ඒ මීට අවුරුදු දහයකට පමණ පෙර දිනයක් . ඒ දවස්වල අපිට අපේ කියලා තිබ්බේ අපිම විතරයි . වෙන ඉතින් අදින ඇදුම් ටිකයි උයා පිහා ගෙන කන බඩු ටිකයි . පොඩි ෆෝන් දෙකකුත් තිබ්බා . ඒකෙනුත් එකක් ටිකක් කැඩිලා .
මම ඔය අපේ ඒ කාලේ තත්වෙ ලිව්වේ හේතුවක් ඇතිව . ඔය වගේ තත්වයක පොඩි දරුවෙකුත් ඉද්දි දෙන්නම ලොකු පීඩනයක නෙ ඉන්නේ .හරි හමන් අදායමක් නැතුවම තත්වය තවත් දරුණු යි . අර කතාවටත් කියන්නේ නැති බැරිකම ඉස්සරහ දොරින් තට්ටු කරද්දී ආදරේ පස්සෙ දොරින් පැනල දුවනවා කියලා . අන්තිම අමාරු කාලයක් . මාත් බයේ හිටියේ .මම ගේ අස්සටම වෙලා ඉද්දී ආදරේ පැනල දුවයි කියලා . කොච්චර පණ දීගෙන හිටියත් හිතක් වෙනස් වෙන්න මහ කාලයක් ඕන නෑනේ.
ඉතින් ඔය කාලේ මගේ හස්බන්ඩ් කලාපේ අවට තිබුණු කැබ් සර්විස් එකක රියදුරු රැකියාවක් කලේ . නිදැල්ලේ පියාඹන කිරිල්ලියොත් ඕන තරම් ඉන්න පැත්තක් .ඒක එහා පැත්තේ සැලූන් එකක් තිබ්බා . ඉස්සරහ ලී බඩු සාප්පුවක් තිබ්බා . ඔය ලී බඩු සාප්පුවේ හිමිකරු වගේම සැලූන් එකේ මල්ලිලා වත් මම අදුරනවා .
ඔන්න දවසක් හස්බන්ඩ් වැඩට ගිහින් ඇවිත් සැපට නිදි .දවසම ගෙදර ඉන්න මට නින්ද මහ ලොකුවට කරදර කරන්නේ නෑ . ඉතින් නිකං ඉන්න ගමන් නිකමට වගේ එයිගේ ෆෝන් එක බැලුවා .
බැලුවා තමා . ඒකෙ තිබ්බ දෙයක් දැකලා මගේ කට වේලිලා උගුරේ මොනවා හරි හිරවෙනවා වගේ දැනුනා . පපුව උඩින් මහ මෙරු පර්වතය තිබ්බා වගේ මාරම බරයි. ඒ අස්සේ ඔලුව ඇතුලෙන් අකුණු ගහනවා වගේ . හස්බන්ඩ්ට කතා කලාට වචන එළියට එන්නෙත් නෑ . අමාරුවෙන් නැගිටලා වතුර ටිකක් එහෙම බීලා ටිකක් ෂේප් වුනාම හස්බන්ඩ් ට කතා කලා . මොන , ඇග උඩ බෝම්බයක් පිපිරුවත් නැගිටින්නේ නෑ . ටිකක් හෙලෙව්වා . ම්හ් නැගිට්ටෙ නෑ . බොහෝම අමාරුවෙන් එළිවෙනකම් හිටියා . නින්ද ගියෙත් නෑ .
අම්මෝ ඇති යන්තම් පහුවදා නැගිට්ටා . දැන් මමත් ටිකක් කූල් වෙලා තීරණයක් අරන් හිටියේ . හිතට නෙවේ බුද්ධියට ඉඩ දෙනවා කියලා .
” සම්පත් අහවලා කවුද ?”
“මම දන්නේ නෑ .”
“ඔයා මැසේජ් කරල තියෙනවා එයාට .”
” මම මැසේජ් කලේ නෑ .”
“එහෙනම් මේ මොනවද ?”
ෆෝන් එකේ තියන මැසේජ් ටික මම පෙන්නුවා .
