කාශ්‍යප රජුට පෙර මය දානවයන් නිර්මාණ කර සීගිරියේ අප්‍රකට කතාව (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සීගිරිය පිළිබඳව කතා කිරීමේ දී අපට එහි නිර්මාපකයා පිළිබඳව කතා නොකරම බැරිය.මන්ද යත් සීගිරිය මෙතරම් ආකර්ශනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි පවතින  විශ්මයජනක නිර්මාණ තාක්ෂණය හේතුවෙනි. සීගිරිය නිර්මාණය කළේ කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී මතුපිට අර්ථයෙන් ඒ පිළිබඳව සොයා බැලුවහොත් නිතැතින්ම අපට සිහිවන්නේ කාශ්‍යප රජුය.නමුත් සීගිරියේ නිර්මාපකයා කාශ්‍යප රජු ද යන්න නැවත වරක් අප විසින් සොයා බැලිය යුතුයි.මහාවංශය ආදී වංශකතාකරුවා විසින් කාශ්‍යප නම් පීතෘ ඝාතකයෙකුට ඉතිහාසයේ මෙතරම් වටිනා ස්ථානයක් ලබා දී ඇත්තේ ද සීගිරියේ නිර්මාපකයා වශයෙන් සලකා විය හැකියි.එමෙන්ම සීගිරිය වැනි සුවිශේෂී ස්ථානයක්  නිර්මාණය කිරීමේ ගෞරවය සීගිරි කාශ්‍යප රජුට ලබා දීම කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලිය යුතුයි.

ඇත්ත වශයෙන් මෙම සීගිරිය නිර්මාණය කර ඇත්තේ රාවනා රජ පරපුරේ අයවලුන් විසින් බව තහවුරු වන සාධක තිබේ.ඒ අනුව සීගිරියේ නිර්මාතෘ අන් කවරෙකුවත් නොව “මයදානවයන්” ලෙස පිළිගනී.මේ මයදාවනයන් යනු රාවණා රජුගේ මාමණ්ඩියයි. පුලස්ති ඍෂිවරයාගේ උපදෙස් මත මෙය නිර්මාණය කර ඇති අතර ප්‍රථමයෙන් මෙහි වාසය කර ඇත්තේ රාවණාගේ  වැඩිමහල් සොහොයුරා  ය.

මේ සම්බන්ධව පවතින තවත් මතයකට අනුව එය රාවණ රජුගේ පියා වන විශ්‍රවස මුනිවරයාගේ කාලයේ සාදවන ලද්දකි.හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් වන ආචාර්‍ය ශිරාන් දැරණියගල මහතා පවසන ආකාරයට සීගිරි මාලිගය මීට වසර 6000කට පෙර ලොව පුරා පැතිර තිබූ මෙගලතික සංස්කෘතියට අයත් වේ.ඒ අනුව රාවණ රජුගේ පියාගේ ඇවෑමෙන් මෙය කුවේර හා රාවනට අයත්ව තිබෙන්නට ඇත.

එකල පුරාණ ග්‍රන්ථයන්හි ආලකමන්දාව යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මේ සීගිරියයි.සීගිරිය එනම් ආලකමන්දාවේ නියම උරුමකරු මහ රාවණ රජු ලෙස සිතිය හැකියි.පුලස්ති ඍෂිවරයා යනු කාශ්‍යප රජුටත් පෙර සිටි අයෙක් වන අතර ඔවුන් මේ ආලකමන්දාව නිර්මාණය කර ඇත්නම් කාශ්‍යප රජු විසින් සිදු කර ඇත්තේ එය යම් යම් ප්‍රතිසංස්කරණයන්ට ලක් කිරීම පමණි.

සීගිරිය ආසන්නයේ පිහිටා ඇති රාම කැලේ ලෙස අතීතයේ හැඳින්වූ  ප්‍රදේශය අද මානව ජනාවාසයක් වුවත් එය සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප රජු නොවන බව සනාථ කරගත හැකි ප්‍රබල සාධකයකි.එනම් ආරියදාස සෙනෙවිරත්නයන් පවසන ආකාරයට රාවණා රජුට එරෙහිව සටන් වැදීමට පැමිණි රාමා කඳවුරු බැඳගත් කැලය යි.ඒ අනුව එකල රාවණා සීගිරියේ වාසය කරන්නට ඇති බව සිතිය හැකිය.

