මේකත් එකෝමත් එක කාලෙක වෙච්ච කතාවක්. ඔන්න ඒ කතාවේ කතා නායිකාව සුරූපී කුමාරියක්.
ඒ සුරූපී කුමාරිය තමයි මේ එකෝමත් එක රටේ රජතුමාගේ එකම දියණිය. රජතුමා පණටත් වඩා ආදරේ කරා එයාගෙ දුවට. මේ වෙද්දි ඒ කුමරිය A Level එහෙමත් කරලා හිටියේ. රජතුමා එයාගේ දුවව කොච්චර පරිස්සම්කලාද කිවුවොත් ඉස්කෝලෙට යැවුවෙත් විශේෂ පුහුණුවක් දුන්නු සෙබලුන් සිය ගානක් ඉන්න “බැලුවොත් සොරි” කියල නම් දාපු සුපිරි ස්කොඩ් එකක් එක්ක.ආයේ ඉතින් කෙල්ල ඉටි රූපේ වගේ උණාට මොකද කොල්ලෙක් තියා සර් කෙනෙක්වත් මේ කුමරිය දිහා හොරෙන්වත් බැලුවේ නෑ.බැලුවොත් සොරි වෙන නිසා.
මේ කුමරියගේ ලස්සන නිසාම රජතුමාට සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධවුණා. ෂොපින් කරන්නවත් මේ කුමරියව එළියට යවන්න රජතුමා අවසර දුන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ කුමරිය පාරේ යනව දකින කවුරු වුණත් පිස්සුවෙන් වගේ එයා දිහා බලනව. රට්ටු කියන විදියට බලනව නෙවෙයි බැලෙනවා. අන්න ඒ නිසා රටේ මාර්ග අනතුරු බලන් ඉද්දි වැඩි වෙන්න ගත්තා. මොකද වාහන එලවන් යන ගොඩක් අය මේ කුමරිය දිහා බලන් ගිහිල්ල ඉස්සරහ තියෙන වාහනවල හප්පගන්න වුණා. තව පාරෙ ඇවිදන් යන මිනිස්සු කුමරිය දිහා බලන් ගිහින් කණුවල හැපෙන්න, කාණුවේල වැටෙන්න පටන්ගත්තා. ඔන්න ඔය වගේ හේතු නිසා රජතුමාට සිද්ධවුණා එළියට යවන්නේ නැතිව කුමරියව මාළිගාවෙම තියාගන්න.
රජතුමා හිතුවා මේ ප්‍රශ්ණවලට තියෙන එකම විසඳුම තමයි පුලුවන්තරම් ඉක්මනට කුමරියව කාට හරි බන්ඳලා දෙන එක කියලා. ඒත් ඉතින් එකම දුව නිසාත් රාජධානියත් අයිති වෙන්නේ එයා බඳින කුමාරයට නිසාත් ඒක කලබලේට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලත් රජතුමාට කල්පනා වුණා.කොහෙවත් යන හාල්පාරුවෙක් එක්ක කුමරිය සෙට් වුනොත් ඔක්කොම හබක් කියන දේ කොයිවෙලෙත් රජතුමාගේ ඔලුවට වද දෙන දෙයක් වුණා.
ඒක නිසා රජතුමා කල්පනා කලා රටේ විතරක් නෙවෙයි අහල රටවල් ටිකේ ඉන්න සුපිරිම වැඩ්ඩා හොයලා කුමාරියව සරණපාවා දෙන්න ඕනේ කියලා. එහෙම හිතලා අහල රටවල් තුන හතරක් කවර් වෙන්න අඬ බෙරයක් යැවුවා මෙන්න මෙහෙම.
” කරුණාවෙන් සවන් දෙන්න, මෙන්න ඔබටත් රජ කෑමක් කෑමේ අවස්ථාවක්,මෙන්න ඔබටත් රජ කෑමක් කෑමේ අවස්ථාවක්….
