කෙමෙන් කෙමෙන් අභාවයට යන දේශීය කිතුල් කර්මාන්තය…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කඳුකරයේ මනාළිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේකඳුකරය ආශ්රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ්රිතව ජීවත් වන ජනතාව සතු ප්රධාන ආර්ථික භෝගයක් බවටද පත් වී තිබේ.කුඩා තේ වතු වගාව ව්යාප්ත වීඹට ප්රථම ඔවුහු තමන් ගේ සියලු ජීවන ක්රියාකාරකම් සඳහා මුදල් උපයා සපයා ගෙන ඇත්තේ මෙයිනි. කිතුල් ගහකින් දෑවැදි තුනක් දිය හැකි බව කට වහරට කියන්නේ එහෙයිනි.
කිතුල් මල් කපා කඳුළ වෑස්සෙන විට ඒවා එකතු කර ගැනීම මෙහි පිළිවෙලියි. මල කැපීමට නියමිත ශාස්ත්රයක් පවතින අතර නම්බුකාර ගහක් ලෙසට සැලකුම් ලබන කිතුලෙන් කඳුළු නොහොත් තෙලිදිය ලබා ගැනීමට නම් ඒ ශාස්ත්ර යෙන් නිසි පරිදි වැඩ ගැන්මත් ගහට කීකරුව ගෞරවයෙන් කටයුතු කළ යුතු ආකාරයත් මේ පාරම්පරික ශිල්පීන් දැන සිටින්නට ඇත.
කිතුල් ගහේ ප්රභේද කීපයක් ඇති බව කියැවෙයි. ගෑනු පිරිම් ප්රභේදය ඉන් එකකි. ඒ අනුව තෙලිදිය ලබා ගැනීමට සමත් වඩාත් හොඳ ප්රභේදය ලෙසට සැලකෙන්නේ පිරිමි ප්රභේදයයි.
අගින් හීන් කඳ මැදින් නොහොත් බණ්ඩියෙන් මහත් වූ ගෑනු ප්රභේදය ලෙහෙසියෙන් හඳුනා ගත හැකිය..පිරිමි කිතුල මුලින් මැදින් අගෙන් එක පමණය. සීරුවෙන් උසයයි.කිතුල් වැවෙන කදුකරයේ වනය අස්සසෙන් මතුවී එන පිරිමි ගස් අපට දැක ගත හැකිය.ඒවා වාඩාත් සුදුසු වන්නේ වනයේ සාරවත් ව වැඩී සූර්යා ලෝය සොයා ඉහළට ගිය බැවිනි.කහට කිතුල නම් තෙලිදිය ගැන්මට අසීරු කහට රසයක් ගන්නා තොලිදිය වෑසේසෙන කිතුලයි.ඒවා මදින්නන් මලට බෙහෙත් නොතබා පුළුස්සා ගනිමිනි.. එවිට වැඩි කාලයක් අස්වැන්න ලබා ගත නොහැකිය.
පැණි ප්රමාණයද ලැබෙන්නේ අඩුවෙනි.කටු කිතුල් සහ කුරු කිතුල් නම් වූ තවත් ප්ර භේද දෙකක් පවතී. ඒවායින් තෙලිදිය ලබා ගැනීම දැනට නොකරති.එසේම ලංකාවේ කිතුල් වගා කිරීමක් දක්නට නැතිය. නමුත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිතුල් පැළ ප්රචාරණය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ. ඉදිරි අනාගතයේ ආරථික වතාවක් ලෙසට එය ඉහළට ඔසවා තැබීමට නම් එවැනි ප්රචාරණයක් අත්යවශ්ය වේ.
තෙලිදිය ලබා ගැනීමට යොදා ගන්නේ කිතුල් මලයි. මල කැපීම පිණිස ගහ දිගේ ඉහළට නැග ගත යුතුය.මේ මාර්ගය පහසු කර ගැනීම පිණිස මල් මදින්නන් විසින් කිතුල් ගස හැර සා ගනී. කිතුල් ගස හැර ගසා ගැනීමට භාවිතා කරන ප්රධාන රිටි වර්ගය වනයෙන් සොයා ගන්නා හැඩවක ලීයයි. ඊට අමතරව ගොඩපර වන මී වන ඉදල වල් ලියන් ලියන් සහ තෙලන් වැනි ලී වර්ග භාවිතා කෙරේ.මුදුන් මලේ සිට බතලේ මල දක්වා(එකිනෙකට පසු එන මල් තුනක්) මාස තුනක් කාලයක් ගත වන බැවින් ශක්තිමත්ව දිරාපත් නොවී තබා ගැන්මට නම් මේ ලී වර්ග භාවිතා කල යුතුය.
