කවදා හරි ස්ත්‍රී දූශකයෙක් එක්ක වරුවක් ඉදලා තියේද? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මං තනියම කාමරේක ස්ත්රී දූශකයෙක් එක්ක පැයකට වඩා කතා කර කර ඉදලා තියනවා.
ඒක 2009 අවුරුද්ද! මං පශ්චාත් උපාධිය කරන්න කියලා තෝරගත්තේ වෝහාරික වයිද්ය විද්යාව. ඒ කිව්වෙ ෆොරෙන්සික් පැතොලොජි නැත්නම් JMO කෙනෙක් වෙන පාත් එක. ඉතින් වයස 30යි. කොලබ JMO ඔෆිසිය තමා වාස බවන වුනේ.
මට ඒ දවස්වල තඩි බඩක් තිවුනා. බත් බඩක් නෙවේ, පළවෙනි ළමයා හම්බ වෙන්න ඔන්න මෙන්න දවස්… ඒ කාලෙ තමා මෝචරියෙ මිනී කපන මේසෙ උඩ තියාන බත් කන්නත් පුලුවන් ගැම්ම පුරුදු වෙන්නෙ.
‘නංගී මේක බලන්න.
ප්රශ්නයක් වුනොත් කතා කරන්න. මං ඉන්නවා එහා පැත්තෙ.’
රවි අයියා මට ඒක බාරදීලා එහා පැත්තෙ වැඩක්.
මම මෙතනට ආධුනිකයි. එන්නෙම හොරු- මංකොල්ල කාරයො – මිනීමරුවො.
සමහර වෙලාවට පැටලෙනවා මන් ඉන්නෙ පොලිසියේද නැත්නම් හිරේද කියලා.
ඇස් දෙක පිහිදා ගත්තාම ඔන්න මතක් වෙනවා මන් ඉන්නේ JMO ඔෆිස් එකේ කියලා. ඊලගට මතක් වෙනවා මන් ඉන්නෙ ඉල්ලන් කන ගමන් කියලා
‘මොකද වුනේ?’
පුරුද්දට ඇහුවට මොකද ස්ත්රී දූශකයෙක්ගෙන් එහෙම අහන්න ඕනම නෑ.
ඊළගට උන් කියවන්නේ උගෙ වර්ණනාව.
මේ කොල්ලා අවුරුදු විසි ගානක එකෙක්. නව ගමුව පැත්තෙ.
මන් ඌව අමතක කරලත් දැන් අවුරුදු 12ක් ගෙවිලා. ඒ නිසා සම්පූර්ණ කතාවම මගෙන් එලියට එන්නෙ නෑ. මට එච්චර මතකයක් නෑ. කොටින්ම පරණ මරණ පරීක්ශන වාර්තා ටික අල්මාරියෙ කොනක තියනවා කියලා විතරමයි මතක.
කොන්ඩෙ කර්ල් තිබිච්ච පපුවෙ ලොකු ඉංග්රීසි අකුරු තුනකුයි රූපෙකුයි ගැහුව ටී ශර්ට් එකක් ඌ ඇදන් උන්නේ. විශ්නු දෙයියා වගේ නිල් පාට එකෙක්. කවුරු නමුත් නෙලල තිබ්බා සෑහෙනට.
‘රිදෙනවද?’
‘නෑ..’
‘කොහේ හරි තැල්මවල් තියෙනවද ?’
‘නෑ..’
‘අත පය හොදටම නවන්න පුලුවන්ද?’
‘ඔව්’
‘හන්දි, ඇටකටු රිදෙනවද?’
‘නෑ..’
පොලිසියෙ මහත්තැන් කෙනෙක් එක්ක ඌව එහෙ මෙහෙ පෙරලල, අපි ඉතින් කොල මිටි ගනන් පුරෝනවා.
‘ෆිට් ෆෝර් ඩිටෙන්ශන්..’
රදවා තබා ගෙන ප්රශ්න කිරීමට අවසර දීමක් ඒක.
දැන් තව රදවා ප්රශ්න කරන්න පුලුවන් පොලිසියේදී.