මාළිගාවට වෙලා කකා බිබී බකන්නිලන් ඉන්න අප රාජධාණියේ කිරුල හිමි පට්ට සුරූපී කුමරියට විවාහා කරදීම සඳහා ලොවෙත් හොයාගන්න බැරි සුපිරි බුලට් එකක් රජතුමා සොයයි. ඒ සඳහා තෝරාගැනීමේ පරීක්ශණය ලබන සඳු දින එනම් 1352, දුරුතු මස 01 වන සඳු දින උදේ නවයේ සිට මාළිගාව ඉදිරිපිට තුරඟ තරඟ පිටියේදී පැවැත්වේ. ට්‍රයි කරන්න කැමැති ඔබ සැමට ආරාධනා.තැන්ක් යූ”
ඔන්න ඉතින් මේක අහපු ඒ රටේ වගේම අහල රටවල් දෙකතුනේම කොල්ලෝ ටික කූඹි ගුලක් වගේ ඇවිස්සෙන්න පටන්ගත්තා. කාගෙත් ටාර්ගෙට් එක වුණේ දන්න සෙල්ලම් ඔක්කොම දාල කොහොමහරි කුමරියව සෙට් කරගන්න.කොල්ලෝ තරඟෙට ජිම් ගියා, සැලූන් වලට ගිහින් ෆේශල් දාන්න පටන්ගත්තා, සමහරු ටික් ටොක් වීඩියෝස් පවා දැම්ම ” කුමරියේ, අයි විල්ල් මැරෙමී ” කියලා. පිස්සු විකාර ගොඩයි. ඔන්න ඉතින් පරීක්ශණය තියෙන දවසත් ලඟටම ආවා.
එදා උදේ 10 වගේ වෙද්දි රජමාළිගාවේ ආරක්ශාවට හදලා තියෙන ” කිඹුලා ඇල” ගාව කොල්ලෝ ලක්ෂ ගාණක් පෙළගැහෙන්න වුණා.
කොල්ලො ටික දැන් කට ඇරන් බලන් ඉන්නවා රජතුමා කියන ඕන මගුලක් කරනවා කියලා හිතාගෙන.
ඔන්න රජතුමා එයාගෙ කෝච්ලා සෙට් එකත් එක්ක රාජ මාලිගාවේ සඳලුතලයට ගිහින් ආපු කොල්ලෝ සෙට් එකට වැඩේ ගැන පොඩි ඉන්ට්‍රඩක්ශන් එකක් දෙන්න කියලා සැරසුණා.
“හොඳායි, දැන් මෙතනට තමුන්ලා ඇවිත් තියෙන්නේ මක්කටයි කියලා මන් අමුතුවෙන් කියන්න උවමනා නෑ” රජතුමා කතාව පටන්ගත්තා.
මන් කැමති නෑ ලොකු ලොකු සීන් දාලා බොලාලව කඩේ යවන්න. මන් කෙලින්ම එන්නම් කරන්න තියෙන වැඩේට.
කොල්ලො ටික පොර කකා වැඩේ මොකක්ද කියල කියනකම් බලන් හිටියා.
කරන්න තියෙන්නේ පොඩි වැඩක්, බොලාලාට පේනවා නේද ඔය බොලාලා ඉස්සරහා තියෙන ඇළ. මන් විසිල් එකක් ගැහුවම අන්න ඒ ඇළට පැනලා ඉක්මනටම ගොඩට පීනන් එන එකාට මන් මගේ දූ කුමරියව සරණපාවා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ රජ කමත් දෙනවා එකෙන්ම.
ඒක කිවුවා විතරයි කොල්ලෝ සෙට් එක රෙදි ගලවලා ඇළට පනින්න හැදුවා. පනින්න හදලා ඇළ දිහා බැලුවම තමයි දැක්කේ ඒ ඇළේ වතුරට වඩා ඉන්නේ කිඹුලෝ කියලා. එකා එකා ශේප් එකෙ පස්සට අඩිය තියන්න පටන් ගත්තා.
අම්මට සිරි කෙල්ලෙක් නිසා මොකටද බන් කිඹුලන්ට බිලිවෙන්නේ, ඔය කෙල්ලගේ වපරයක් තියෙනවා මට ඕන්නා ඕකිව, අඩෝ මට අද ඉන්ටර්වීවු එකකුත් තියෙනවා… වගේ එක එක බයිලා කියලා සෙට් එක ලිස්සල යන්න ගත්තා.
ඔන්න ඉතින් රජතුමා ඕල් ද බෙස්ට් කියලා විසිල් එක ගැහුවා. රජතුමා හිතුවේ කොල්ලෝ ඔක්කොම වගේ ඇළට පැනලා එයාගේ සුරුපී දූ කුමරිය වෙණුවෙන් කිඹුලොත් එක්ක සටන් කරයි කියලා.
මොන පිස්සුද එකෙක් ඇළට පැන්නේ නෑ. ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු කුමරියත් “ඕ නෝ ” කියලා අඬාගෙන ඇතුලට ගියා. රජතුමාටත් දුකයි,ඊට වඩා පට්ට මල.
“යකෝ මෙච්චර කොල්ලෝ ගොඩේ එකෙක් නැද්ද මගේ දූ කුමරියට බොක්කෙන් ලව් කරන, නෙදකින් වන් ටූ ත්‍රී”
රජතුමා කෑගහන්න පටන්ගත්තා.
