මේ සිද්දිය උනේ කාලෙකට කලින්.. අපි මැරි කරලා වෙනම ඉන්න පටන් ගත්ත කාලේ. එදා ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ඉතින් රෙස්ට් ඩේ එක.. උණුවෙන් කෑම ටිකක් කන්න ලැබෙන දවස.. ඉතින් මාත් සුවච කීකරු සුන්දර භාර්යාව වෙලා රසට දවල් කෑම හදන්න ලෑස්තිය.. බැන්ද අලුත එහෙමනේ.. මං මාළු ටිකක් අරන් එන්නම් දවල්ට හදන්න එයා කිව්වා.. මට ඒක ඒ තරම් ගානක් නෑ.. මොකද ඔය මස් මාළු ඉවීම ගැන මට වඩා එයා දන්නා හින්දත් මාත් නොදන්නා ගානට එයාටම පවරලා හිටිය හින්දත් ..
ටික වෙලාවකින් එයා ආව .. ටිකක් ලොකු ෂොපින් මල්ලකුත් අතේ.. ශෝක් මාළු ටිකක් හම්බ උනා.. කරට්ටයෝ ..මා දැලේ මාළු .. ඕක කිරට හදන්න.. හැමදාම බබා වෙන්න බෑනේ කියල අමුතු කතාවකුත් කියාගෙන ඔයා උයල තියන්න මං යාලුවෙක් හම්බ වෙලා එන්නම් කියල සුරුස් ගාල මාරු උනා එයා..
මගේ උගුරේ මාළු කට්ටක් හිරවුණා වගේ.. මේ තරම් අපූරුවට හිටිය මිනිහට මක් උනාද.. බැන්ද මුල් දවස්වල වැඩට යන්න බතුත් බැඳලා දුන්න මනුස්සය..උයන්න ගත්ත වෙලේ ඉඳල කුස්සියේම රිංගගෙන පරණ කතා කියා කිය හිටපු අපූරු මනුස්සය.. කව්රු හරි කේලමක් වත් කිව්වද.. එහෙම නැත්නම් මාළු කඩේට ගිය වෙලේ පරණ ගෑනු ළමය වත් හම්බවෙලා ඒක ආයේ හරි ගිහින් මාව ගෙදර යවන්න ක්රමයක් වත් හොයනවද .. දික්කසාද වෙන්න වත් හදනවද.. එහෙම උනොත් මොකද කරන්නේ.. තනියෙන් ජීවත් වෙන්න පුලුවන්ද අද කාලේ ගෑනියෙක් ට.. එලෝකෝටියක් ප්රශ්න .. හැබැයි ඒ එකක්වත් අහන්න එයා හිටියේ නෑ . එයා ගිහින්.. මාවයි මාළුයි තනිකරලා..
ඕන එකක් කියල මම වැඩේට බැස්ස. කරට්ටයෝ.. නමටම ගැලපෙන පෙනුම..ලොකු කොරපොතු වලින වැහුන හමක් එක්ක එකී මෙකි සියලු වරල් වලින් වටකරගෙන අපේ අතක් විතර කරට්ටයෝ පහළොවක් විතර ඇස් ඇරෙගෙන බුදි.. කොහොමද මුන් සුද්ද කරන්නේ..කියල හිත හිතා ඉන්නකොට තව බලමුළුවක් ඔපරේෂන් එකට සෙට් වෙලා. අපේ ගෙදර හිටිය එත් කොහෙන් ආවද දන්නේ නැති කළු මල්ලි, මිචිකෝ කියන පූසෝ දෙන්නත් අග්ලි බෙටී කියල මගෙන් විවරණ ලබපු කැත පූසිත් තව නමක් ගමක් නොදන්න තඩි කම්මුල් එක්ක මුනේ කැපුම් පාරවල් තියන චන්ඩි පාට පූසෙකුත් උදව්වට ඇවිත්.. මරු සිරා..මම ඕන එකක් කියල ඌටත් නමක් දැම්ම.. ඒ මදිවට කාක්කෝ දෙන්නෙකුත් කටවල් අරන් කරපිංචා ගහෙ..
