( 18+)
වැඩිහිටියන්ට පමණයි. කියවා ටිපර් නොවන්න!
කට වනාහි අමුතුම මෙව්වා එකකි. සෑම අයෙකුම පාහෙ කටෙන් ප්රයෝජන ගැනීමට දස්සය. සමහරු කට නිසාම වැනසී වීසි වී යයි. කටේ විවිධ ස්වරූපවෙයි. සිනාසෙන විට කට වෘත්තාකාරයි. ඔරවාගෙන සිටින විට කට ඕවලාකාරයි. සීයට අරන් දාහට දුන් විට කට සරල රේකීයයි. කඩවසම් කෙල්ලන් දකින ලස්සන කොල්ලන්ගේ කට පැතලි දිග් ස්වරූපයක් ගනියි.. එසේ වන්නේ දිව එලියට පැනීමෙනි. රුමත් කොල්ලන් දකින කඩවසම් කෙල්ලන්ගේ කට මරියානා ආගාදය තරම් විසාල වෙයි. මෙසේ විසාල වන ආගාදය ෆොටොවක් ගන්නා විට යතුරු හිලක් මෙන් කුඩා වී පුනීලයක් මෙන් උල් වෙයි. කට අපි පුලුවන් හැමවෙලේම භාවිතා කරයි. අම්මා අප්පා කියාගන්න පුළුවන් කාලේ සිට ඊටවඩා බ්රාහ්මීය උච්චාරණ ඇති සංස්කෘතික වචන පිට කරන අවස්තා දක්වාම කට භාවිතා කරයි.
අපේ අම්මාට අනුව ඇතැම් අවස්තාවල කට වනාහි තැලුවත් මදිවෙන මෙව්වා එකකි. තවත් අවස්තාවල පුච්චා අගුරු කල යුතු බාස්මීය ද්රව්යකි. මා ගීත ගායනා කරන විට කට යනු කුඩා ජුවලරිබොක්ස් එකක දමා වසා දැමිය යුතු තත්සර උපාංගයකි. එය එසේ ප්රමානවත් නොවේ. ඒ ජ්වලරි බොක්ස් එක නැවත මාරි පෙට්ටියක් දමා මාරි පෙට්ටිය පෙට්ටගමක දමා.. පෙට්ටගමක අල්මාරියක දමා අල්මාරියෙ වලක් කපා වැලලිය යුතු වේ. එවිට මගේ කෙලපැමිනි සත්සර නාදය වලක්වා කෙලපිස ගැනීමට හැකි වේ.
කෙල පිස ගැනීම ගැන කතා කරන විට ඊට වඩාත් දක්ස වන්නේ තරුණ කපල්ය. මක් නිසාද යත් ඇතැම් උද්යාන වල කට කන පෙම්වතුන් පසුව කෙල පිස ගන්නා අයුරු මා දැක ඇත. පහ වසරේ චාරිකාවකට විහාරමහාදේවි උද්යානයට ගිය මම කිසි දා සිතුවේ නැත ඒ තරම් විහාර මහා අක්කලා කට දේවි කියලා. නමුත් සත්ය ලෙසම මන් දෙයක් තේරුම් ගතිමි. කට නම් මහ එපා කරපු දෙයකි. අම්මා උවද කීවේ බොරුවක් නෙමේ. කට යනු තලාගැනීමට සිදුවන දෙයකි.
මගෙ කට මන් ප්රයෝජනට ගත්තු අවස්තා බොහෝයි. ඔය උඩ කියන ආකාරයෙන් නම් නෙමෙයි, නමුත් මගේ කට නිසා ලව් මගුල් දෙක තුනක්ම ඉලව් වී ගියේ මගේ ඉස්සරහමයි. ඔයාලා දැනටමත් දන්නා සමන්මලී අක්කා හා ඇසිඩ් සල්මාන්ගේ ලව් එක එවනි අවස්තාවකි. තව එවනි අවස්තා බොහෝ ඇත.
