්වල මම ඇත්තෙත් නෑ. පාරවල්වල විකුණන කෑම ජාති වගේ මට වැඩක් නැති ෆොටෝස් තමයි වැඩිපුරම අරන් තිබුනේ.
“ආයේ කවදාවත් ඔයා ගේ අස් කරන්න එපා. මෙච්චර කාලයක් කර ගත්තා වගේ මමම කරගන්නම්.”
හිතේ තිබුන නොරිස්සුම මම එහෙමයි පිට කරගත්තේ. හේමන්තට ඒක තේරුන හින්දා වෙන්න ඇති වරුවක් නිවාඩු දැම්මා කරාබු හොයලා දෙන්න. උදව්වට මමත් වරුවක් නිවාඩු දාලා, වැස්සෙම ගියා කුණු ගොඩ ළඟට ගෙවල් අයිති අයගේ ගේ පිටිපස්සේ තිබ්බ. අත් දෙකට ග්රොසරි බෑග් දාගෙන, බංකුවක වාඩිවෙලා, කිරි ගොට්ටකට පිච්චිච්ච පස් දාගෙන, වතුර දාලා යටින් භාජනේකුත් තියලා මැණික් ගරනවා වගේ පස් දියකරන්න ගත්තා හේමන්ත. මම හිටගෙන කුඩේ අල්ලගෙන හිටියා.
“අද ටීවී එකේ කිව්වා නංගී මීන ලග්නෙට ගොඩක් අපලයි කියලා. මං හිතන්නේ මල්ලිගේ අපල ගෙවෙනවද කොහේද”
කුස්සියේ දොරකඩ ඉඳන් අපි දිහා බලන් හිටපු ගෙවල් අයිති අක්කා කිව්වේ හේමන්ත මීන ලග්නේ කියලා දන්නවටත් වැඩිය එයාට කන්න සෙට් වෙන්නෙම කටු කියලත් දන්න නිසා.
වරුවක්ම හෙව්වත් කරාබු ලැබුනේ නෑ. බලාපොරොත්තු බිඳගෙන අපි දෙන්නම ඔෆිස් ගියා ඒ වෙනකොටත් නිවාඩු ගොඩක් අරන් තිබුන නිසා. කරාබු නැති දුකටද මන්දා හවස කුඩේ බස් එකේ දාලා බැහැලා ඇවිත් ටිකකින් වහින්න ගත්තම තෙමීගෙන ගෙදර ආවේ මීන විතරක් නෙමෙයි මිථුනටත් එදා දවස අපළ ඇති කියලා හිත හිතා.
“අනේ දිලේකා, බලන්න මගේ කරාබුත් නැති වෙලා, කුඩෙත් නැති උනා.”
හිතේ අමාරුවට දිලේකට කෝල් කරාට හීනෙන්වත් හිතූවේ නෑ දිලේකා වීක් එන්ඩ් එකේ කුඩෙකුත් අරන් රත්නපුර ඉඳන් පිළියන්දලට එයි කියලා. ටික දවසකට පස්සේ උදේක කුණු දාන්න ගියපු හේමන්ත ආයෙමත් අැවිත් කලු පාට පස් ගුලියක් මගේ අල්ලෙන් තිබ්බම මේ මගේ කරාබුවද කියලා හිතුනට ඇල්පෙනෙති තුඩක් තරමට පෙනුන රත්තරං චුට්ටෙන් හේමන්ත කරාබුව කොහොම අඳුන ගත්තද කියලා අදටත් පුදුමයි. එදා ඒ අවට හැමතැනම අනිත් කරාබුව හෙව්වත් තවත් දවස් ගානකට පස්සේ කුණු ගොඩෙන් ගොඩක්ම ඈතට වෙන්න ඒ කරාබුවත් හේමන්තටම හම්බ වෙලා තිබුනේ මුළු කරාබුවෙම පස් බැඳිලා, බෝලෙත් මුදුන් කොටස විතරක් රත්තරන් පෙනෙත්දි.