උණ ගස් බහුලව යොදා නොගන්නේ දීර්ඝ කාලයකට ඒවා ඔරොත්තු නොදෙන බැවිනි.මේ ගසේ හැර වෙලීම සිදු කරන්නේ පට්ටික්කා වැල් කොරස වැල් මාබණ්ඩා වැල් කිරිඳි වැල් කළු බඹර සුදු බඹර වෙනි වැල් සහ කලවැල් වලිනි.වෙළෙඳ පලේ මිළදී ගන්නට තිබෙන කොහු ලණු වලට වඩා ඒවා විශ්වාස කළ හැකි බව මදින්නන්ගේ මතයයි. කිතුල් ගස් හැර දැමීමේ දී චන්ද්ර මාස ක්රමය අනුව ගැනෙන පුර ජලවක දිනය යොදා ගන්නා බව ඉතා අහම්බෙන් දැන ගන්නට ලැබුණේ රක්වානේ මදින්නෙකුගෙනි.
කිතුල් මල කැපීමේදී ආරම්භයේ දී මල් කිනිත්ත විවර කර කොළ පැහැ වන්නට අරිති. ඉන්පසු ගසට ළන්ව පවතින පුරුක ඇර ඉතිරි පුරුක් ඉති ගැටේ දක්වා ගලවා සුඹුල ගා දමා ගලකින් තලා පදම් කරති.මලේ කිරි පුරක නොහොත් පැණි පුරුකට බෙහෙත් තබන්නේ අනතුරුවයි.මෙයින් පසු මලට ඔලොම්බුව නමින් ආධාරකයක් සවි කර ගනිති. මල දෘඩව තබා ගැනමට එය උපකාරී වේ. දින තුනක් තිස්සේ මල පදම් කර ගනිති.ඉන් පසු මල කැපීම ආරම්භ කරනුයේ යහපත් හෝරාවකිනි.
එසේම වඩදිය වේලාවටයි.මේ කාලය උදේ අට පමණ වන විට උදාවන බව ඔවුන් ගේ මතයයි. මල කපන පිහිය කලින් සූදානම් කර තබා ගැනීමද කළ යුතුය. මල් කපන පිහි පණ පොවන්නේ මඩ වතුරෙන් නොවේ. පොල් තෙල් වලිනි. කම්මල් කරුවා ළඟට යන විට පොල්තෙල් කොලපුවක් රැගෙන යෑම සිරිතයි. පණ පෙවූ පිහිය සෑම කැපීමකදීම මුවහත් තබා ගත යැතුය. ඒ සඳහා වල්ලා හෝ මිල්ල ලීයක් භාවිතා කරන අතර තිරිවානා කුඩු යොදමින් මුවහත් තැබීම කරගනිති. මුදුන් මල කපන අවස්ථාවකදී කහ ලුණු සහ පොල් තෙල් ගෙන පුරුකේ සුඹුල හැර මුලු මලේම ගෑම කරති. මුදුන් මල ළපටි බැවින් ඒය ප්ර වේශමින් කළ යුතුය.
කිතුල් මදින්නන් බෙහෙත් වට්ටෝරු කීපයක් භාවිතා කරති. ප්රදේශ වල විවිධත්වය අනුව රා හෝ මීරා අවශ්යතාවය මත මෙන්ම කිතුල් ගසේ මලේ ස්වභාවය අනුවත් එසේ කරති. ඉන් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.
1/ කොල්ලන් කොළ අළු සහ විටට කන හුණු පදමක්
2/ කොල්ලන් කොළ වියන් දුඹුළු ලුණු දියර අළු සහ ඇඹුල් ඉස්ම
3/ කොච්චි ගම්මිරිස් රතු ලූණු හීන් දුරු සහ ලුණු ටිකක්
4/ කෙටල අල සුද්ද කොට පෙති කපා පොල් කිරෙන් තම්බා අඹරා තැබීම.
මෙලෙස භාවිතා වන වට්ටෝරු රැසක් පවතින අතර ඒ ඒ පළාත්වල සම්පත් අනුව ඒවා තීරණය වේ. බෙහෙත් තැවරීමෙන් පසු කිතුල් කොළයක තබා බාඳුරා වලින් බැඳීම කරති. බෙහෙත් යොදීමෙන් කෙරෙන්නේ මලේ අභ්යන්තරය් තිබෙන සිදුරු පාදා ගැනීමයි.දින තුනක් පමණ කල් ගත වූ පසු තෙලිදිය කඳුළ වෑස්සීමට පටන් ගන්නේ මෙලෙස මල හොඳින් පදම් වූ පසුවයි.