“මම දන්නේ කොහොමද . ඕවා මම යැව්වේ නෑ .”
හරිනේ සේරම ඉවරයි . ඔය දුන්නෙ ලේසිම උත්තරේ .අම්මපා මම මූගේ ගෑණි කියලාවත් මූ දන්නවද දන්නේ නෑ . හිතුවට මම කිව්වේ නෑ .
“ඔයා දන්නේ නැත්නම් මමම හොයා ගන්නම්කො.”
” ඉතින් හොයාගන්න . මට මොකද ?”
“හා හොයා ගන්නම්”
එදා අපි ලොකුවට රණ්ඩුවක් නොකලට හිත්නම් අවුල් . හිතන්නකෝ හස්බන්ඩ්ගේ ෆෝන් එකේ වෙන ගෑනියෙක්ට යවපු ආදරණීය කෙටි පණිවුඩ දැක්කම ගෑණියෙක්ගේ හිත. මරාගෙන මැරෙන්න හිතෙනවා නේ. ඒත් ඉතිං මට හිතට වහල් වෙන්න බෑ . පුතා හරිම චූටියි . එයාට අම්මයි තාත්තා යි දෙන්නම ඕන . කරන්නම්කෝ හොද වැඩක් කියල හිතාගෙන ඒ ප්රශ්නය එතනින් ඉවර කරලා හස්බන්ඩ්ට අවුලක් නොදැනෙන්න වැඩට ඇරියා .
ඔන්න දැන් මම මෙහෙයුම පටන් ගත්තා . ගත්තා කෝල් එකක් අර කෙල්ලට .
“හෙලෝ. මේකෙන් මිස් කෝල් එකක් තිබ්බා .”
“නෑනෙ මම ගත්තේ නෑ .”
” නෑ නංගි ඔයා මගේ අනිත් නම්බර් එකට අරන් තිබ්බෙ .ඔයා කවුද .”
“මම (නම) . “
” ආ..හරි හරි. මම හිතන්නේ ඔයාව මම දන්නවා . ඔයා මොනාද කරන්නේ . ඉන්නේ කොහෙද කියන්නකෝ .මම කවුද කියලා ඔයාට කියන්න .”
“මගෙන් අහන්න කලින් ඔයා කවුද කියන්නකො.”
“මම මේනකා .”
“මතක නෑ ඔයාව .මම අහවල් තැන වැඩ කරන්නේ . අහවල් දිහා ගෙවල් .”
“අනේ නංගි . පුතා නැගිට්ටලා .මම පස්සේ ඔයාට ගන්නම් “
කියලා .මම ෆෝන් එක තියලා ඒ වෙලාවෙම ඒ කෙල්ල වැඩ කරපු තැනට ගියා .ඒ අර හස්බන්ඩ් වැඩ කරන කැබ් සර්විස් එක ඉස්සරහ ලී බඩු සාප්පුව . යන කොට ඉස්සරහම හිටියා ඒකෙ අයිති කාරයා .
” මොකද නංගි මේ පැත්තේ . මොනවා හරි ගන්නද ? “
“අනේ නෑ (නම) නංගි ව හම්බ වෙන්න”
“එයා අද නිවාඩු . හෙට එනවා “
” හා අයියෙ මම හෙට එන්නම් .”
“ඇයි නංගි ප්රශ්නයක්ද “
” නෑ . පොඩි පණිවිඩය කට . එයා ෆෝන් එක ආන්ස්වර් කළේ නෑ . ඒකයි . වෙන නම්බර් එකක් නැද්ද ? “
“ගෙදර එකනම් ඇති .”
“අනේ අයියේ දෙන්නකො.”
ඒකත් ඉල්ලගෙන මම ගෙදර ආවා . එදා දවසත් වෙනසක් නොපෙන්වා අමාරුවෙන් ගෙවා දැම්මා . පහුවදාත් හස්බන්ඩ් වැඩට යනකම් ඉදලා මෙහෙයුමට බැස්සා . ගියා අදාල තැනට හොද වෙලාවට අයිතිකාරයා නෑ .
