මෙම ද සත්‍ය සිදුවීමක් මත හිඳ ලියමි.
පස්සරමැදිමහ විදුහලේ සේවය කරන අවධියේ වෙනත් පාසලක සේවය කළ හිතවත් ගුරු සහෝදරයෙකුගේ ජීවිතය මුළුමනින්ම කණපිට හැර වූ මේ සිදුවීම් දාමය මගේ ජීවිතයටද පසු කලෙක දැඩිසේ බල පෑ වේය.
දෙදරු පියෙකු වු ඔහු ඒ වනවිට ආර්ථික වශයෙන් අපට වඩා හුඟක් ඉදිරියෙන් සිටියේය. ලුණුගල,ස්වීන්ටන්,ඇකිරිය ,වැල්ගොල්ල ආගර තැන්න ප්‍රදේශවල බුහුලව මැණික් මතුවීම නිසා මුළු බදුල්ල,පස්සර,ලුණුගල බඩල්කුඹුර මොණරාගල,ප්‍රදේශ වල එතෙක් පැවැති සරල ආර්ථික රටාව,හුදෙකලා නිදහස් ගැමි සමාජ රටාව,ගැමිපරිසරය,ඉතා කෙටිකලකදී උඩුයටිකුරු වී ගියේය.රත්නපුර,ඇහැලියගොඩ,පැල්මඩුල්ල ඇතුලු බොහෝ පිටස්තර ප්‍රදේශ වලින් සිය දහස් ගනනින් මැණික් ගරන්නන්, මැණික් මිළදී,ගන්නන් වැල නොකැඩී පැමිණ ඒ ප්‍රදේශ ආක්‍රමණය කළහ. කිසි දිනක නොදුටු වාහන කිදිනක නොදුටු මිනිස්සුන්ගෙන් ගම් නියම් ගම් පිරී ඉතිරී ගියහ.
මැණික් පිළිබඳව කුඩා හෝ දැනුමක් නොතිබූ ගැමියන් ගැරූ ඉතා වටිනා මැණික් තුට්ටු දෙකට පිටස්තර ප්‍රදේශ වලින් පැමිණි කපට් වෙළෙන්දෝ සොරා ගත් හ.
මැණික් මතුවීම, හම්බවීම විකිණීම ආදිය ගැන දහසක් කටකතා දිනපතා සමාජය තුළ සංසරණය විය.
ඇකිරිය ප්‍රදේශයේ මේවනවිට ඉතා බහුලව මැණික් මතුවී තිබුණි.ඒ ප්‍රදේශයේ ජනප්‍රිය මැණික් වෙළෙන්දා වූවේ මුබාරක් මුදලාලිය. මිනිස්සු තමනට හමුවූ මැණික් අමුඩ ලේන්සුවේ ගැටගසාගෙන ඔහු එනතුරු බලා ඉන්නා බව එකල ප්‍රචලිත කතාවක් විය.
එක් ගැමියෙකු ඔහුට හමුවූ නිල් මැනික් ගල් 21 ක් ලේන්සුවක ඔතා ඔහුගේ ගෙදරටම ගෙනවිත් දී ඔහු අලුත්ම දහයේ කොල වලින් රුපියල් පන් දහසක් කඩදාසි කුට්ටමක කොල විහිදුවන සේ විහිදුවමින් සියයේ මිටිවලින් දුන් පසු
“බුදු අම්මෝ මට මෙච්චර සල්ලි මොටද කියා මුබාරක් මුදලාලිට දණගසා වැන්ද” බවට කතාවක් එකල කා අතරත් පැතිරී තිබුනි.
මාතෘකාවෙන් පිට පනින නිසා මැණික් කතා පසුවට තබා මේකතාවට එමු.
පිටස්තරින් පැමිණ පොහොසත් වූවන් අතර මේ ප්‍රදේශයේ තරුණ කොටස්ද මැණික් ව්‍යාපාරයට පිවිසෙන්නට විය. මා මේ කියන ගුරුහිතවතාද එසේ එමගින් යමක් උපයාගෙන පොහොසත් වූවෙකි.ඔහුට වාහන දෙක තුනක් අලුතින් ඉදිකළ අංගසම්පූර්ණ නිවසක් යහමින් අතමිට මුදලක් ද තිබුනි. සියල්ල දරුවන් දෙදෙනාගේ වාසනාවට ලැබුනු බව ඔහු දැඩිව විශ්වාස කළේය.
