කෝච්චියේ බෙල්ල හිරකරගෙන ගිය පරණ කථාවක් මතක් වුනා .පරණ කියන්නේ අවුරුදු බරගාණක් පරණ කථාවක් .
එතකොට මම වයස 25 ක් විතර කොලු ගැටයෙක් .කොළඹ රස්සාවක් කරන්න පටන් අරන් ටික කාලයයි.අම්මා රාගම රෝහලේ ඔපරේෂන් එකකට නවත්වලා හිටියේ .අපි රත්නපුරේ.අම්මව බලන්න ගමේ ඉඳල නංගිවත් එක්කගෙන රාගම ගියා .අම්මව බලලා හවස ජාඇල මාමලගේ ගෙදර නැවතිලා පහුවදා උදෙන්ම ඇවිත් අම්මව බැලුවා.නංගිව කොළඹට එක්ක ඇවිත් ඉංගිරිය බස් එකකට නග්ගලා මං වැඩට යන්න හදන්නේ .
මට හිතුණා හැමදාම යන බස් එකවෙනුවට නංගිව කෝච්චියේ කොළඹට යනකන් එක්ක යන්න.මීගමු පාරේ වාහන කරච්චලේ නැතුව ,වෙල් යායවල් අතරින් සීතල සුළං වැදි වැදී යන්න.නංගී ඒ වෙනකොට කෝච්චියේ ගිහින් තිබුනෙත් නැහැ .කෝච්චිය යනකම් වෙනත් වාහන නවත්වාගෙන ඉන්න හැටි ,පෑලියගොඩ කැළණි ගඟට උඩින් පාලමේ යන හැටි පෙන්නන්න හිතාගත්තා .එයත් කෝච්චි ගමනට ආසාවෙන් රාගම ස්ටේෂන් එකට හිනාවෙවී ආවා.
ඔන්න ලොකූ එන්ජින් දුම්රියක් පැද්දී පැද්දී වේගයෙන් ඇවිත් වේදිකාවේ නැවැත්තුවා.සෙනඟ පොරකමින් නගිනවා.මමත් නංගිව ඇතුලට තල්ලු කරලා නැගගත්තා.මං හිතුවේ ඇතුලෙ ඉඩ තියේවි කියලා .ඇඟිල්ලක් ගහන්නත් ඉඩ නැහැ .ආපහු බහින්නත් බැහැ සෙනග හිරවෙලා .කෝච්චියත් මටම හූ කියාගෙන වගේ ගමන පටන් ගත්තා .නංගි කෝ කියලා බැලුවා .පේන්නෙත් නැහැ යම්තම් දැක්කා .අංශක 70 කින් ව්තර බෙල්ල නවාගෙන ඉන්නවා .මමත් ඒවගේම තමයි .බෙල්ල උස්සන්න බැහැ.එහෙන් මෙහෙන් අත්වලට හිරවෙලා.අර මං කලින් කිව්ව වෙල් යායවල් වලට පින්සිද්ධ වෙන්න යන්තම් හුස්ම නං ගත්තා හැබැයි කෝච්චිය එක්ස්ප්රස් .නැවැත්තුවේ මරදානේ .ඔන්න එතකොට තමයි බෙලි දෙක කෙලින් කරගත්තේ.කොටුවෙන් බැහැලා සුපුරුදු ඉංගිරිය බස් එකට නැග්ගත්තා.
මං කොළඹ ඇවිත් ටික කාලයයි කියලා කලින් කිව්වනේ .උදේට කාර්යාල දුම්රිය ඔහොම තමයි කියලා මම දැනගෙන හිටියේ නැහැ .නංගි ගමේ ගිහින් අය්යා මාව කෝච්චියෙත් එක්ක ආවා කියලා අනිත් අයට කියයි කියලා හිතලයි කෝච්චි ගමන එක්ක ආවේ.ගෙදර ගිහින් කියපු දේවල් අහන්න මම එදා ගෙදර ගියේ නැහැ .වැඩට යන්න නැවතුනා .
උපුටා ගැනීම: Sunil Gunasiri