අහලා තිබුනට දැකලා තිබුනේ නෑ නේද…
මාරවිල නැබඩවල පාරේ පැරණි සණස ගොඩනැගිල්ල යාබද නිවසේ මේ දැකුම්කළු කිඩාරම් මල දැකගැනීමට හැකිවිය.
මේ එම මලේ තුන්වන දවස….
‘කිඩාරම් මල’, එහෙමත් නැත්නම් Elephant foot yam flower, Stink Lily යන නම් වලින් හැඳින්වෙන මෙම මල දැක ඇති ඕනෑම කෙනෙකුට මෙය ස්වභාවධර්මයේ එක් අපූරු නිමැවුමක් ලෙස හැඟෙනු නොඅනුමානයි.
ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන මෙම මල 45cm – 50cm පමණ විෂ්කම්භයකින් යුතු විශාල තද දම් පැහැයට හුරු අලංකාර පැහැයකින් යුක්ත ය.
මෙහි ගන්ධය අත්විඳ ඇති අයෙකුට නම් මෙය පුෂ්පයක් ද යන සැකය මතුවේ. මක් නිසා ද යත් කිඩාරම් මල කුණු වූ මස්වලින් හමන ගන්ධයට සමාන ගන්ධයකින් යුක්ත ය. මෙම මලෙහි කේතුවක් වැනි කොටසට යටින් ඇති පුෂ්ප මංජරිය පෙති දිගහැරී විවෘත වූ පසුව තමයි මෙම ගන්ධය හමායන්නේ. මෙය තමයි මෙම මලෙහි තිබෙන පරාගණ උපක්රමය. මෙහි ගන්ධයට ඇදී එන කෘමීන් මගින් පරාගණය සිදුවේනවා
පළමු දිනයේ තරමක් පෙති දිගහැරීමෙන් පසු එය වෙත ඇදී එන කෘමීන් පුෂ්පයේ හැඩය සහ පුෂ්පයේ බිත්තිවල ස්වභාවය හේතුවෙන්, මෙම පුනීලාකාර මල තුළට ඇද වැටෙනවා. මෙම මලෙහි ඇතුළත බිත්ති වල ඇති සිනිඳු බව නිසා කෘමීන්ට මලෙන් පිටතට ඒමට නොහැකි වේනවා. ඉන්පසු සවස් වන විට මලෙහි පෙති හැකිලෙන අතර මල තුළට ඇද වැටුණු කෘමීන් මුළු රැය ම ගත කරන්නේ මෙම මල තුළ. දෙවන දිනයේ ද මලෙහි ස්වභාවය නොවෙනස්ව පවතිමින් කෘමීන් එහි රඳවා තබාගන්නවා. දෙවන දිනයේ රාත්රියේ දී පුෂ්පමංජරිවලින් පරාග, මලෙහි මැද සිටින කෘමීන් මතට හෙළනවා.
පුදුමාකාර දෙය නම් පසුදින උදෑසන නැවත දිගහැරෙන මෙම මලෙහි ඇතුළත බිත්ති කෘමීන්ට පිටතට පැමිණීමට හැකිවන පරිදි රළු වේ. ඒ සමඟ ම මලෙන් අධික ගන්ධයක් හමා යයි. පරාග ඇඟෙහි තවරාගත් කෘමීන් මලෙන් පිටතට පැමිණ වෙනත් මලක් වෙත යෑමෙන් හා මලෙන් හමා යන ගන්ධය හේතුවෙන් වෙනත් මලක සිට පරාග රැගත් කෘමීන් මල වෙත ඇදී ඒමෙන් පරාගණය සිදු වෙනවා.
පුෂ්පය දුර්ගන්ධයකින් යුක්ත වුව ද කිඩාරම් යනු ඖෂධීය ශාකයකි. අර්ශස්, භගන්දර රෝග, මලබද්ධය, අක්මා රෝග, පණු රෝග, ආහාර අරුචිය, ඉරුවාරදය, ආර්තව දෝෂ හා ප්ලීහා රෝග වැනි රෝග රැසකට ප්රතිකාර ලෙස කිඩාරම් අල දේශීය වෛද්ය විද්යාවේ දී යොදා ගන්නවා.
මෙම ශාකයට Elephant foot yam නම ලැබී ඇත්තේ එහි අලය තරමක් විශාල සහ අලියෙකුගෙ පාදයට සමාන හැඩයකින් යුක්ත වන නිසා ය.
සොබාදහම විසින් අපට දායාද කළ මෙවැනි නිමැවුම් තවත් කොතරම් ඇත්ද

උපුටා ගැනීම: රාම් වණා