ඇතැම් අය බැටරි කුඩු ආදිය මල් බෙහෙත් ලෙස භාවිතා කළද ගසේපැවැත්මට එය හානිකරය.බැටරිකුඩු වල රසායනික ද්රව්ය නිසා මලට රත් කුරමිණයෙක්(මානෙලා) ආකර්ශනය වන අතර ඌ විසින් දමන බිත්තර වලින් පණුවන් හට ගනී. එයින් මල විනාශයට පත් වීමට තිබෙන ඉඩකඩ බෙහෝය.
ඇතැම් කඳුකර පළාත්වල මල කැපීම පිණිස ආරම්භයේ දීම ඔලොම්බුව දමා සම්පූරණ පුරුකේම කොපු ඉවත් කර ගනිති. ඉන් පසු උදයට දහවලට කපා හවසට සම්පූර්ණ කොපුවම වැල් වලින් වෙලා දමති. ඉන්පසු උදෙට නැවතත් කපා හවසට වෙලා දමති . මේ ක්රමයට මල පදම් කරගත්තද වැසි කාලයට මෙවැනි පදම් කරගැනීම වලින් මල ඇරීමට තිබෙන ඉඩකඩ වැඩි වන බව අසන්නට හැකිය.දෙසැම්බරයේ සිට අප්රියෙල් මස පහළෙව දක්වා කාලය ( බක් මසේ අවසානය දක්වා) කිතුල් මල් කැපීමට හොඳම කාලයයි. තෙල් ගෑමේ අවුරුද්දෙන් පසු එළඹෙන කාලය අධික වර්ෂාවට බර බැවින් මල පදම් කර ගැනීම ලේසි නැත.ඒ නිසා තෙලි දිය ගැනීමට ඇතැම් විට ඉඩ නොලැබේ.මහ රා දමන්නට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය.
සාමාන්ය යෙන් කිතුල් ගසක මල් පහළොවක් පමණ හට ගනිති.මුදුන්මල සහ දෙවනි මල වන ඉපියාව කැපීමෙන් අත් හරින්නේ ඒවායේ ඇට මගින් කිතුල් පරාම්පරාව ප්රචාරණය වන බැවිනි. තෙවනි මලේ නොහොත් බතලේ සිට කැපීම ආරම්භ කරන්නට පැරණි මල් මදින්නන් උත්සාහ දරන අනෙක් කාරණය ලෙස සළකන්නේ මුදුන් මලේ වඩුකම හරියට නොකෙරුණහොත් ගසෙන් වැඩක් ගත නොහැති තත්ත්වයට පත් වන බැවිනි.කිතුල් ගස පීදෙන්නට වසර පහලොවක් පමණ කල් ගත වන අතර වසර පහක් පමණ මල් මැදීම සඳහා ප්රයෝජනයට ගත හැකිය.
කිතුල් මලේ වඩුකම අවුල්කරන්නා වන්නේ රිලවාය. ඌ මදින්නන් පස්සේ රහසේ වැටී මදින්නා ඉවත් වූ පසු ගස් මුට්ටියත් කොලපුත් ඇද දමා යකා නටති. ඇතැම් රිලවුන් රා බී දවස තිස්සේ අනෙක් රිලවුන් සමග කෑ කොස්සන් ගසමින් රණ්ඩුවන හැටි දකින්නට හැකිය. මල් මදින්නන්ට නීතියෙන් කිසිම පිසරණක් නැත.
රා බොතල් දෙකක් ළඟ තබා ගැනීමටත් ගස් තුනක් කපා ගැනීමටත් අවසරය හිමව තිබුණද සුරාබදු අංශ සහ පොලිසිය තමන්ට වාරිකව අවශ්ය නඩු සදහා මල් මදින්නන් කොටු කර ගනිති. ඇතැම් විට නූගත් කම නිසා රවට්ටා කොලවලට අත්සන් ලබා ගෙන නඩු දමති. තරුණ පරපුර මල් මදින්නට නොඑළඹෙන්නේ මේ දුෂ්කරතා ඔවුන් දන්නා බැවිනි. මේ නිසා අගනා කර්මාන්තයක් ඉදිරි කාලයේ දී අතුරුදහන් වීමට තිබෙන ඉඩකඩ බොහෝ වේ….
උද්භිද විද්යාත්මකව Caryota urens ලෙසින් හැඳින්වෙන කිතුල් ගසෙන් වසර දෙදහසකටත් පෙර සිට මෙරට වැසියන් ඵල ප්රයෝජන ගෙන තිබෙන බවට තොරතුරු තිබේ. එකල සාමාන්ය ජනතාවගේ මෙන්ම රාජ භෝජනයේද අත්යවශ්ය ආහාරයක්‌ ලෙස කිතුල් පැණි, හකුරු, තෙලිදිය සහ කිතුල් පිටි භාවිතයට ගෙන ඇත. 1830 වර්ෂයේ මෙරට ඇතිවූ දුර්භික්‌ෂයේදී ජනතාවගේ දිවි රැක ගැනීමට ඉවහල් වී ඇත්තේද කිතුල් පිටිය.