ඒ වගේ එකෙක් පොලිසියට ආවාම අපිට වගේම හැම පොලිසියෙ මහත්තැන් කෙනෙකුටම තද වෙනවා සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්. එතැන ඉන්නෙත් දූවරු ඉන්න තාත්තලා. ඒත් රදවා ප්රශ්න කරන්න නම් අපි ගාවට ගේන්න ඕන , හොද සෞඛ්ය තත්වයෙන් උන්නා කියලා ලේබල් එක අලවන් යන්න.
ඊලගට උන් හිරේට ගියාමත් හිරේ ඉන්න අනික් උන්, ඌට අල්ලන් නෙලනවා.
ස්ත්රී දූශකයෙක් හිරේ දාන එක හරි ලේසි වැඩක්. දාලා පුනරුත්තාපනය කරලා එලියට ආවාම උන්ට කාන්තා කටයුතු පිලිබද ඇමති කමක් හරි සබාපති කමක් හරි දුන්නත් අවුලක් නෑ. එහෙව් රටක්නේ.
මේ කොල්ලා එයාගෙ යාලුවෙලා හිටපු කෙල්ලව ගෙදර අය අකමැති වුනු නිසා හොරෙන් ගෙදරින් පන්නන් යනවා. කෙල්ලට මතක විදිහට අවුරුදු දාහතරක් හරි පහලොවක් හරි.
ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 16 දී තමන් කැමති කෙනෙක් එක්ක එක වහලක් යට ඉන්න කැමත්ත පල කරන්න ළමේක්ට පුලුවන් තමා. හැබැයි කැමත්ත මත වෙන්ට ඕන. ලංකාවෙ විවාහ වෙන්න පුලුවන් අවුරුදු 18දී. හැබැයි නීති මොනා කීවත් 18 වෙනකොට කෙල්ලෙක්ට විවාහයකට මනසින් හා මොළයෙන් සූදානම් වීමක් ලැබෙන්නෑ. ඇත්තම කියනව නම් කායිකව ලැබෙන්නෙත් නෑ. එයාගෙ මොළේ තාම තීරනැයක් හරි හැටි ගන්න පුලුවන් වාතාවරනැයක නෙවේ තීන්නෙ. ඉතිම් උන් ඒ ඒ වෙලාවට ලැබෙන මහානිසංස ගැන හිතලා කසාද බඳිනවා. කසාද බැන්ඳට මොකෝ, වයස 20 විතර වෙනකොට වැරැද්ද තේරෙන්න ගන්නවා. ඒකයි 20 වෙනකන්වත් ලොකු ලොකු දේවල් ගැන තනියම තීරණ ගන්න යන්න එපා කියන්නේ.
ඉතින් මේ කෙල්ලත් 16යි මාසයයි වගේ පෙන්නලා පැනල යන්න ඇති.
කොල්ලා මේ කෙල්ලව එක දිගට දවස් කීපයක් තිස්සෙ දූශනය කරලා මෝටර් බයික් එකේ නිරුවතින් මහ රෑ නංගගෙන ගිහිල්ලා මේ සම්බන්දෙට අකමැති වෙලා උන්නු කෙල්ලගෙ අම්මවත් කෙල්ලව ඉස්සරහ දුශනය කරනවා.
ඊටපස්සෙ අම්මව මරණවා. කෙල්ල ඒකට තරහ වෙලා බනිනවා කියලා කෙල්ලවත් බෙල්ල මිරිකලා මරණවා.
ඊට පස්සෙ පොලිසියෙන් කොල්ලව අල්ල ගන්නවා.
ඊට කලින් දවසෙ ඔය කෙල්ලගෙයි අම්මගෙයි මිනී දෙක මෝචරියට ඇවිල්ල තිවුන. මිනී කපලා බලද්දි තිබ්බා තැලීම්, පොඩිවීම්, හපාකෑම්, පිලිස්සීම්. මේ ඔක්කොම අද මේ කොල්ලා කියන කතාව එක්ක හරියට ගැලපුනා.
ආය මගෙ කතාවට.
මං කොල්ලා එක්ක කතා කරන කොට ඌ ඒ විස්තර කිව්වෙ කලකිරීමකින් නෙවේ. හරි උජාරු වැඩක් කලා වගේ.