අද කියන්න යන්නේ කට ප්රයෝජනයට ගත්තු හොද අවස්තා ගැනයි. මට ගීත ගායන හැකියාව යාන්තම් චුට්ටක්වත් පිහිටා නැත. මගේ ගායනයට සවන් දෙන ඕනෑම අයෙකුට අමු අමුවේ බඩ හපාගෙන මැරෙන්න වුනත් පුළුවන. ඒත් සමූහ ගායනය අවුලක් නැත.
ඔන්න දැන් කතාව. අපේ මොන්ටිසෝරියේ හැම අවුරුද්දෙම තියනවා පොසොන් එකට බක්ති ගීත ප්රසංගයක්. ඕකෙදි වෙන්නෙ ලොකු ලොරියක් අරගෙන ළමයි ටික ඉන්දවලා මයික් දීලා පීකර් හයි කරලා ගම වටේ යන එක. තිස්ස රජ්ජුරුවන්වයි මුවාවයි හාඩ් බෝඩ් එකක ඇදලා මාමලා දෙන්නෙක් පිටිපස්සෙ ඉදන් ඒ බෝඩ් අල්ලගෙන චිත්ර ප්රදර්ශනය කරගෙන යනවා. ඉතින් මාසයක් විතර පුරුදු වෙලා පුරුදු වෙලා තමයි පොසොන් දවසට ගම වටේ යන්නෙ. මන් බක්ති ගීත කියන හින්දා එදා ගම වටේ යන මාව බලන්න අම්මලා අප්පච්චලා බාප්පලා පුංචි අම්මලා වගේම ගමෙන් කිරි අම්මලා එහෙමත් ඇවිල්ලා හිටියා. දැන් ඔන්න අපිව ලොරිය පිලිවලකට ඉන්දවලා තිස්ස මාමයි මුවා මාමයිත් නැග්ගා ලොරියට. ඔන්න ඉතින් දැන් අතරින් පතර ළමයින්ට මයික් බෙදුවා. අනේ මටත් මයික් එකක් හම්බුනා. දැන් මට හරි සතුටුයි. දෑත බදලා මයික් එක ගත්තා විතරයි විනාඩියක්වත් ඒක අතේ තියාගන්න හම්බුනේ නැ!
“අනේ පුතේ ඕක ඔයාට නෙමෙයි මෙයාට”” කියලා මගෙ අතේ තිබ්බ මයික් එක දුන්නා මගෙ එහා පැත්තේ හිටපු ළමයට.
ඔතනින් පස්සෙ මගෙ වැඩේ චක්බ්ලාස්. හිත හොදටෝම රිදුනු හින්දා මන් එක සින්දුවක්වත් කීවෙ නෑ කටවහගෙන හිටියා. ඒත් ගෙදරට ටික ටික ලන්වෙනකොට කට නලියනවා.. ඇස් දිලිසෙනවා.. පාර දෙපැත්තේ සෙනග පිරිලා.. අපේ ගමේ මිනිස්සු මැද්දෙන් මන් යනකොට වීරයා වෙන්න ඕනෙ මමයි. ඒ හින්දා මගේ දස්කම් පෙන්නන්න කියලා හිතාගෙන එහා පැත්තෙ එකීගෙන් මයික් එක ඇදලා ගත්තා. ඇද්දට ඇද්දට ඒකි දෙන්නෙ නෑ මයික් එක. මිහින්තලාවයි දහම් අමාවයි කියා කියා අනිත් එවුන් ගිරිය කඩාගෙන අම්බස්තලේටම ඇහෙන්න ස්වර ප්රස්තාර ඉරනවා.. මටත් තරහා ආව පාර එහා පැත්ත ළමයව ( සයුරි ) දත් විලිස්සලා හපා කාලා මයික් එකත් අරන් පටන් ගත්තා කියන්න. සාන්ත අනුබුදු නාමයයි කියලා කියන්න යනකොට ලොරිය ගෙදර ගාව. හිතේ හදිස්සියට කාටද දෙයියනේ සිංදු මතක් වෙන්නේ.. මාත් ඉතින් මයික් එක අරගෙන
අප්පච්චි මේ ලොකු චීච මට මයික් එක දුන්නෙ නෑ. එයා නම් මහා බක පන්ඩිත ආච්චයක්.. සයුරිගෙ තාත්තා ලොකු චීචට..