සීනි භාවිතයට නොගත් මෙරට වැසියන්ගේ ප්රධාන පැණි රසකාරකය වූයේ ද කිතුල් පැණි සහ හකුරුය. අපේ පැරැන්ණන් විසින් ලොවට දායාද කළ, මී කිරි සහ කිතුල් පැණි සුසංයෝගය, මේ ලොව ඇති අති විශිෂ්ටතම පෝෂණීය ආහාරයකි. සිංහල වෙදකමෙහිලා ද කිතුල් පැණි, හකුරු, කිතුල් පිටි, තෙලිදිය සහ කිතුල් රා, සුලභව භාවිතයට ගෙන තිබේ. අද මෙන් නොව, එකල කිතුල් ගස්‌ බහුලව ව්යාප්තව තිබෙන්නට ඇතැයි ද සිතිය හැකිය.
අප දැන් කිතුල් ගසේ පෝෂණ සහ ඖෂධීය ගුණය පිළිබඳව කෙරී ඇති වටිනා එහෙත් අප්රකට පර්යේෂණ කිහිපයකින් හෙළි වන තතු විත්ති සොයා බලමු.
ආසනික්‌, කැඩ්මියම් වැනි වස විෂ නසයි
අප වර්තමානයේදී ආහාරයට ගනු ලබන බොහොමයක්‌ම ආහාර පාන වර්ග පළිබෝධනාශක විෂ, ආසනික්‌, කැඩ්මියම්, ඊයම් වැනි බැර ලෝහ වලින් දූෂිතව තිබිය හැකි බව පැවසේ. ඇතැම් ස්‌වභාවික ආහාර වල තිබෙන ඇතැම් ශාක රසායනිකයන් වලට මෙවැනි වස විෂ ශරීරයට හානියක්‌ නොවන ලෙස බැහැර කරන්නට පිළිවන් බව සොයාගෙන තිබේ. (Metal ion chelating activity.)
දියවැඩියා රෝගය වළක්‌වයි
යම් ආහාරයක්‌ දියවැඩියා රෝගය උත්සන්න කරනවා ද, එම රෝගය වැළඳීමට හේතු වෙනවාද යන්න තීරණය කිරීමෙහිලා වැදගත් සාධකයක්‌ වන්නේ එම ආහාරයේ -ග්ලයිසීමික්‌ දර්ශකය, යි. (Glycaemic Index.) අප භාවිත කරන සීනි වල ඇත්තේ -සුක්රොස්‌, නැමති සීනි වර්ගය පමණි. සීනි සහ සුදු පාන් පිටිවල ග්ලයිසීමික්‌ අගයන් පිළිවෙලින් 70 සහ 65 – 70 අතර වෙයි. පලතුරු වල සුලභව හමුවෙන ෆ්රක්‌ටෝස්‌, නැමති සරල සීනි වර්ගයේ ග්ලයිසීමික්‌ අගය 12 ත් 25 අතර වෙයි.
ග්ලයිසීමික්‌ අගය වැඩි ආහාර අනුභව කිරීමේදී ඒවා ක්‌ෂණිකව ටජීර්ණය වී රුධිරයේ ග්ලුකෝස්‌ මට්‌ටම ඉක්‌මනින් ඉහළ යයි. එය දියවැඩියා රෝගයට මෙන්ම හෘදයාබාධ වලට සහ බර වැඩි වීමටද හේතු වන අවදානම් සහගත තත්ත්වයකි. කිතුල් පැණි සහ හකුරුවල ඇත්තේ ෆ්රක්‌ටෝස්‌, සුක්රෝස්‌ හා ග්ලුකෝස්‌ මිශ්රණයකි. මෙහි ග්ලයිසීමික්‌ දර්ශකය 35 ක්‌ පමණ වෙයි. මේ අනුව කිතුල් හකුරු සහ පැණි, අඩු ග්ලයිසීමික්‌ අගයක්‌ සහිත ආහාරයන් ලෙස සැලකෙන අතර, ඒවා ආහාරයට ගැනීම දියවැඩියා රෝගය වැළඳීමට හේතුවක්‌ නොවන බවත්, දියවැඩියා රෝගය පාලනය කරන්නන් මධ්යස්‌ථ වශයෙන් මේවා ආහාරයට ගැනීම වරදක්‌ නොවන බවත්, දියවැඩියා සංගමය විසින් ද ප්රකාශ කර තිබේ.
