” හප්පේ මේ කරවිල වලට මොනවා දාලා ඉව්වත් තිත්ත යවන්න බෑනේ “
” ඇයි ඔයා මොනවද දැම්මේ “
” මිරිස් කුඩු බැදලා, බැදපු තුනපහ දාලා, තක්කාලි, කහ, ලුණු, ඉඟුරු, සුදුලූනූ, රතුලූනූ, උම්බලකඩත් දාලා, සුවඳ වෙන්න කියලා එන්සාලුත් දැම්මා. මිටිකිරි දාලා හිඳෙන්නයි ගත්තෙත්. මොනවා දැම්මත් තිත්තයි අප්පා “
” ඉතිං ඔච්චර දේවල් දාලත් තිත්තනම් ඇයි අමාරුවෙන් කන්නේ”
” ගුණයි නේ, ඒකයි “
” ඇයි රසට කන්න පුලුවන් ගුණ දේවල් තව නැද්ද මේ ලෝකෙ “
” තියෙනවා තමයි ඉතිං “
” එහෙනම් ඉතිං කරවිල කන්න ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි? ඔයාට diabetic ද? “
” නෑ “
” මොන බම්බුවකටද බං ඔයතරම් කරවිල වලට වද වෙන්නෙ? ඔය අටමගලෙ කන්න මහන්සි වෙන්න ඕන තමන්ට කැමති රසයක් තියෙනවනම්නෙ. නැතිව උපන්ගෙයිම තිත්ත පැණිරස කරන්න කියලා, ලෝකෙම තියෙන දේවල් දාන්න කියලයෑ.මාත් ඉස්සර ඔය වගේ මහන්සි උනා. පස්සෙ හිතුවා මොකටද ඔච්චර මහන්සි වෙන්නෙ කියලා “
ඔය උඩින් තියෙන්නෙ, මගේ කරවිල කැම ගැන මගේ පුංචි අම්මා කෙනෙක් කියපු දේවල්.
ඔය විදියට කරවිල තිත්ත බව දැනගෙන, අර අඩුම කුඩුම ඔක්කොම දාලා අදත් කරවිල වෑංජනයක් හැදුවා. අදත් තිත්තයි. ආයේ තවත් දවසක් හදාවි, එදාටත් තිත්ත වෙනවා. එදාටත් මං කියාවි ” කරවිල තිත්තයි ” කියලා.
ඔය විදියට අපේ ජීවිත වලත් ඉන්නවා, ” අපිට තිත්ත වෙච්චි අය. ” ඒත් කොහේ හරි එල්ලිලා එයාලා ඉන්නවා. අපිත් දන්න දහන් ගැට ඔක්කොම දාලා ” ඒ තිත්ත උදවියව ” අපි කැමති රසයට හදාගන්න බලනවා. එක එක විදියට අඩුම කුඩුම දානවා. ඒත් එයාලා හැමදාම තිත්තයි. එයාලගේ විදිහ අපිට වෙනස් කරන්න බෑ. ඒ උපන්ගෙයි දේවල් වෙනස් කරන්න අපේ ලුනු ඇඹුල් ප්රමාණවත් නෑ.
ඒකට අපි එයාලට දොස් කියලා මොකටද? අපිත් කාගෙම හරි ජීවිතයක තිත්ත චරිතයක් වෙන්න බැරිද?
එක්කෝ තව ගුණ කෑම තියෙනවා කියලා, කරවිල කන එක නතර කරන්න ඕන. නැත්නම් තිත්ත රසයට කැමති වෙන්න ඕන.
උපුටා ගැනීම: Manohari Weerasinghe