කරාබු දෙක හම්බ වෙලා මම සතුටු උනාට මොකද ඔය කතන්දරේ අහලා හේමන්ත විඳපු දුක ගැන අප්රමාණ දුකට පත් වෙච්ච අපේ අම්මා කලින්ම නැති වෙච්ච කරාබුවට තවත් කරාබුවක් හදලා දුන්නා එක්ස්ට්රා කරාබු දෙකක් තියෙන්න ඕන කියලා මම වගේ නොසැලකිලිමත් මනුස්සයෙක් ළඟ.
ප්රී ස්කූල් එකක කොන්සට් එකකට යත්දි හදිසියට කාර් එකේදි ඒ කරාබු ගලවලා, හේමන්තට පෙන්නලම ටිෂු එකක ඔතලා, එන්විලොප් එකක දාලා කැබි හෝල් එකේ දාලා සාරියේ පාටට ඉමිටේෂන් කරාබු දාගෙන මම බැහැලා ගියා. දවස් කීයක් ගත උනාද කියලා මතකයක් තිබුනේ නෑ. හදිසියේම මතක් වෙලා දුවලා ගිහින් බැලුවා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ කියන්න කරාබු දෙකවත්, එන්විලොප් එකවත් නෑ. මුළු කාර් එකේම අස්සක් මුල්ලක් නෑරම හෙව්වත් කරාබු දෙක නෑ.
“කෝ හේමන්ත එදා මම ඔයාට පෙන්නලම දාපු කරාබු දෙක නෑනේ”
“ආ.. නැද්ද? ඔයා ඒක ගත්තේ නැද්ද? මම හිතුවේ ගන්න ඇති කියලා. දැන් ගොඩක් කල්නේ. මම කාර් එක් සවිස් කරත් එක්කනේ”
ඇඟට පතට ගානක්වත් නැතුව හේමන්ත කියත්දි මට මල් පොකුරක්ම පැන්නත්,
“ඔයා කාර් එක සවිස් කරත්දි සේරම චෙක් කරනවනේ. මුකුත්ම තියන්නේ නෑනේ. කවුද දන්නේ ඔයාට කෙල්ලෙක්වත් ඉන්නවද? තෑග්ගකට එයාටවත් දුන්නද කියලා.මට නම් සැකයි”
“හරියටම හරි. එහෙම තමයි උනේ. ඔයා කොහොමද හරියටම දැනගත්තේ?”
කියලා කියත්දි මම කරබාගත්තා. ඒත් තාමත් හේමන්තගේ අතින් මොනවහරි නැති උනාම,
“ඇයි මතක නැද්ද? මගේ කරාබු දෙකත් නැති කරානේ ඔයා අච්චර පෙන්නලත්, ටිෂු එකක ඔතලත්, එනව්ලොප් එකක දාලත්. තව ඉතින් මොනවා කියන්නද?”
එක්ස්ට්රා කරාබු තියාගන්න මට වාසනාවක් නැති හින්දා මම දැන් අසාවටවත් කරාබු ගලවන්නේ නෑ. තවමත් මගේ කනේ තියෙන්නේ හේමන්තගේ එකම එක වැලන්ටයින් තෑග්ග.
ප.ලි.
“දෙයක් නැති වෙන්න තියෙනවනම් නැති වෙනවමයි. ඒ වගේම තමයි දෙයක් ලැබෙන්න තියෙනවනම් සක්රයටවත් ඒක නවත්තන්නත් බෑ. ඒ නිසා නැති වෙන දේවල් ගැන දුක් වෙන්නෙපා, අතෑරලා දාන්න”
මගේ මොනවහරි නැති වෙලා, මම දුක් වෙත්දි තාත්තා මගේ හිත හැදුවෙ ඒ වගේ. අවුරුදු 10ට කලින් වෙච්ච මේ සිද්ධිය මතක් වෙන හැම දවසකම මට තාත්තගේ කතාවත් මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි නැති වෙන හැම දෙයක්ම මම ඉක්මනටම අතෑරලා දානවා. අජීවී දේවල්.
උපුටා ගැනීම: Anu Jayawardane