හදවත සුරකින දිව ඔසුවකි
ශ්රී ලංකාවේ කාර්මික තාක්‌ෂණ ආයතනය, (ITI) කොළඹ සරසවි රසායන විද්යා අංශය සහ සත්ත්ව විද්යා අංශය ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණයකින් හෙළි වී ඇති කරුණු කාරණා අප මවිත කරවන සුළුය. කිතුල් පැණි සහ හකුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ අහිතකර කොලෙස්‌ටරෝල් (LDL) මට්‌ටම සහ හානිකර කොලෙස්‌ටරෝල් වර්ගයක්‌ වන ට්රයිග්ලිසරයිඩ් මට්‌ටම (TG) සීග්රයෙන් අඩු වන බවත්, හිතකර කොලෙස්‌aටරෝල් මට්‌ටම (HDL) වැඩි වන බවත්, හෘද රෝග අවදානම පිළිබද දර්ශකයක්‌ වන Atheroscierosis index අඩු වෙන බවත්, මෙම පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.
පිළිකා නසන තෙලිජ්ජ ගුණය
කිතුල් මලෙන් ලබා ගන්නා සාරය වන තෙලිදිය, මේ ලොව අන් කිසිදු තාල වර්ගයේ ගසකින් ලබා ගන්නා සාරයක නොමැති, මනුෂ්යන්ගේ නිරෝගී සුවයට හේතු වන ශාක රසායනිකයන්ගෙන් (Phytochemicals) පොහොසත් බව හෙළි වී තිබේ.
අපගේ ශරීර තුළ, වයසට යාම වේගවත් කරන, අභ්යන්තඵෙන්ද්රයයන් විනාශ කිරීමට හේතු වන සහ පිළිකා හට ගැනීමට හේතු වන නිදහස්‌ මුක්‌ත ඛණ්‌ඩක (Free radicals) දිනපතාම නිපදවෙන අතර, ඒවා විනාශ කිරීම ප්රධාන වශයෙන්ම සිදු කෙරෙනුයේ අප විසින් ගනු ලබන ආහාර තුළ අන්තර්ගතව තිබෙන ප්රති ඔක්‌ෂිකාරක (Antioxidants) නමින් හඳුන්වනු ලබන රසායනික සංඝටක මගිනි. කිතුල් මලේ සාරය විශිෂ්ට ප්රතිඔක්‌ෂිකාරක ගුණ පෙන්වන බව සොයා ගෙන තිබේ.
පිළිකා නැසීම සඳහා ඉවහල් වන ශාක රසායනික පිළිබඳව කථා කිරීමේදී විද්යාඥයන්ගේ අවධානයට බෙහෙවින්ම ලක්‌ වුණු ශාක රසායනික වර්ග කිහිපයක්‌ වන -ඇස්‌කොබික්‌ ඇසිඩ්, (විටමින් සී) (Ascorbic Acid) ෆීනෝලික සංයෝග, (phenolic content) සහ -ෆaලෙවනොයිඩ, (Total flavonoid content) වලින් කිතුල් තෙලි දිය අතිශයින් පොහොසත් බවද සොයා ගෙන තිබේ.
සෞඛ්යයට අහිතකර, ව්යාජ පැණි, හකුරු වෙළෙඳපොළේ. කිතුල් නිෂ්පාදන පිළිබඳ පෙර කී මාහැඟි පෝෂණීය සහ ඖෂධීය ගුණයන් දැන හඳුනා ගත් උදවිය සංතාපයට සහ සංත්රාසයට පත් කරවන කතන්දර ද කිතුල් පැණි, හකුරු කර්මාන්තය තුළ හමු වෙයි.
ඇතැම් ගොවීන් කිතුල් තෙලිදිය සහ පැණි දැමීමට භාවිත කරන්නේ, භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් ය. කනගාටුදායකම තත්ත්වය වන්නේ අනතුරුදායක බව සඳහන් මිනී ඔළුව සහ ඇට කටු සංකේතය සහිත ඇසුරුම් වල ප්රසිද්ධියේම පැණි ගබඩා කරන්නට තරම් මොවුන් අසංවේදී වී තිබීමය.
ප්ලාස්‌ටික්‌ වලින් ඒවායේ අසුරා ඇති ආහාර වලට බිස්‌ෆSනෝල් ඒ, (BPA) ඩයොක්‌ෂීන්, තැලේට්‌ වැනි දරුණු විෂ වර්ග කාන්ඳු වෙන බව සොයා ගෙන ඇති බැවින්, ආහාර සම්බන්ධ කටයුතු වලදී භාවිත කරන්නට විද්යාඥයන් විසින් අනුමත කර ඇත්තේ, ප්ලාස්‌ටික්‌ වර්ග 3 ක්‌ පමණි. ආහාර සඳහා අනුමත බව අදාළ ප්ලාස්‌ටික්‌ භාජනයේ, පතුලේ සලකුණු කර තිබේ. (මෙය අපේ රට තුළද නීතිමය අවශ්යතාවයකි.)