ඉස්සෙල්ලම කොරපොතු සුද්ද කරනවා .. මම තීරණේ කලා . ඉතින්.. පලවෙනි එක්කෙනාගෙන් පටන් ගත්ත.. ඒක මාර
කට්ටක්.. ඔලුවේ ඉඳල පිලි නාගෙන මම කොරපොතු ටික සුද්ද කලා..තව කරමල්, කන්තොලු එහෙම සුද්ද කරලා ගන්නකොට මාළුවා නිකන් හීනියට කපපු දොදොල් කෑල්ලක් වගේ වෙලා.. අතටම තැලිලා.මේක උයන්න පුලුවන්ද..මම ඌව පූසන්ට කන්න දැම්ම. ඊට පස්සේ දෙවෙනියා, තුන් වෙනියා, හතර පහ හය ඔක්කොම පූසන්ට. එහෙන් මෙහන් කෑලි කපුටන්ට.. අන්තිමට බලනකොට ඉතුරු වෙලා උන්නේ මාළු තුන් දෙනයි , හැබැයි ඒ වෙනකොට මම කරට්ටයෝ සුද්ද කිරීම පිළිබද සෙටිෆිකටේ ලෙවල් වාගේ ඉවර කරලා තිබ්බ හින්ද කොහොම හරි ඒ තුන් දෙනා ගොඩ දාල කිරි මාළු හොද්දක් හැදුව කියන්නකෝ..
ඔක්කොම ඉවර උනාට පස්සේ අපේ එක්කෙනා එනවා. මම කෑම බෙදුව. එය කනවා. ශෝක් මාළු ටික.. මා දැලේ මාළු.. එයා කියනවා..ඒ වෙනකොට ටැංකියක ඉන්න විසිතුරු මත්සයෙක් වත් දැකීම එපා වෙලා හිටියේ මම. මෙයා තව මාළු ගැන කියවනවා. ඔය පොඩි මාළු ජාති හරි රසයි.. ඉස්සර අපේ තාත්තා ගේන්නේ කිලෝ ගණන්.. මීගමු ලේල්ලමෙන්.. තවත් වර්ණනාව.. ඔය හාල්මැස්සෝ කෙලවල්ලෝ වගේ කව්රුත් දන්නා මාළු කාපු අපිට මේව අපබ්රංස..
එතන මාළු කිලෝවක් විතර තිබ්බ මම ඔක්කොම ගත්ත.. අපිට දවස් තුනක් වත් කන්න පුලුවන් .එයා ආයේ කියනවා. මගේ වාරේ ආව .. ඔක්කොම තරහ එකට එකතු කලා .. අලුත් පරණ ඔක්කොම.. එක මාලුවෙක් වත් තිබ්බේ නෑ . තියන ඔක්කොම ඉව්ව.. ආයේ මේ ගේ හරියට කරට්ටයෝ ගෙනාවොත් මම යනවා ගෙදර.. ඔය කව්රු කව්රුත් ඉඳි කීයක් හරි අතේ තියනකන්.. බැරිඋනදාට කසාද ගෑණි විතරයි..කරට්ටයෝ හොද්දක් හදාපු ටිකට මේ ගෑනිට මක් උනාද කියල වගේ එය කන එක පැත්තකින් තියල කට ඇරෙගෙන මා දිහා බලා හිටිය.
ඒ උනත් අද වෙනකොට නම් ඕන මාළුවෙක් ගේමක් නැතිව කන්න පුළුවන් වීදියට උයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය කරට්ට ක්රියාන්විතයෙන් ලැබුන පන්නරෙන් කියල මට දැන් හිතෙනවා. ඒකට නම් ඉතින් අපේ මහත්තයට මම ඉස්තුති කරනව..
උපුටා ගැනීම: Roshani Senarath