කරුණාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මීට හරියටම අවුරුද්දකට කලින් කාර්යාලයෙ අපි හය හත් දෙනෙක් කෑම කෑවෙ එක බත් මුල ලිහා ගෙන වටේට වාඩි වෙලා. නැත්නම් වාඩි වෙන්න ඉඩ මදි නම් හිටගෙන. කලබලේ වෑංජන එකක් විතරක් හදා ගෙන දුවගෙන එන දවසටත් සුපුරුදු රසම බත් එකෙන් දැනුණේ කෑම පැයෙනුත් නිමා නොවන රස කතා නිසා.
කොරෝනා කියලා වසංගතයක් ඇවිත් එකට කාපු බීපු අපි හැමෝම මීටරයක් දුරින් දුරින් ජීවත් වෙද්දි කෑම පැයේ රටාවත් ටික ටික වෙනස් වුණා. තනි තනිව කෑම කන්නට සිදු වුණා. නිර්මලාගෙ කොස් මැල්ලුමෙත්, ගයානිගෙ අම්මගෙ පොල් සම්බෝලෙත්, කසුන්ගෙ නෝනාගෙ චිකන් ඩෙවල් එකෙත් රස කොරෝනා නිසා අමතක කරන්න බැරි වෙද්දි වෑංජන ජාති වෙන වෙනම භාජන වල දමා ගෙන ඇවිත් බෙදා හදා ගෙන කමු කියන යෝජනාව සභා සම්මත වුණා.
ඔහොම කන අතරෙ කාර්යාලයට අලුතින් ආව සඳමාලි අක්කාත් අපිත් එක්කම කන්න ආවා. හැබැයි මීටරේ දුරින්. සුදු කෙට්ටු ප්රියමනාප පෙනුමක් තිබුණු සඳමාලි අක්කා හරිම අහිංසක ගෑණු ලමයෙක්. ටික දවසක් යනකොට සඳමාලි අක්කා මස් මාලු කන්න ගොඩාක් කැමති කෙනෙක් වගේ අපිට දැනුණේ අනිත් අය මාලු කෑල්ලක් බෙදා ගත්දි සඳමාලි අක්කා මාලු කෑලි දෙක තුනක් බෙදාගෙන හෙමි හෙමිහිට කද්දි. ඒ වගේම කන්දක් තරම් උසට බත් බෙදාගෙන එලවලු අඩුවෙන් දාගෙන බත් ටික වැහෙන්න මස් මාලු කරවල බෙදාගන්න කොට ” මේකිගෙ ඇගේ හැටියටද කෑම” කියලා කීප දවසක්ම කුටු කුටුවක් ඇති වුණා. හැමෝම කාලා ඉවර වෙලා ආපහු වැඩ වලට යනකලුත් සඳමාලි අක්කා හෙමින් කනවා. මස් මාලු බිත්තර ඔක්කොම කෑම එකේ පැත්තක තියාගෙන. “පෙරේතයි නේහ්” අපි හිතුවා.
එකමත් එක වැස්ස දවසක සඳමාලි අක්කගෙ පැටිකිරිය හෙලි වුණා. දවල් කෑම කාලා ඉවර වෙලා ජංගම දුරකතනය කෑම මේසෙ මතම අමතක වෙලා ආව නදීකා ආපහු විවේක කාමරයට ගියේ දුරකතනය ගන්න. විවේක කාමරයෙ තවත් දොරක් තිබුණා කාර්යාලයේ පිටුපස පැත්තට. චූස් චූස් ගාන සද්දයක් ඇහිලා නදීකා පිටිපස දොර ඇරලා බලද්දි වැස්සට තෙමුන බලු පැටව් තුන් දෙනෙක්ටත් පැටවුන්ගෙ අම්මටත් සඳමාලි අක්කා ලොකු අයිස් ක්රීම් භාජන වලට වෙන වෙනම බත් අනලා දාලා, උන් කන අතරෙ උන්ගේ රණ්ඩු බේර බේර ඉන්නවලු.
මේ කතාව ඇහුව අපි ඔක්කොගෙම හිත් වලට දැනුණේ ලැජ්ජාවකුත් සඳමාලි අක්කා ගැන මහා ආදරයකුත්. එදා ඉඳලා අපි හැමෝම කෑම අරගෙන ආවෙ අපි ඔක්කොටම විතරක් නෙවෙයි අපේ බලු පවුලටත් එක්ක.
උපුටා ගැනීම: Piyumi Iresha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!