බොහෝ විට පැණි හකුරු නිෂ්පාදනයේදී භාවිතයට ගැනෙනුයේ විෂභාවය වැඩිම ප්රතිචක්රීකරණය කළ, තත්ත්වයෙන් බාල ප්ලාස්‌ටික්‌ භාජන සහ නැවත නැවත භාවිත කිරීමෙන් තැලේට්‌ නැමති විෂ රසායනිකය ආහාරවලට කාන්ඳු වන බව සොයාගෙන තිබෙන, -පෙට්‌, බෝතල් (සිසිල් බීම සහ ඇසුරුම් කළ පානීය ජල බෝතල්) බව අප විසින් නිරීක්‌ෂණය කර ඇත.
මෑතක්‌ වන තුරු හකුරු ඇසුරුම් කිරීමට භාවිත කෙරුනේ වියළි කෙසෙල් කොළ, කලං කොළ වැනි සෞඛ්යට හිතකර ද්රව්යයන් වුවද, දැන් බොහෝ දෙනෙකු පත්තර කඩදාසි ඒ සඳහා භාවිත කරයි. මුද්රණ තීන්ත වර්ග වල ඊයම් (ලෙඩ්) වැනි විෂ රසායනික ද්රව්යයන් අන්තර්ගත වන අතර, මුද්රිත කඩදාසි මත ආහාර ඇසුරුම් කිරීම ආහාර ස්‌වස්‌ථතා නීති රෙගලාසි ප්රකාරව බරපතල වරදක්‌ද වෙයි.
කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදනයේදී ආහාර බාල කිරීම සඳහා විවිධ ද්රව්යයන් එක්‌ කිරීම ද සුළභව සිදු වෙයි. වානිජව පැණි හකුරු නිෂ්පාදනය කරන බොහෝ පරිශ්රවල සීනි මිටි ගණන් සහ කෘත්රිම වර්ණක බෝතල් තිබෙන ආකාරය නිරීක්‌ෂණය කෙරී ඇත.
ඇතැම් පැණි නිෂ්පාදකයන් පැණි ප්රමාණය වැඩි කර ගැනීමේ අටියෙන් ජලය නිසි පරිදි වාෂ්ප කිරීම සිදු නොකරන අතර, උකු ගතිය, ඇලෙන සහ ඇදෙන ස්‌වභාවය වැඩි කර ගැනීම සඳහා -කුඩුදවුල යුෂ, වැනි ද්රව්ය භාවිත කරයි. (විෂ වර්ගයක්‌ නොවේ.)
කිතුල් පිටි…
කිතුල් පිටි සකසා ගන්නෙ බිම හෙලූ කිතුල් ගසක කද මැද ඇති මෘදු කොටස ලබා ගෙන හොදින් අවුවේ වේලීමට දමා ඉන්පසුව වන්ගෙඩියේ දමා කෙටිය යුතුයි ඉන් අනතුරුව කොටාගත් කිතුල් පතුරු වලින් බින්දු මෙන් වෑහෙන දියරය සුදු රෙදි කැබැල්ලක් මගින් පෙරා ගෙන නිසොල්මන්ව තබා බඳුනේ අඩියට මිදුනු ජලය ඉවත්කර අඩියේ මිදුනු පිටි අවුවේ වේලාගනී ඉන් අනතුරුව දොදොල් වැනි ඉතා රසවත් ආහාරයක් සකසා ගත හැක…
කිතුල් පිටි දමා පොල්කිරි සමග රත් කර ඉන් අනතුරුව පදම ලද විගස හොදින් හැදීගා මෙම ආහාරය සකසයි…
කිතුල් පිටි වල ගුණ කිතුල් පිටි මගින් ශරීරය නිවයි රකත ඌෂ්ණය අධි රුධිර පීඩනය වැනි රෝග සදහා සුවය ගෙනදේ එමෙන්ම ක්ලාන්ත ගතිය වැනි රෝග සදහාද සුදුසු බව පැවසේ. ..
