මුඛයේ වණ (mouth ulcers) හෙවත් උෂ්ණ බිබිලි හටගැනීම ඉතාමත් වේදනාකාරී අත්දැකීමකි. බොහෝ විට ඔබ මේ අත්දැකීමට මුහුණ දී ඇති.කොතරම් කුඩා තුවාලයක් වුවත් ඉන් ඇති කරවන්නේ ඇසට කඳුලු නැගෙන තරම් දැඩි අපහසුකාරී හා පුපුරුගසන වේදනාවකි.මේවා හටගත් විට ආහාර ගැනීමට, වතුර පානය කිරීමට හෝ කතා කිරීමට පවා අපහසු වී යයි.මේවා සාමාන්‍යයෙන් සතියක් පමණ ගත වන විට ඉබේම සුව වී යයි. ඔබට ඇතිවන පීඩාකාරී වේදනාව සමනය කරගැනීමට වගේම ඉක්මන් සුවයක් ලබාගැනීමට උපකාරි වන ක්‍රම කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම.
මුඛයේ වණ වෙනත් ගැටලු තත්වයන් දෙකක් සමඟ පැටලිය හැකිය.ඒ අනුව තත්වයන් වෙන් කර හඳුනාගැනීම වැදගත් වේ.මෙම ප්‍රතිකාර උත්සක කිරීමට පෙර ඔබට ඇත්තේ පහත සඳහන් ගැටලු තත්වයක් නොවන වග තහවුරු කරගන්න.

lichen planus- ඔබේ මුඛයේ බොහෝ වණ හටගෙන තිබේ නම්, එය අත, පාදය සහ මුඛ රෝග හෝ oral lichen planus වැනි වෛද්‍යමය තත්වයක් නිසා විය හැක. අත, පාදය සහ මුඛ රෝග නිසා පාදවල සහ අත් වල කැක්කුමක් ඇති විය හැකි අතර oral lichen planus ගැටලුව ඇති පුද්ගලයින්ගේ කම්මුල්වල (කට ඇතුල් පැත්තේ) සුදු පැහැති රටාවක් මෙන් ඇතිවී ඇති තුවාල දක්නට ලැබේ. මේ තත්වය සඳහා වන පිළියම් මෙහි සඳහන් ඒවාට වඩා බෙහෙවින් වෙනස් ය.
cold sores- හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය නිසා ව්‍යාප්ත වන ඉතා වේදනාකාරි දියපට්ට ස්වභාවයෙන් තොල් මත , කට වටා සහ ඇතැම් විට විදුරුමස් වල, කටේ හෝ උගුරේ ඇතිවන කුඩා බිබිලි තත්වයකි. මේවා මතුවීමට පෙර සමේ දැවිල්ලක්, පුපුරුගසන ගතියක්, කැසිල්ලක් මෙන් සංවේදනයක් ඇතිවිය හැකි අතර උණ, උගුරේ අපහසුතා ඇතිවීම හෝ ග්‍රන්ථි ඉදිමීම වැනි තත්වයන් වුවද ඇතිවිය හැක. මෙම ගැටලු තත්වයට වෙනස්ම ප්‍රතිකාර අවශ්‍ය වේ.
ලුණු වතුරෙන් කට සේදීම වතුර කෝප්පයකට ලුණු තේ හැඳි 1 ක් මිශ්‍ර කර කට කලතවා සෝදා කෙළ ගසන්න. මෙය ඉතා ප්‍රතිඵලදායි ක්‍රමයකි. ලුණු වතුරේ විෂබිජනාශක ගුණ සහ ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගු වන නිසා තුවාල සුවපත්වීමට හොඳ ගුණයක් ලැබේ.
සේජ් මුවසේදුම් දියර සේජ් (අග්ගිස්) නම් පන් විශේෂය භාවිතයෙන් සැකසු මුවසේදුම් දියර භාවිතයෙන් කට සේදීම තවත් හොඳ පිළියමකි.එහි අඩංගු බැක්ටීරියා නාශක ගුණ සහ ඇස්ට්‍රින්ජන්ට් (කහට) ගුණ තුවාල වල අපහසුතාව සමනය කරමින් ඒවා සුවවීමට ගුණ දේ. දිනකට තෙවරක් පමණ භාවිතයෙන් තත්වය හොඳින් සමනය කරගත හැක.
වැල්මී ද්‍රාවණයකින් කට සේදීම වැල්මී මුවසේදුම් දියර භාවිතයෙන් මුඛය සේදීම ඔබේ මුඛයේ තුවාල සුවකරයි. උණුසුම් ජලය මිලිලීටර් 200 ක් සඳහා වැල්මී (ඩෙග්ලයිසිරයිසිනේටඩ් (DGL))* මිලිග්‍රෑම් 200 ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. තුවාල සුව වන තුරු මෙම දියර දිනකට සිව් වතාවක් මුඛ මුවසේදුම් දියර ලෙස භාවිතා කරන්න. මුව තුල හොඳින් ක්‍රියාකාරී වීමට නම් මිනිත්තු කිහිපයක් මුඛය කලතවා සේදීම කල යුතුය.
ඩෙග්ලයිසිරයිසිනේටඩ් (DGL ) ග්ලයිකිරයිසින් ලෙස හඳුන්වන සංඝටක ඉවත් කල වැල්මීය. සාමාන්‍ය වැල්මී භාවිතා කිරීම ද කල හැකි නමුත් මේ වර්ගයේ වැල්මී භාවිතය වඩාත් ආරක්ෂාකාරිය.