කාලය ගතවුණා. දැන් 12ත් පැනලා. කොල්ලෝ ටික ඇළ එහා පැත්තට වෙලා වෙවුල වෙවුල බලන් ඉන්නවා. කිඹුලො ටික පනින එව්න්ව කන්න කට ඇරන් බලන් ඉන්නවා.
“අයියෝ ශාන්ත, මේක හරියන වෙඩින් එකක් නෙවෙයි රජතුමනි,අපි වැඩේ අතෑරලා දාමු”
රජතුමාගේ කෝච්ලා සෙට් එකේ එකෙක් කියන්න ගත්තා.
“හරි එහෙනම් අපි වැඩේ නවත්තලා දාමු” කියලා රජතුමා අනිත් පැත්තට හැරුනා විතරයි ජබොස් ගාලා එකෙක් වතුරට පනින සද්දෙයක් ඇහුණා.
“කවුද ඩෝ ඒ ” ආපු සතුටට රජතුමාට නිකම්ම කියවුනා. කෝච්ලා සෙට් එකත් නැගිටලා බැලුවා ඇළ දිහා.
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා,මෙන්න බොලේ එකෙක් ඇළට පැනලා වෙඩිල්ල වගේ ගොඩට පීනගෙන එනවා.
ඒකා කොච්චර ස්පීඩ් එකෙන් පීනනවාද කිවුවොත් කිඹුලෝ කට අරිද්දී ඌ ගිහිල්ලා ඉවරයි. සන් බන් ගාද්දි කොල්ලා පීනගෙන ගොඩට ආවා.
ඒක දැකපු රජතුමා කික් එක වැඩි කමට තව පොඩ්ඩෙන් සඳලුතලෙන් පනිනවා. වෙලාවට කෝච් කෙනෙක් කිව්වේ “පඩිපෙලින් බහිමු බොස්” කියලා.
මාළිගාවෙන් එළියට ආපු රජතුමා ගොඩට ආපු කොල්ලා ගාවට ගියේ කබි කුශි කබි ගම් එකේ ශාරුක් හෙලිකොප්ටර් එකෙන් බැහැලා ගෙදරට දුවගෙන එනවා වගේ. ඒ තරන් සතුටින්.
කොල්ලා ලඟට දුවගෙන ගිහින් නතරවුන රජතුමා හති අරින ගමන් පීනලා හති අරින කොල්ලා දිහා බලන්
” යකෝ තෝ මාර යකෙක්නේ, මගේ දුවට තියෙන ආදරේ නිසා කිඹුලෝ දාස්ගාණක් ඉන්න ඇලට පැනලා ගොඩට පීනන් ආවා නේද උඹ මයෙ පුතේ ” කියලා අඩන්න පටන්ගත්තා.
කොල්ලා තාම හති අරිනවා.
“මේ වීරකමට මන් මේ දැන්ම උඹට මගේ දූ කුමරියව සරණපාවා දීලා රාජධානියේ රජකමත් දෙනවා අම්මපා” කියලා කොල්ලාව බදා ගත්තා.
රජතුමාව තල්ලු කරපු කොල්ලා ” මට ඕන දූ කුමරියක්වත්, රාජධානියක්වත් නෑ රෙද්ද ” තරහින් කිව්වා.
ඒ කතාව අහලා රජතුමාටයි, කෝච්ලා සෙට් එකටයි තරු විසිවුණා.
“යකෝ,මෙච්චර රිස්ක් එකක් අරන් කිඹුලෝ මැද්දෙන් ගොඩට පීනලා,දැන් කියනවා මුකුත් එපාලු, මූ ගංජා ගහලද?”
කෝච්ලා හිතුවේ එහෙමයි.
” හරි මයෙ කිරි පුතේ, බොට දූ කුමරියවත්, රාජධානිවත් එපා නම් මොන මගුලක්ද ඕනේ කියපන් මට පිස්සු වට්ටන්නැතුව. මන් ඒ දේ බොට දෙන්නම්.”
බැරිම තැන රජතුමා කිව්වා.
අන්න ඒ සැරේ තරහින් පුපුර පුපුර හිටපු කොල්ලා කෑ ගහලා මෙහෙම කිව්වා
” මට ඔය මොන රෙද්දක්වත් එපා, මට පුලුවන්නම් මාව තල්ලු කරපු බල්ලාව හොයලා දීපියව් “
ඒක අහපු රජතුමා දබොක් ගාලා එතනම වැටුනා.
( පාඩම: ඔබ තුල ඇති සැබෑ හැකියාවන් පිටතට ගැනීමට කාගේ හෝ තල්ලුවක් අත්‍යාවශ්‍යය. අන්න ඒ තල්ලුව දෙන එවුන් එක්ක නිතර රැදෙන්න)
උපුටා ගැනීම: Pubudu Hettigodage