නමුත් පීනස සෙම් ගති තිබෙන රෝගි සදහා ආහාරයට සුදුසු නැත එයට හේතුව අධි ශීත ආහාරයකි…
කිතුල් පැණි වල ඖෂධීය ගුණ…
පිරිසිදු කිතුල් පැණිවල ඖෂධීය ගුණ අනාදිමත් කාලයක සිට හදුනාගෙන ඇත. දේශීය වෙදකමේදී කෂාය සදහා ප්රතිවාප ලෙස භාවිතා කෙරේ. එසේම කිතුල් ගසක පළමු මලේ පැණි හෙවත් අක්මල් පැණි , කැඩුම් බිදුම් වෙදකමේදී ප්රයෝජනයට ගැනේ. පිළිස්සුම් තුවාල මත කිතුල් පැණි අලේප කිරීමෙන් ඒවා සුව වේ. සෙංගමාල රෝගීන්ට ලබාදෙන කැද වර්ගවල අත්යවශ්ය අංගයකි කිතුල් පැණි. මෑතකදී සිදුකරන ලද පර්යේෂණ වලට අනුව දියවැඩියාවට ප්රතිවිරුද්ධව ක්රියාකරන සංඝටක අඩංගු නිසා අමිශ්ර කිතුල් පැණි දියවදියා රෝගීන්ට අගුණ නැත. එසේම රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරයි. කිතුල් පැණි වල ප්රතිඔක්සිකාරක ගුණ ඇත. එහි අධික මාත්රාවකින් ඇති “ඉනොසිටෝල්” සංඝටකය (74mg/100g) අක්මාව ඉදිමීම පාලනය කරන අතරේ මොලයේ සෛල වලට ආහාර සපයයි. මෙම සංඝටකය හිසකෙස් වර්ධනයට උපකාර වන අතර සමෙහි සෞඛයය රකදෙයි. කිතුල් පැණිවල සැලකිය යුතු මට්ටමකින් විටමින් A පවතී. (45mg/100g). කිතුල් පැණි වල අඩංගු ප්රධාන සංඝටකය සුක්රෝස් වන හෙයින් එය අඩංගු ආහාර ලබාගත් විට ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වැඩි නොවීම හිතකර තත්වයකි.
පැණි හා හකුරු සාදන විදිහ …
පැණි හෝ හකුරු සාදන විට අපි වැඩි වෙලා එකතුවෙන තෙලිජ්ජ ගහේ තියෙන්න අරින්නේ නෑ. ඒවගේම නිතර නිතර ගහට එල්ලන මුට්ටිත් මාරු කරනවා. එහෙම කරන්නේ තෙලිජ්ජ පැහෙන එක නතර කරන්න. යන්තම් හෝ ඇඹුල් උනොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ගේන තෙලිජ්ජ ගෙනා ගමන්ම පෙරලා උණු කරනවා. මේ පැණි, හකුරු හදන ගෙවල් වල එලියේ මඩුවක හෝ කොහේ හරි නිතරම දැල්වෙන ලිපක ලොකු තාච්චියක් (ඩොංගා තාච්චි) තියලා තියෙනවා. ගේන ගේන තෙලිජ්ජ මේ තාච්චියට එකතු කර කර ගින්දර දානවා. පැය 5-6 ක් හින්දනකොට පැණි පදමට එනවා. එතකොට ලිපෙන් බාලා ගත්තොත් කිතුල් පැණි. හකුරු හදන්න ඕනි නම් තවත් හින්දනවා. ඔය අපි කැවිලි පෙවිලි හදනකොට පත්පැණි වෙනකම් උණු කරන්නේ.. අන්න ඒ ආකාරයට. කොහොමත් හැඳිගාන කොට අතට දැනෙනවා පැණි එක ඝනවීගෙන එනවා. ආන් එතකොට ලිපෙන් බාලා පොල් කටු වත්කරගන්න ඕන. විනාඩි 10න් ලස්සන හකුරු පියන් ගලවන්න පුලුවන්. ගොඩක් අය ආසයි හකුරු බෝල කන්න. ඒවා හදන්නේ හකුරු වත්කරලා ඉවර උනාට පස්සේ පැණි උණුකරපු තාච්චිය හූරලා.
කිතුල් පැණි සහ හකුරු සඳහා බල පැවැත්වෙන ප්රමිති නියෝග මෙරට නොමැත. ශ්රී ලංකා ප්රමිති 772:1987 සහ 521:1981 මගින් පොදුවේ පැණි, හකුරු (පොල්, උක්‌, තල සහ කිතුල් ) සඳහා යම් ආවරණයක්‌ ලැබුනද, එය ආහාර පනතේ රෙගුලාසියකින් ආවරණය නොකෙරෙන බැවින් ප්රමිතිය බලාත්මක වීමක්‌ ප්රායෝගිකව සිදු නොවේ.