කියනකොටම අප්පච්චි දුවගෙන දුවගෙන ගෙට යනවා දැක්කා.. අම්මා මල් වලට වතුර දාන්නද කොහෙදෝ මල්ගස් පැත්තට උනා.. ඒ අස්සෙ සයුරිට අඩන්නත් මන් මයික් එක අල්ලන්න ඕනා.. ඔක්කොටම වඩා ලොකු ටීච ගැස්සෙන ලොරියෙ කූරු අල්ල අල්ල බොහොම අමාරුවෙන් නැගිටින්න හදනවා.. ඔක්කෝටම වඩා කලබල වෙලා තිබ්බේ තිස්ස මාමා.. තිස්ස මාමා මගෙ පැත්තට එන්න හදනවා.. තිස්ස පස්සෙ මුවා පන්නාගෙන එනවා. තිස්සයි මුවයි දෙන්නම මගෙ පැත්තට පෙරලි පෙරලි ගැස්සි ගැස්සි එනවා. පොසොන් සදයි සද එලියයි කිව්වට ලොකු ටීචගෙ මූන අමාවකට අල්ලපු ටෝච් එකක් වගේ. ඒ අස්සෙ අපේ බාප්පත් පාර අයිනේ.
“” ආ… බාප්පේ…”” කියලා අත වැනුවා විතරයි තිස්ස ගත්තා මයික් එක. මුවා අල්ලගත්තා තිස්සව. එතනින් එහාට අපේ පොසොන් මදකට නතර කරලා ආයෙ පැයබාගෙකින් වගේ තමා පටන් ගත්තේ.
ඕන් ඉතින් ඔය කාලේ අපේ ගමේ හිටියා ටිකක් විශේෂ ගෑනු කෙනෙක්. මෙයා කවදත් උඩුකයට කොට හැට්ටයක් ඇන්දා මිසක් උඩුකය යටට මුකුත් ඇන්දේ නෑ. තේරෙන සිංහලෙන් කිව්වොත් යට්තල පහසුකම් ඇත්තෙම නෑ. ඉතින් ඔය නැන්දට කට්ටිය කියපු ප්රසිද්ද නමක් තිබුනත් අපේ ගෙදරින් මට නැන්දාව හදුන්වල දුන්නේ “”එතනා “” නැන්දා කියන්න කියලා. මේ එතන නැන්දාට කවුරු කොහොම මොනවා කිව්වත් එයා එයාගේ අනන්යතාවය දිගටම රැකගෙන හිටියා. සීගිරියෙ සුකුමාලියොත් ඒම හිටියා නම් අපි මොක්කුද වගේ තමයි එතනා නැන්දා අතන මෙතන හැමතැනම ගියේ. ගමේ එවුන්ටත් ඉතින් කාශ්යපට තරම් පිනක් නැති උනත් බැන බැන හරි එතනා පාරට බහිනකොට කොල්ලන්ගෙන් පාලම් බෝක්කු පිරුනා.
දවසක් ඔන්න අපේ මහප්පව රට ඇරලවන්න කියලා අපි ගියා එයාපෝට් එකට. අම්මෝ පොලවට තිරිවාන අල්ලලා වගේ මූන බලන්න පුලුවන් ටයිල් කැට වලින්. හතර හතේ සුද්දියො. සමහරු නෑයො බදාගෙන අඩනවා. සමහරු පුටුවලට වෙලා ඉදගෙන කනවා. සමහරු ගොරවනවා. ඒ අස්සේ සූට්කේස් තල්ලු කරන් යන සුද්දො සුද්දියොත් ඔතනින් යනවා. මාත් ඔතන තව දෙතුන් දෙනෙක් එක්ක ප්ලේන් බට්ටො පැන පැන හිටියා. වැල්ලෙ වගේ බට්ටා හිරවෙන්නෙත් නෑ. බට්ටා උනේ මගෙ එක කකුලක සෙරෙප්පුවක්. අම්මා හැමවෙලේම අප්පච්චිට කිව්වේ එනකන් මන් බලාගත්ත දැන් ඔයා බලාගන්න කියලා. කවදත් සෙල්ලමට අතහිත දෙන අප්පච්ච් විනාඩියකට වරක් මගෙ අහලින් පහලින් යන ඕනෑම ජාතිකයෙකුට හිස නමා සොරි කියන්න අමතක කරේ නෑ. එහෙම කරේ ඇයි කියන්න නම් දන්නෙ නෑ මන් හිතන්නෙ අප්පච්චි ගොඩක් ආචාරශීලි කෙනෙක් නිසා වෙන්න ඇති.