“කෛලාශකූට වත ” නම් පුස්කොළ  පොතේ සඳහන් වන ආකාරයට “ කුවේර රජ තෙමේ  මහා බලගතු යන්ත්‍රයක් කෛලාශකූට පබ්බතය  මහ්ඩේ තිබිණැ.  එමගින් දෙන විධාන ප්‍රකාරව  කෛලාශකූට මස්තකයේ  සිත්තම පෙන්වන  අතරැ එය නැරැඹීමට යනැ එනැ  හෙළුයේ යන්ත්‍ර ඉදිරිපිටැ ඇති බොත්තම් පුවරුවේ බොත්තම් ඔබා තෙමේ රිසි රිසි දෑ ලියන්නාහ. අනතුරුව  එලෙස ලියූ  දෑ යන්තරයේ වෙනම නිදන් වන්නාහ” යනුවෙන් දක්වා තිබේ . මෙසේ සඳහන් කර ඇත්තේ සීගිරි කුරුටු ගී පිළිබඳව විය හැකියි.

මෙයට අනුව සීගිරි කුරුටු ගී යනු කුවේර රජු හෝ රාවන රජු විසින් ලියන ලද දෑ වන්නට පිළිවනි. මන්ද යත් රාවනා රජු  අතිශය ප්‍රභල බුද්ධි ප්‍රභාවයක් තිබු අයෙක් ලෙසට සලකනු ලබන බැවින්.දඩුමොණරය, ගුරුත්වාකර්ශන බලය හොඳින් පාලනය කිරීමේ බලය, වෙනත් ලෝකයන් සමඟ සබඳතා පවත්වා ගැනීමේ හැකියාව ආදියෙන් යුක්ත වූවෙක් ලෙස රාවන රජු සලකනු ලබයි. එබැවින් සීගිරියේ විසූ රාවන රජු මෙවැනි අසීරු ස්ථානයක අක්ෂර සටහන් කිරීම තුළින් ඒ බව තහවුරු කර ගත හැකියි.

සීගිරි අප්සරාවන්ගේ රූ දැකි අය පසුකාලීනව යම් යම් දෑ සටහන් කොට තබා යන්නට ඇති නමුත් ඊට පෙර එනම් කුවේර හා රාවණ රජු යම් යම් දෑ සටහන් කර තබන්නට ඇති බව සිතිය හැකිය.එමෙන්ම විශාල පර්වතයක කිසිදු ආධාරකයක් නොමැති ස්ථානයක කිසියම් දෙයක් සටහන් කිරීමට අපූරු තාක්ෂණයක් තිබිය යුතුමය. කාශ්‍යප රජුට එවැනි තාක්ෂණික නිර්මාණයක් අත්හදා බැලීමේ හැකියාවක් තිබී ද යන්න නිශ්චිත නොවේ. ඔහු තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට යම් ආකාරයකින් ආරක්ෂක විධි විධාන දැඩි ලෙස තර කරගන්න ඇත.

සීගිරි සිතුවම් වුවත් කාශ්‍යප රජු විසින් නිර්මාණය කරවන්නට ඇත් ද නැතහොත්  ඒවා රාවන රජුගේ සමය තුළ දී සිත්තම් කරන්නට ඇතැයි ද නිශ්චිත නොවේ. මෙම සීගිරි සිතුවම් ඇති ස්ථානයේ කාශ්‍යප රජු පැමිණෙන විටත් කුමන හෝ සිතුවම් තිබෙන්නට ඇත. පසුව කාශ්‍යප රජු විසින් ද නැවත සිතුවම්කරනයක් සිදු කරන්නට ඇති බවද සිතීමට හැකියි.

1995 වසරේ දී  ලැරී පේජ්ලන්ඩ් කෞතුකාගාරයේ තිබී හමු වූ පුස්කොළ පොතක සඳහන් වන ආකාරයට සීගිරි ගල මුදුනේ මළ පහ බැහැර කිරීමේ තාක්ෂණයක් ද පැවත ඇති අතර  ඒවා ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීම සඳහා වෙනම ස්ථානයක් කරවා ඇත. එමගින් කාබනික පොහොර නිෂ්පාදනයන් සිදු කර කුඹුරුවලට මුදා හැර ඇති බව සඳහන් වේ. එහි ඇති ප්‍රභල රහසක් වන්නේ කාබනික පොහොර බවට පත් කිරීමේදී කොටසක් කාබනික  පාෂාණ බවට ද පත්කර තිබේ. මෙම ගල් වර්ගය හඳුන්වා ඇත්තේ “ගූ ගල් ” යන නාමයෙනි.

මෙම ගල් මත ලියන ලද දෑ ලේසියෙන් මැකී නොයන ලද අතර සීගිරි සිතුවම් නිර්මාණයට හා කුරුටු ගී නිර්මාණය කිරීම සඳහාත් එම කාබනික පාෂාණය යෝදා ගන්නට ඇත. මේ සියළු තාක්ෂණයන්හි නිර්මාතෘ කවරෙක් ද යන්න අදටත් නිශ්චිත නොවේ.නමුත් සීගිරිය ආසන්නේ පිහිටි නයිපෙන ගුහාව, දඩු මොණරය ගොඩ බස්වන ලදැයි සැලකෙන රාවන ගුහාව ආදී සාධකයන් රාවන පරපුර හා සීගිරිය අතර පැවති යම් යම් සබඳතාවන් හෙළි කරනු ලබයි.