ඔහුගේ තුන්වන දරුවාද මේ වනවිට බිහිවෙන්නට ආසන්නව සිටියේය. ඔහුගේ හුරුපුරුදු ජීවන රටාවද මේවනවිට යම් යම් වෙනස් කම් වලට භාජනය වෙමින් තිබුනි.
රැකියාවද අත් හළ ඔහු පූර්ණ ව්‍යාපාරිකයෙක් විය. මේ නිස අප අතර වූ සබඳතාද කෙමෙන් දුරස්ත වුවද ඉඳහිට හෝ හමු වීමෙන් පෙර ඇසුර පවත්වාගෙන යා හැකි විය.
තෙවන දරුවා ඉපදී වසරකට පමණ පසු කිසියම් උත්සවයකදී හමුවී නිදහසේ අපට කතාකරන්නටඅපට අවස්ථාවක් උදාවිය.
මදුවිතකින්ද සප්පායම් වීමට ඉඩකඩ සැලසී තිබූ එහී අපට කතා කරන්නට බොහෝ දේ තිබුනි.
ඒ අතර අප හිතවතාගේ කතන්දරය අප අන්ද මන්ද කර දැමීය.
මේවනවිට ඔහු වාහන සියල්ල විකුණා දමා තිබුනි. ව්‍යාපාරික කටයුතුද අඩපනව ගොස් ය. පවුල් ජීවිතයේද ගැටළු රැසකි.ඔහු බොහෝ දිනවල ගෙදර යාමද අත් හිටුවා තිබුනි. අපටද මෙය අදහාගත නොහැකි සංසිද්ධියක් විය.
අවසන ඔහු කියූ දෙයින් අප හදවත් කම්පා වී ගියේය.
මේ සේරටම මුළ අර කාළකණ්ණියා. ඔහු දැඩි කෝපයෙන් කීවේය.
කව් ද?
අපි සියල්ලන්ගේම මුවින් එකවර පිටවිය.
තුන්වෙනි එකා.ඌ උපන්නත් හරි සේරම ඉවරයි. මට ඕක පේන කොටත් …….හිතෙනවා.මට ගෙදර යන්න වත් හිතෙන්නෙ නැත්තෙත් ඒකයි.
ඔහු අමුවෙන්ම ගුඩුස් ගා වීදුරු බාගයක් එක උගුරට ගිල දැම්මේය. අපිට අපේ වෙරි හිඳුනේය.
මේ සිදුවීම ඉතා තදින් මගේ හිතට කිඳා බැස්සේය. ඒවනවිට මා අවිවාහකයෙක්මි.
කවදා හෝ විවාහවී දරුවන් හැදුවොත් උන්ට කේන්දර නොහඳන බවට එදා තරයේම මම අදිටන් කර ගතිමි. කොහේවත් ඉන්න කේන්දර කාරයෙක් මොවුන්ගේ ජීවිත වනසා ඇත. පි දරුවෙකුට පිය සෙනෙහස පියෙකුට දරු සෙනෙහස අහිමි කර ඇත.වටිනා පවුල් ජීවිතයක් සුණුවිසුණු කොට ඇත. නොදරුවෙක් පියෙකුගේ බද්ධ වෛරක් කාරයෙක් කර ඇත.වටිනා ජීවිත පහක් මරා දමා ඇත.
ඉදිරියට ජීවිතයේ කිසිම දෙයක් නැකත් හෝ ශාස්තරවලට නොකරන්නට මම අදිටන් කර ගතිමි.
මම විවාහ වුනෙමි. ඒ පස්සර මැදිමහ විදුහලේම සේවය කළ ගුරුතුමියක්. 1979 දී.අදටවත් මම ඇගේ කේන්දරය දැක නැත. ලග්නයවත් නොදනිමි.අපේ විවාහයද ඉතා සුන්දරය. එවකට මගේ මාසික වැටුප රු:250/=කි(අධ්‍යාපනවේදී ඩිප්ලෝමා උපාධි ධරයෙක්ව)ඇගේ වැටුප රු:230/=කි. දිනක් ඇය මට අපේ විවාහය සිදුකරමු දැයි ඇසුවාය. මම හා කීවෙමි. කවද විතරද ? ඈ ඇසුවාය. හෙට මම කීවෙමි.