මෙවැනි තත්ත්වයන් හමුවේ කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදන ක්රියාවලිය තුළ ඒවායේ තත්ත්වය සහ ප්රමිතිය බරපතල ලෙස හානියට පත්ව ඇත. එබැවින්, තත්ත්වයෙන් උසස්‌ කිතුල් හකුරු සහ පැණි සොයා ගැනීම තරමක්‌ අසීරු කටයුත්තක්‌ බව කිව යුතුව තිබේ. කාර්මික තාක්‌ෂණ ආයතනය, (ITI) මගින් කිතුල් මල් මැදීම සඳහා නව තාක්‌ෂණයක්‌ පවා හඳුන්වා දී ඇති අතර, කිතුල් නිෂ්පාදන ප්රවර්ධනය කිරීම උදෙසා මෑතක සිට රාජ්ය අනුග්රහයද ලැබෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. එහෙත් තවමත් මෙම කර්මාන්තය පවතින්නේ ප්රාථමික අවධියක බව සංඛ්යා ලේඛන මගින් පැහැදිළි වේ. මෙරට කිතුල් කර්මාන්තය ඉතාම සීමිත ප්රමාණයකින් සිදු කෙරෙන බවත්, එය මෙරට තිබෙන සමස්‌ත පීදුණු කිතුල් ගස්‌ වලින් සියයට 16 ක්‌ පමණ වන බවත්, ග්රාමීය කර්මාන්ත සහ ස්‌වයං රැකියා ප්රවර්ධන අමාත්යංශයේ වාර්තාවලට අනුව පැහැදිළි වෙයි.
සුද්දාගේ නීතිය අපට කිතුල් ගස්‌ දෙස බලන්නට උගන්වා ඇත්තේ, ගංජා, අබින්, හෙරොයින් දෙස බලන්නාක්‌ සේ වන බැවින්. රට අරක්‌කු විකිණීම සහ බීම ගරුසරු කටයුත්තක්‌ ලෙසත් කිතුල් මැදීම අවඥාසහගත කටයුත්තක්‌ ලෙසත් සලකන්නට අපි බොහෝ දෙනෙකු හුරු පුරුදුව සිටිමු.
පූර්ණ තරගකාරී දුෂ්ට වානිජ බලවේග විසින් අපගේ උසස්‌ ආහාර වර්ග සහ ඒ සමග බැඳුණු විශිෂ්ට සදාචාරවත්, මානව හිතවාදී ආහාර සංස්‌කෘතිය නැමති -විසල් කිතුල, වනසා දමා ඇත. ඉදින් හෙට දිනයේදී කිතුල් කඳෙන් වැගිරෙන මැලියම් වලට ඩොලර් ගෙවන්නේ යෑයි කවර හෝ ජාවාරම්කාරයෙකු පැවසුවහොත්, තවමත් තැනින් තැන ඉතිරිව පවතින කිතුල් ගස්‌ ටිකත් එක රැයින් කපා නැව්ගත කිරීමට සැදී පැහැදී සිටින අසංවේදී මිනිසුන් බහුතරයක්‌ සිටින අපේ රටේ මෙවැනි ආහාර භෝග සහ නිෂ්පාදනයන්, කවර හෝ පරිශ්රමයක්‌ දරා වුව රැක ගත යුතු බව, නැවත නැවතත් අවධාරණය කරමු.
ඒ අන් කිසිවක්‌ නිසා නොව, වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපත් සමගම පරිනාමය වෙමින්, අපගේ ඇඟ ලේ මස්‌, ඇට නහර වලට වැද, අපව පෝෂණය කළ, අපව නිරෝගිමත් කළ අප අවට වැඩුණු ආහාර භෝග සහ ඔසු පැලෑටි තුට්‌ටු දෙකේ දේවල් ලෙස සලකා අකාරුණිකව, අසංවේදීව බැහැර කොට ඊයේ පෙරේදා විජාතිකයන් විසින් හඳුන්වා දුන්, අපගේ ඇඟ ලේ මස්‌, ඇට නහර නොහඳුනන දේවල් බදා වැළඳගෙන ගිළ දමන්නට මහත් ගිජු බවක්‌ දක්‌වන වර්තමාන අප පසු පස නහුතයක්‌ රෝග පීඩාදීන් හඹා එන කාලයක ජීවත් වන අපව, ඉන් ගළවා ගන්නට සිටින්නේද අද අප විසින් අවඥාවෙන් බැහැර කරන කොස්‌ ඇටය, මෑ ඇටය, වැල මදුල, තෙලි-ජ මුට්‌ටිය, ලබු ගෙඩිය, වැල් අලය වන්නට බොහෝ දුරට ඉඩ තිබෙන නිසාය.
මෙම පැණි, හකුරු, රා කර්මාන්තයේ යෙදෙන පිරිසෙහි ජීවන තත්වය, එහි දුක් ගැහැට කියාපාන ලස්සන ගීතයක් තියෙනවා සුනිල් එදිරිසිංහ මහත්මයගේ මම ඒ ගීතයෙන් මේ ලිපිය අවසන් කරනවා. බලන්න කවියාගේ ඒ භාව ප්රකාශනය ඔබට එලෙසින්ම දැනෙනවද කියලා.
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න නසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ…//
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ…//
…………..අන්තර්ජාලය ඇසුරෙනි……………….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!