ඔය අතර සුදු පරවි රෑනක් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට අහු වෙලා වගේ සුද්දි නැන්දිලා ගොඩාක් ආවා ගයිඩ්ලත් එක්ක. ඇත්තටම මහා සද්දන්ත විසාල ඇගක් තිබ්බේ ඒ සුද්දියන්ට. අපෙ අම්ම කොච්චර කීවත් බත් කෑවම ඉක්මනට ලොකු වෙනවා කියලා මට නම් විශ්වාස කරන්න බෑ ඒ තරම් ලොකුවෙන්නෙ කොහොමද කියලා. ඇස් ලොකූ කරලා බලන්න දෙයක් නැ මෙයින් නැන්දෙක් ගමට එක්කන් ගියා නම් එතනා කැලේ. අපේ එතනත් බටහිර අධිරාජ්යවාදීන්ට විරුද්දව අලුතින් පොලට ආපු යටිතල පහසුකම් පාවිච්චි නොකෙරුවාට මොකද මේ නැන්දලා බටහිර වෙලත් නිකන්ම උඩින් ටී සර්ට් එකක් විතරයි ඇදලා තිබ්බේ. ඒ මදිවට එක යායට
තාන තනා තදේ නාතම්දෙනා තදේ..
කියලා එනකොටම මට මතක් උනෙ අපේ ගමේ එතනව. මාත් ඉතින් අම්මට පෙන්නන්න කියලා
ස්ස්ස්ස්ස්ස්ස්…. ගාලා හූල්ලලා ඉහලට ඇදලා.. අම්මේ අම්මේ මේන් එතනලා ගොඩඅඅඅඅඅඅ….
කියලා කියපු පාර අඩ අඩා උන්නු ඈයො බෑග් පටි රෝල් කර කර කටේ ඔබාගත්තා. නිදියන් උන්නු එවුන් හෙන ගැහිලා වගේ කට බලියාගෙන බලාගෙන උන්නා. වටේපිටේ හිටපු සිකියුරිටි අන්කල්ලා ඕසෙට කහින්න ගත්තා.. අපේ අය හිනා උනාට මොකෝ එක එතනා නැන්දෙක් යන ගමන් මගෙ ඔලුවත් අත ගෑවා. අම්මේ ඒ ආපු රට සුවද! ජීවිතේට එතනව පෙරලන් ඉම්බත් එහෙම සුවදක් එන්නෙ නෑ. ඔලුව අතගෑව සතුට නිම්හිම් නැතිවෙලා දෝරගලා යනකොට එව්වා එකතු කරගන්න බාල්දි හොයනකොට තමයි මන් දැක්කේ අම්මයි අප්පච්ව්යි බාප්පගෙ කොල්ලව ඔඩොක්කුවේ තියාගෙන ඌව දරුකමට හදාගන්න අරගෙන කියලා. මොනා උනත් ඉක්මනටම ලොකුවෙන්නෙ කියලා බත් නම් ගිලින්න එපා.
කට හින්දා ඔව්වා ඔහොම එහෙ මෙහෙ වෙලා කිය උනාට ඔය වගේ සිද්දි දිගටම තියාගන්න කැත පුරුද්දක් මන් ගාව තිබුනේ නැ. එහෙම නිවී සැනසීමෙන් ඉන්න කාලෙක කුලියාපිටියේ නැන්දලාගෙ ගෙදර දානෙ ගෙදරකට යන්න උනා. ඉස්සර ඉතින් දානෙ ගෙවල් කේටරින් වලට බාර දුන්නෙ නෑ නේ. ගමෙම කට්ටිය එකතුවෙලා තමයි දානෙ ඉව්වේ. ඔතන හිටියා මරු ආච්චියක්. උයනවට වඩා කියවීමෙන් පාලු කපන එක තමයි උන්දැගෙ රාජාකාරිය.