” නංගි. මම මේනකා සම්පත් ගෙ වයිෆ් . එයාගේ ෆෝන් එකෙන් ඔයාට මැසේජ් කරල තිබ්බා . ඔයත් රිප්ලයි කරල තිබ්බා .”
” ඉතින් ඒක ඔයාට ප්රශ්න යක් නෙවේනෙ.”
” මට නම් අවුලක් නෑ . මට එක හිතක් නැති මිනිහෙක් ඕනත් නෑ . හැබැයි මේ දරුවාට තාත්තා ඕන . ඔයා ඕන නාඩගමක් නටාගන්න මේ ළමයගෙ තාත්තා තියලා.”
“මම දන්නේ නැහැ ඔයා කියන ඒවා . එයාගේ නමවත් මම දන්නේ නැහැ. මට ආදරේ නම් මාත් කැමතියි . එච්චරයි.”
” බලමුකෝ නංගි . මම දන්නවා මගේ වැඩේ කරගන්න . මම යනවා .”
එදා එතනින් ප්රශ්නයක් ඇති කරගන්නේ නැතිව ආවා . ගෙදරත් ප්රශ්නයක් ඇති කරගත්තේ නැහැ . පහුවදා කෙල්ල වැඩට යනකන් ඉදල ගත්තා කෝල් එකක් කෙල්ලගේ ගෙදරට . කිව්වා විස්තරය. ඒ අම්මත් මාව තේරුම් අරගත්තා .මම නොදන්න දේවලුත් ඒ අම්මා කිව්වා . ඒ කෙල්ල ටිකක් එක විදීහක්ලූ . ඔයිට කලිනුත් ඔය වගේ වැඩ කරල තියනවලු . ඒ අම්මලා කෙල්ලව එතනින් අයින් කරලා ගෙදර තියා ගත්තා . ප්රශ්නය ඉවරයි . ටික දවසක් ගිහින් මම කරපු දේ සම්පත්ට කිව්වා . අහගෙන ඉදලා කියපු එකම දේ මම ඕවා යැව්වේ නෑ කියලා විතරයි .
ඔහොම මාසයක් දෙකක් ගියා . දවසක් මම නෑනත් එක්ක ගමනක් යන්න බස් එකකට නැග්ගා . එක පාරටම කවුරු හරි මට තට්ටුවක් දැම්මා .
” කොහෙද යන්නේ .”
” මේ නෑනාගේ වැඩකට යනවා .”
“මට අක්කට කියන්න දෙයක් තියනවා . මාත් එක්ක තරහ වෙන්න නම් එපා .”
” හරි ඉතින් කියන්නකෝ.”
“අර ලීබඩු සාප්පුවේ වැඩ කරපු කෙල්ලට සම්පත්ගේ ෆෝන් එකෙන් මැසේජ් කලේ මං .”
අම්මපා ඌව මරලා බ්ලෙන්ඩර් කරල සොසේජස් හදලා බල්ලන්ට කවන්න තරම් මට කේන්තියි. එක අතකින් මම පව් . අනිත් පැත්තෙන් මටත් වඩා මගේ මිනිහ පව් . දැන් ඉතින් මොනවා කරන්නද
” ඒක දැන් වෙලා ඉවරයි නෙ.අවුලක් නෑ .ආයෙ ඔය ගොන් වැඩ කරන්න එපා”
මම අමාරුවෙන් ඉවසගෙන කිව්වා .
” ඔයාලා රණ්ඩු වුනාද ?”
බස් එක නොවුනනම් දත් ටික බඩට යවනවා.ගිනිතියල දැන් එනවා මෙතන මරණ පරීක්ෂණ තියන්න . එදා අපි දෙන්නම ඉවසුවේ නැත්නම් මොලෙන් වැඩ නොකල නම් මොනවා වෙයිද ? තිබ්බ ප්රශ්නත් එක්ක අපි දෙන්නා මරා ගන්නවානේ එහෙනම්.
” දැන් ඕවා කතා කරලා වැඩක් නෑ .”
කියලා මම නෑනත් එක්ක වෙන කතාවක් පටන් ගත්තා .
උපුටා ගැනීම: Menaka Jayasekara