අවුරුදු ගානකට කලින් සිදුවීමක් මේක .ඒ කාලේ ඒ කිව්වේ ඒ ලෙවෙල් ක්ලාස් යන කාලේ.මම ක්ලාස් ගියේ නුවර.නුවර කිව්වේ මහනුවර .
ඒ කාලේ මම හෙන කැතයි.දැනුත් එහෙම තමයි .ඒ කාලේ ඉතින් හෙන උණනේ කෙල්ලෙක් සෙට් කරගන්න .ඉතින් ෆුල් ට්රයි කෙල්ලොන්ට .ඒත් එහෙම ට්රයි කලා කියලා සමහරු තවම දන්නේ නෑ .
ඔහොම යද්දී කෙල්ලොන්ට ට්රයි කලාට ඉතින් උන්ගෙන් අහන්නත් එපැයි.එහෙම අහන්න ඒ කාලේ කොහෙන්ද එච්චර හයියක් .ඉතින් අපි ට්රයි කලාට අහන්නම් කියලා හිතද්දී වෙන එකෙක් එක්ක අත පටලන් යනවා පේනවා .ඉතින් මේ කියන කාලේ හැමදාම තනිකඩ වෙලා ඉන්න වෙයි කියලා පුදුම බයකින් හිටියේ.
ඔන්න මේ කියන දවසේ මම ක්ලාස් යන්න නාවලපිටිය – මහනුවර බස් එකකට නැංගා.නාවලපිටිය ඉදන් එන නිසාත් මම නගින්නේ අතරමගදී නිසාත් බස් එකේ සීට් එකක් නම් ලැබුනේ නෑ .දැන් මම එනවා හිටගෙන.
ඔන්න දැන් තමයි හොදම හරිය.
එහෙ මෙහෙ බල බලා ඉන්නකොට මට පේනවා මගේ ඇස් කොනට කව්ද මන්දා කෙල්ලෙක් මම දිහා බලන් ඉන්නවා කියලා .
අප්පටසිරි .යකෝ කෙල්ලෙක් .ලස්සනම ලස්සනයි .
පෙනුමෙන් නම් මට වඩා බාලයි වගේ.ලස්සන ඇස්.කොන්ඩේ උඩට පීරලා තනි කරලට ගොතලා .ඔව් මට හිනාවෙනවා.අහක බලාගන්නවා.මමත් එයා දිහා බලනවා අහක බලාගන්නවා.
ඒත් තිබුන ලැජ්ජාවට ඒකිගේ ඇස් දෙක දිහා කෙලින් බලන්නත් ලැජ්ජයි .
කොහොම උනත් කමක් නෑ අදම කොහොම හරි ෆලෝ කරලා අහන්න ඕනි .මගේ ටිකිරි මොලේ මට කිව්වා .හා කිව්වොත් ආයේ දෙකක් නෑ සිරාම කරනවා.වැඩිකල් යන්න කලින් ගිහින් කෙලින්ම එයාලගේ ගෙදර අයගෙන් අහනවා.අයියා කෙනෙක් හිටියේ නැත්නම් හොදයි .අයියලා මහ බක පණ්ඩිතයෝ .
ඔහොම මනෝ පාරක් ගහගෙන කෙල්ල දිහා ඇස් කොනෙන් බල බලා එනවා.මම ඒ වෙනකොටත් නුවරටම යන්න ටිකට් අරන් තිබුනේ.
බස් එක ගම්පොලට කිට්ටු වෙනකොට කෙල්ල බහින්න වගේ ලෑස්ති උනා.
මම ආයේ දෙපාරක් හිතුවේ නෑ මම හිතාගත්තා මමත් මෙයා බහින තැනකින් බහිනවා කියලා .කිව්වත් වගේ කෙල්ල ගම්පොළදී බස් එකෙන් බැස්සා.මාත් ඉතින් ගම්පොළට ටිකට් ගත්තා වගේ ගම්පොලින් බැස්සා .
කෙල්ල මට ලාවට හිනාවක් දාගෙන මාව පහු කරන් යන්න ගියා.ඉතින් මමත් පටන් ගත්තා පස්සෙන් යන්න .
ඔහොම යනකොට ගම්පොල ටවුන් එක මැද තියෙනවා අහස් පාලම කියලා පාලමක්.
දැන් කෙල්ල මේ කියන අහස් පාලම දිහාට පය තබද්දී මමත් හෙමිහිට එයාගේ පස්සෙන් වැටුනා.
පාලම උඩදී.
පාලම උඩදී ඉස්සරහින් ගිය මේකි එකපාරටම නතර උනා කියහංකො .මගේ මුළු ඇගම සීතල වෙලා ගියා…
දැන් ආපහු හැරෙන්නත් බෑ .ඉස්සරහට යන්නත් බෑ වගේ.පපුව ගැහුන හැටි තාම මතකයි.
ඕනි මගුලක් වෙන්න උබ වීරයා වගේ ගිහින් අහපන්.
මගේ හිත මට කිව්වා .
හිතට ධෛර්යය අරන් ඒකි ලගට කිට්ටු උනා.ඒකි ලස්සනට හිනාවේගන මම දිහා බලන් ඉන්නවා .කොහොමද කතාව පටන් ගන්නේ කියලා හිතනකොටම මේ කෙල්ල කතා කරා.
අයියා. කොහෙද මේ යන්නේ . අනුරාධා ගෙදර ද .
කියලා අහපි.
අනුරාධා .
ඔව්.අයියේ ඔයාලගේ චූටි නංගී .එයා මගේ පංතියේ .මම අයියලගේ ගෙදරත් ඇවිත් තියෙනවා .මතක නැද්ද මාව.
කාලා වරෙන් කිව්වලු.මේකි මට හිනා වෙලා තියෙන්නේ ඒකත් එකටම චූටි නංගිගේ යාලුවෙක් නිසානේ කියලා මගේ මැටි මොලේට තේරෙනකොට ලැජ්ජා හිතෙනවා තවමත්.
ඉතින්.ඔන්න ඔහොමයි ඒක උනේ.
ඒත් දෛවය කියන්නේ පුදුමාකාර දෙයක් .ඔය කිව්ව ගෑනු ළමයා පස්සේ කාලෙක මගේ හොද යාලුවෙක් උනා.මොකද එයත් දැන් මම ඉන්න ක්ෂේත්රයේම තමයි ඉන්නේ .වෙන දෙයක් තියා එයාගේ කසාදෙට අත්සන් කලෙත් මම .
දැන් දෙදරු මවක්.ඔව් ඔව්. fb එකෙත් ඉන්නවා.
ස්තුතියි
උපුටා ගැනීම: මංජුල කුමාර