ඇගේ ඇස් උඩ ගියේය.ඊට තුන් දිනකට පසු හිතවත් ගුරුවරු වූ ශාක්ෂිකරුවන් දෙදෙනෙකු ත් ඇගේ මාමා ත් සමග බදුල්ල කච්චේරියටගොස් විවාහවී සල්ගාදු හෝටලයේ දිවාභෝජන සංග්‍රහය භුක්ති විඳ ආපසු ඇගේ නිවසට සපැණීයෙමු. එදින මා සතුව රුපියල් විසිතුනක මුදලක් මගේ සාක්කුවේ තිබූ බව පවසන්නේ ද ඉතා ආඩම්බරයෙනි.
මේ ටික කියන්නේ පම්පෝරියට කියා කිසිවිටකත් නොසිතන්න. කේන්දර ගැන කියන්නම ඕනි නිසයි මේටික ලියන්නේ.
මගේ දරුවො තුන් දෙනාට කේන්දර තබා උපන් වේලාවක් වත් ලියා තැබුවේ නැත.(උප්පැන්නෙ තියෙනවා)
දුව රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි උපාධිධාරිණියක්.පරිපාලන සේවා විභාගය සමත් පරිපාලන නිළධරිණියක් .දරු දෙදෙනෙකුගේ මවක්
ලොකුපුතා ( පේරාදෙණි විශ්වවිද්‍යාලය) දන්තවෛද්‍ය වරයෙක්,වෛද්‍ය බලකායේ මේජර් වරයෙක් .මේ වනවිට සුඩානයේ සාම සාධකසේවයේ. ඔහුත් වෛද්‍යවරියක් හා විවාහකයි.දරු දෙදෙනෙකු ගේ පියෙක්.
චූටිපුතා පේරදෙනි විශ්ව විද්‍යාලයේ පරිඝණක මෘදුකාංග ඉජිනේරුවරයෙක්.අවුරුදු 10ක් මේ රටේ සේවය කොට මේ වනවිට සිංගප්පූරුවේ පදිංචියට ගොස් ඇත.ඔහුත් විවාහකයි එක් දරු පියෙක්.
මොවුන් තිදෙනාටම කේන්දර නොතිබීම ඔවුන්ගේ විවාහයට ඉගෙණීමට හෝ ඉදිරි ගමනට බාධාවක් නොවීය. ඔවුන් ඉගෙණීමෙන් පසු රැකියාවක් නොමැතිව එක් දිනක් හෝ ගෙදර සිටියේද නැත.කිසිදු දෙවියෙක් හෝ දේශපාලුවෙක් පසුපස මා ගියේද නැත.
මම අලුතින් ඉඩමක් ගෙන අලුතින් නිවසක් ඉඳි කළෙමි.කිසිවක් නැකතකට ඉටු නොකළෙමි.අවුරුදු22 ක් එහි පදිංචිව සිටිමි.
විශ්‍රාම ගියපසු නගරයේ ව්‍යාපාරයක් ආරම්භ කළෙමි.වසර අටක් කිසිඳු ගැටලුවකින් තොරව එය සාර්ථකව පවත්වාගෙන යමි.එහි කිසිඳු කටයුත්තක් සඳහා නැකත් යොදා නොගතිමි.
මෙය මාගේ පෞද්ගලික මතයක් හා ක්‍රියා පිළිවෙතක් පමණී.එයින් කුමණ ආකාරයකින් වත් ජ්‍යෝතිෂයට හෝ එය පිළිපදින අයට ගැරහීමක් දෝෂාරෝපනය කිරීමක්, බලපෑමක් නොකළෙමි.ඒ පිළිබඳ විවාද කිරීමටද මට අවශ්‍යතාවයක් හෝ පුළුල් දැනුමක් නැත.
උපුටා ගැනීම: Siripala Kahawatta