මී පැණි ගැල්වීම සෑම නිවසකම පාහේ ලබා ගත හැකි මුඛ වණ සඳහා පොදු පිළියමක් මෙන්න! මී පැණි එහි ප්‍රතිබැක්ටීරීය හා තුවාල සුව කිරීමේ ගුණාංග සඳහා ප්‍රසිද්ධය. මී පැණි වණ නිසා ඇතිවන වේදනාව සහ රතු පැහැය දුරුකිරීමට පමණක් නොව, වණයේ ප්‍රමාණය අඩු කිරීමටද උපකාරී වේ.
වදකහ තුවාල සුව කිරීම සඳහා දකුණුආසියානු ප්‍රජාවන් තුළ කහ බහුලව භාවිතා වේ. මෙම කුළුබඩු වල අඩංගු ‘කර්කියුමින්’ නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් ඇති අතර ඒවායේ ප්‍රතිබැක්ටීරීය, ප්‍රති-ප්‍රදාහක සහ වේදනා නාශක ගුණ ඇති බව ප්‍රචලිත කරුණකි. එක් අධ්‍යයනයක් මගින් මුඛයේ වණ වලට 2% කර්කුමින් අඩංගු ජෙල් වල බලපෑම සොයා බැලීය. ආලේප කිරීමෙන් මුඛයේ වණයේ ප්‍රමාණය මෙන්ම වේදනාවද සැලකිය යුතු ලෙස අඩු වේ. කටේ තුවාල සුව කිරීම සඳහා කහ කුඩු සහ වතුර මිශ්‍රකර කපු පුළුන් කැබැල්ලකින් ආලේප කිරීම කළ හැකිය. ගැල්වීමෙන් මිනිත්තු 15-20 කට පසු සෝදන්න.
කැමොමයිල් තේ කැමොමයිල් තේ තුවාල සමනය කිරීමට හොඳ පිළියමක් ලේස් ප්‍රචලිතය. තේ උගුරක් මුව තුලට ගෙන කට කලතවා සෝදන්න. මෙය දිනකට තුන් හතර වතාවක් සිදුකිරීම සුදුසුය.ලුටෙඔලින්, ඇපිජෙනින් සහ ක්වර්සටින් වැනි ෆ්ලැවනොයිඩ රාශියක් කැමොමයිල් වල අඩංගු වන බැවින් ඉහළ මට්ටමේ ප්‍රති-ප්‍රදාහක ගුණ ඉන් ලබාදේ. මෙමඟින් මුඛයේ ශ්ලේෂ්මල පටල ආස්තර සමනය කරවීම සිදුකරමින් සුවය සලසයි.
සෝඩියම් ලෝරිල් සල්ෆේට් පාදක දන්තාලේප වලින් වළකින්න.sodium lauryl sulfate’ නම් ඩිටර්ජන්ට් වර්හය අඩංගු දත්බෙහෙත් භාවිතය මුඛ වණ ඇතිවීමට බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වාදේ. ඒවා මඟින් මුඛයේ ඇති මියුසීන් ආරක්ෂක ස්තරයට හානිකරවන නිසා එය ඉවත්වි යන බව සොයාගෙන ඇත.
ඔබේ සිරුරට හොඳින් විටමින් B, සින්ක් සහ යකඩ ප්‍රමාණවත්ව ලැබේ දැයි සහතික කරගන්න.ඔබ නිතර නිතර මුඛයේ ඇති වන තුවාල සමඟ පොරබදන්නේ නම්, මූලික හේතු සොයා බැලීමද හොඳ අදහසකි. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නිතරම කටේ තුවාල ඇති වන පුද්ගලයින් විටමින් B, සින්ක්, ෆෝලික් අම්ලය හෝ යකඩ වල පෝෂණ ඌනතාවයන්ගෙන් පෙළෙන බවයි. මේවා ඔබේ සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක වේ. එබැවින් එදිනෙදා ආහාර පරිභෝජනයේදී මෙම අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර ලබා ගන්න අමතක නොකරන්න.
- සින්ක් බහුල ආහාර- බෙල්ලන්, කුකුළු මස්, කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග
- යකඩ බහුල ආහාර- මස්, බෝංචි ඇට, නිවිති, මුහුදු ආහාර
- B විටමින් බහුල ආහාර – ධාන්‍ය වර්ග ,පලතුරු සහ එළවළු. විටමින් B 12 සහ ෆෝලේට් මුඛයේ වණ ඇති අයට ප්‍රයෝජනවත් හා ගුණදායී බව විශේෂයෙන් හඳුනාගෙන ඇත. චීස්, කිරි, මස් හෝ බිත්තර වැනි සත්ව ආහාර වලින් සිරුරට අවශ්‍ය විටමින් B12 පෝෂණය සපුරාගත හැක. කොළ පැහැති එළවළු, බෝංචි ඇට වර්ග සහ කඩල, නට් වර්ග වලින් ෆෝලේට් පෝෂණය ලබා ගත හැක.
සති 3 කට අධික කාලයක් ගත වන තුරුම කටේ තුවාල සුව නොවේ නම් එය බලාසිටිය යුතු තත්වය නොවේ. ඇතැම් විට මෙය පිළිකා තත්වයක පූර්ව රෝග ලක්ෂණයක් විය හැක. එබැවින් වහාම වෛද්‍යවරයෙකු හමුවී ඔබේ සෞඛ්‍යය තත්වය පරික්ෂා කරගන්න. යලි යලි කටේ තුවාල ඇතිවෙයි නම් හෝ කටේ තුවාල ක්‍රම ක්‍රමයෙන් විශාල වී රතු පාට වීම හා වේදනාකාරී බවින් වැඩිවෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යාමට සැලකිලිමත්වන්න.