පොලිසියෙ රඳවා ප්රශ්න කිරීමට ගැටළුවක් නොතිබ්බ නිසා ‘ෆිට් ෆෝර් ඩිටෙන්ශන්’ ගහලා මන් කොල්ලවයි ලිපි ලේකනයි බාර,දුන්නා.
ගෙදර ආවාම මට මොන මගුල් පීජී ද කියලා හිතෙන්න ගන්නවා. ඌ උගේ වීර ක්රියාව කොච්චර වින්දනීය ලෙස ඉදිරිපත් කලාද කියනව නම් , මමත් ඒ වෙලාවෙම යුනිෆෝර්ම් පිට හිටියනම් ‘ෆිට් ෆෝ ඩිටෙන්ශන්’ සීල් ගගහ ගගහ ඌට නෙලනවා. ඒත් ඉවසගෙන රස්සාව කරන්න ඕන. ඒක මට ගැලපෙන රස්සාවක් නෙවේ. මන් පීජී අතෑරලා ගෙදරම එනවා. තාමත් ඒ දූශනය කරපු කෙල්ලව, දූශනය කරපු තැන, දූශනය කරපු කොල්ලව, තුන් දෙනාවම මතක් වෙනවා. තාමත් රවි අයියලා රාජගුරු අයියලා ඒ ජාතියෙ අයව බලනවා ඇති බැණ බැණම.
නෙලුවට ප්රශ්න ඉවරවෙන්නෑ.
උන් එක්කො නඩුව අහල ඉවර වෙනකන් එලියෙ තියයි. නැත්නම් හිරේට දාල බත් ගිල්ලව ගිල්ලව තියයි.
ඒත්,
දූශනය විව්චි පාර්ශවයට මොකද වෙන්නේ.
එයාලට ලේබලයක් වදිනවා දූශනය වුනු කෙනෙක් කියලා.
ඉස්කෝලෙන් ලේබලේ ගහනවා.
ගමෙන් ලේබලේ ගහනවා.
රස්සාවකට ගියාම ඒකෙත් ඒ ලේබලේම ගහනවා
පොලිසියේදි උසාවියේදිත් එම ලේබලයම වදිනවා
වැරදිලාවත් කසාද බැන්දොත් මගුලටත් ඒ ලේබලයම වදිනවා .
මලොත් මිනියටත් ඒ සන්තෑසිය ම තමා.
ඒ නිසා මෙහෙම වින්නැහියක් වුනොත් කවුරුත් කට අරින්නෑ. කෙල්ල අම්මටවත් කියන්නෑ, කිව්වත් අම්මා, තාත්තටවත් කියන්නෑ තාත්තට කිව්වත් තාත්තා පොලිසියටවත් කියන්නෑ .
ඒනිසා හදුනා නොගත් නිරාවරණය නොවූ ස්ත්රී දූශකයො නිදැල්ලේ ඕන තරම් ඉන්නවා. උන් වින්දනීය මොහොතක් විදිහට තමන් කරපු දේ ස්මරණය කරනවා. උච්චම වුනොත් ආයෙ ආයෙම ඔය වැඩේ කරනවා. උන්ට හැබිචුවල් රේපිස්ට්ලා කියලා අපි කියනවා .
අනුරාදපුරේ එහෙම කරදර වෙලා සිද්දිය අනාවරණය වුනු ගෑනු දරුවොන්ට ආරක්ශාව සපයන රැදවුම් ස්තාන කීපයක් තියනවා.
ඒ දරුවොන්ගෙ කතාව මට ඇහෙන්නේ 2016 දී විතර, මන් පාසල් සෞඛ්ය වයිද්යවරයා විදිහට ඉද්දි.
අනුරාධපුර පාසල් සෞඛ්ය හොදයි නම් පාසල් යන වයසෙ ලමයි ලක්ශ 2න්, ලක්ශ 2ම ඉස්කෝල වල ඉන්ටෝන. ඒත් ලොකු කොටසක් පාසල් වලම නෙවේ ඉන්නෙ. 250ක් 300 ක් සමහර,විට ඊට චුට්ටක් අඩු වැඩියෙන් පරිවාසගතව ඉන්නවා. බහුතරයක් වින්දිතයො.