රාජකාරිය දේව කාරිය කරගත්තු ආච්චි දෙයියන්ටත් වඩා තමන්වම ඉහලින් අදහන බැතිමතෙක්. දොන් ඩේවිඩ් කියන පරම්පරාවට දාව එලිසබෙත් රැජිනගේ අච්චි බැදපු සීයගේ නන්ගිගෙ මහත්තයාගේ බාප්පගෙ නෑ කමකින්ලු මේ පරම්පරාව දිග ඇරෙන්නෙ. ඉතින් උදේ ඉදන් එලිසබෙත් රැජිනගේ අස්වයාගෙ සිට බල්ලා දක්වාත් බලාගේ මැක්කාගෙ සිට මැක්කා ගිලපු කොකා ලංකාවට ආව තැනට එනකන් කයි කතන්දර අහගත්තු මට අලගෙඩි ගොඩක් උඩ කලන්තෙ දාන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොටම වෙන ආච්ව්යක් කිව්වා ඊලගට කියන්න යන්නේ ක්රීඩා දස්කම් ගැන කියලා. මේ කලු සුදු චිත්ර පටිය ගමේ නිතරම ප්රදර්ශනය කරනවා කියලා තේරුම් ගත්තු මාත් මේ කපේට ඔතනින් නැගිටින්න වෙන්නෙ නැති හින්දා කොලොම්බු කොටයක් අරගෙන ඉදගෙන සාධු සාධු සා කියලා ජාතක කතා වස්තුව අහන්න කියලා හරිබරි ගැහිලා ඉදගත්තා.
ඕන් ඉතින් දැන් ආච්ව් පටන් ගන්නවා.. ඒ කාලේ අපි හම රතු ගැටිස්සියො. මට කිව්වේ රත්ති කියලා මන් දුවන කොට කවුරුත් හුරේ තියනවා. සුසන්තිකා හරහට වඩාගෙන කිරි බොන කාලෙ තමා අපි දිව්වේ. සුසන්තිකාගෙ අම්මා සුසන්තිකාව වඩාගෙන පෙන්නවලු ආන් පුතේ අන්න බලන්න කගවේනෙක් දුවනවා කියලා. මාත් දවසක් ජ්යාත්යන්තරයට ගිහින් තියනවා. කොළඹින් දකුණට හැරිලා සුහතදාස පහුකරලා දිගටම යනකොට ජ්යාත්යන්තරයට ලගයි ඕන්. ඒ කාලේ මට කොල්ලො විමානේ. උසි උසි ගානවා කොයි වෙලෙත්. ඉලන්දාරියො උසි කිව්වට මන් ගනන් ගන්නෙ නෑ. කිසි කිසි ගාලා මන් අඩිය තියලා එහා මෙහා යනකොට ඔය කවුරුත් විසි වෙලා මට ඉඩ දෙනවා.
ඔය සේරම කයි කතන්දර අහන් ඉදලා දකුනු කන රත් වෙලා වම් කනින් දුම් දාගෙන ඒ රස්නෙට උගුර එහෙම රත් වෙලා මිදිලා ගල් වෙලා තිබ්බ කෙල ටික එහෙම දිය උනාට පස්සෙ මං ඇහුවලු..
එතකොට ආච්චිත් ඒ කාලේ බොඩියයි පැ&%ටියයි ඇදගෙන ද දිව්වේ? කියලා.
හැබැයි ආච්ච් කිව්වේ බොරුවක් නම් නෙමෙයි ඇත්තක්ම බව මට තේරුනේ ආච්චි කගවේනටත් වඩා වේගෙන් මේ ඉදලා මේ නැතිවෙන්න තරමට වලං පෙරලන් චීත්තේ ඇද ඇද පිලිකන්න පැත්තෙන් දුවනකොටයි. ඇත්තටම ආච්චි දස්සයි.
* ඉල්ලංකනසිංහ *