එසේම සීගිරි පර්වතයේ ප්‍රධාන දොරටුව අබියස ඇති පාද සිංහයෙකුගේ පාද නොවන බව බොහෝ අයගේ මතයයි. සිංහයෙකුගේ පාද බිම තැබූ විට ඇගිලි හතරක් ඉදිරියට හා එක් ඇඟිල්ලක් පසු පසට විහිදී තිබිය යුතු වුවත් සීගිරියේ ඇති ඉදිකිරීමේ පාද දෙකේම ඇත්තේ ඇඟිලි තුන බැගිනි.ඒ නිසා පර්යේෂකයන් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ රාවණ යුගයට සමකාලීනව මෙරට සිටි ගුරුළා නම් පක්ෂියා එහි නිර්මාණය කොට ඇති බවයි. ඒ අනුව සීගිරීයේ නිර්මාතෘ රාවන පරපුරේ අයවලුන් ලෙස සිතීමට මෙමගින් ඉඩ සැලසේ.

සීගිරි ගල මුදුනට ජලය ගෙන එන ලද තාක්ෂණය, සීගිරි ජල මල් ආදී ඉහළ තාක්ෂණය තුළින් අපට මේ සීගිරිය තුළ රාවණා රජු වඩා බලවත්ව සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි වේ. වර්තමාන විදුලි සෝපානයට සමාන ලක්ෂණ ඇති සෝපානයක් සීගිරි ගල මුදුනට ගමන් කිරීම සඳහා යොදාගෙන ඇති අතර මෙවැනි ක්‍රමවේදයන් කාශ්‍යප රජුට වසර 18ක් වැනි කෙටි කාලයකදී  සිදු කිරීම කළ හැකිද යන්න ගැටළු සහගතයි.

සීගිරි පර්වතය මධ්‍යයේ කර ඇති නිර්මාණය  එනම් සීගිරි ගල මුදුනේ සිට පහළ බිම් මට්ටම දක්වාම ගල ඇතුළතින් පඩිපෙලක් හා කාමර සහිතව කරන ලද නිර්මාණය අදටත් රහසක්.එච්.සී.පී බෙල් මහතා මේ ස්ථානයේ කැණීම් සිදු කර ඇති අතර එම සීගිරි ගුහාව තුළ තිබූ වටිනා පුරාවස්තු හා පුස්කොළ පොත් බ්‍රිතාන්‍යය වෙත රැගෙන ගොස් තිබේ. එසේ රැගෙන ගොස් පසුව එම ගුහාව කිසිවකුට සොයාගත නොහැකි ආකාරයෙන් කොන්ක්‍රීට් දමා වසා ලොවට වසන් කර තිබේ. මේ බව අපට වර්තමානයේ දැනගන්නට ලැබෙන්නේ ද මේ කැණීම් කටයුතුවලට සහාය වූ  පුරාණ ගැමියකුගේ මුවිනි. ඔහු නොසිටින්නට මෙසේ වසන් කළ සීගිරියේ මෙම ගුහාව පිළිබඳව කිසිවකුටත් දැන ගන්නට නොලැබෙන්නේය.

සීගිරියේමේ ගුහාව තුළ නියත වශයෙන්ම එහි නිර්මාණකරුවන්ගේ තොරතුරු රාශියක් අන්තර්ගතව පවතින්නට ඇත. එය ලෝකයේ පැවති තාක්ෂණයන් අතරින් විශ්මිතම තාක්ෂණයක් විය යුතුමය. සීගිරි ගුහාවේ තිබූ වස්තු බ්‍රිතාන්‍යයට රැගෙන යාමත්, එම ගුහාව කොන්ක්‍රීට් දමා වසා දැමීමත්, ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීමත් හෙළයන්ගේ හෙළ දැනුම හා මෙහි නිර්මාණකරුගේ බලපරාක්‍රමයන් ලොවෙන් වසන් කිරීමට දරන ලද ක්‍රියාවක් ලෙස හැගේ.

මෙම කරුණු කාරණාවන් වඩාත් විමර්ශනශීලීව බැලීමේදී සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් බව නිශ්චිතව කිව නොහැකිය. එසේම එය රාවණ පරපුරේ නිර්මාණයක් බවට කිව හැකි සාධක තිබුණත් ඒ කරුණු සම්බන්ධයෙන් කිසිවෙක් තවමත් නිගමනයකට එළඹී නැහැ. නමුත් මේ සාධක නිරීක්ෂණයේදී නම් සීගිරියේ නිර්මාතෘ ලෙස රාවන පරපුරට වැඩි නැඹුරුතාවක් තිබෙන බව නම් පෙනේ.

 

උපුටා ගැනීම:  Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!