‘ඩොක්ටර් අපි මොන වරදක් කරාටද අපි හිරේ දාලා තියෙන්නේ.
ඉස්කෝලෙ යන්න නෑ
රස්සාවට යන්නත් නෑ.
ළමයෙක් හම්බ වෙන්න ආවොත් ඉස්පිරිතාලෙ යන්නත් නෑ.
බෑනුම් කෝටියයි.’
උන් කාවවත් දූශනය කරලා නෙවේ. කා අතින් හරි දූශනය වෙලා. උන් ඉස්කෝලෙ යන්ටෝන. සම ඓතීන් ලැබෙන්ටෝන.. ගෙදරට වැදුනු ලේබලේ අයින් වෙන්ටෝන.
වින්දිතයට තියන අවාසි එකක්වත් දූශකයාට නෑ. උන් ඉස්කෝලෙත් යනවා, ඉගෙනත් ගන්නවා, රස්සාවලුත් කරනවා. කසාදෙකුත් බැඳ ගන්නවා. මේ ඔක්කොම දිහා වින්දිත ගෑල්ලමයි පරිවාසෙට වෙලා නඩුව ඉවර වෙනකන් බලාන ඉන්නවා. ඒවා ඉඩම් නඩු වලට එහා…
ඉතින් තමන්ට පවර් එකක් නැති තැන්වලදි දූශනය වෙන ගෑනු ළමයා ඒක කාටවත් කියන්න යන්නෑ. තනියම විඳ දරා ගන්නවා මිසක්.
අන්තිමට එයා බ්ලැක් මේල් වෙනවා.
දීර්ඝ කාලීනව දූශනය වෙනවා.
හැබිචුවල් වික්ටිම් කෙනෙක් වෙනවා.
කටක් අරින්නෑ
මළත් ඒ ගෑල්ලමයා කටක් අරින්නෑ.
මළත් ඒ ගෑල්ලමයා වෙනුවෙන් කවුරුත් කටක් අරින්නෑ
දූශකයා ජව සම්පන්න වෙන්න වෙන්න කවුරුත්ම කටක් හොල්ලන්නෙ නෑ බත් ගිලින්න මිසක්.
ඒ නිසා ගෑල්ලමයි පුච්චලා, දූශනය කරලා, කරලා කරලා ඇති පදම් දූශනය කරලත්, ඒකත් ඇති වෙලා, මරල දැම්මත් මොකෙක්වත් කටක් අරින්නෑ.
ස්ත්රී දූශනයට විරුද්ධ වෙන්න. හෙට ඒ මගේ දරුවා විය හැකිය.
ස්ත්රී දූශනයකට ලක් වූ ගෑනු දරුවන් ගැන සානුකම්පිත ව බලන්න. හෙට ඒ මගේ දරුවා විය හැකිය.
ස්ත්රී දූශකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නන් වෙනුවෙන් විරුද්ධ වන්න . හෙට ඒ මගේ දරුවා විය හැකිය.
ස්ත්රී දූශනකට ලක් වූ ගෑනු දරුවන්ගේ අද්යාපනය ගැන වගකීමක් ඇති ක්රමයක් වෙනුවෙන් කතා කරන්න. හෙට ඒ මගේ දරුවා වෙනුවෙන් විය හැකිය.
ඔබට අවශ්ය නම් ඒ සියල්ල පසෙක තබා නිහඩව සිටින්න. දිනක මගේ දරුවා වෙනුවෙන් නිහඩව සිටින ඔබ, ඔබේ දරුවා වෙනුවෙනුත් නිහඬව සිටිනු ඇත.
දූශකයාගේ තරම තරාතිරම නොබලා ඉදිරිපත් වන්න. හඩක් නගන්න. එවිට සමාජය විසින්ම උන්ට ‘ෆිට් ෆෝර් ඩිටෙන්ශන්’ ගහනු ඇත. දරුවන් සිටින මවුවරු හා පියවරු හැම තැනම සොයා ගැනීමට පුලුවන. .
උපුටා ගැනීම:     කේ එස් හෙන්දවිතාරණ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!