මේක ඉතිං මම දන්න කෙනෙකුට වෙච්ච වැඩක්..යාලුවෙක් කිව්ව කතාවක් වගේ වෙච්ච ලැජ්ජාව වහගන්න බොරු ඕනෙ නෑ.සහසුද්දෙන්ම ඉතිං මේක මටම වුණු වැඩක්.
තවත් අයිසිං ඕනෙ නෑ එහෙනම් කෙලින්ම කතාවට බහින්නම්.කෝච්චිය කියන්නෙ මගෙ ජීවිතේට ඉතාම සමීප වාහනේ.මම ඔය කෝච්චි ගමන පටන් ගත්තෙ වයස අවුරුදු 11 ඉඳලා.ඒ කියන්නෙ ඉස්කෝලෙ 6 පංතියෙ ඉඳලා ,උදේ හවස ඉස්කෝලෙ ගියෙ කෝච්චියෙ තමයි.ඒ කාලෙ ඉස්කෝලෙ යන්න පොඩි කෙලි ගැන්සියක් හිටියා මට.ඒත් දැන් මම මේ කියන්න යන්නෙ ඒ කාලෙ සිද්දවුණු කතාවක් නෙමෙයි.එච්චර කෝච්චි ඉතිහාසයක් තියෙන මට මෑතකදි ,ඒ කියන්නෙ මම ඔෆිස් යද්දි වුණු වැඩක්.
සිද්දිය සැකවින් කියනවනම් මම හැමදාම වගේ ඔෆිස් ඇරිලා එන්නෙ කොටුවෙන් 4.50 එන රඹුක්කන එක්ස්ප්රස් එකේ.ඒකත් ඉතිං මට හොඳට හුරුපුරුදු වාහනේ ,ගොඩක්වෙලාවට උදේට මම යන්නෙත් ඔය වාහනේම තමයි.ඔෆිස් ටයිම් කොටුවෙන් කෝච්චියට නැගලා සීට් එකක් අල්ලගන්නවා කියන්නෙත් ප්රැක්ටිස් කරන්න ඕනෙ කලාවක්.ඒක රහ ඉතිං කෝච්චියෙ යන ඈයොම තමයි දන්නෙ.මේ කලාව අවුරුදු ගානක් ප්රගුණ කරපු මාත් කොහොමින් හරි පැනලා සීට් එකක් අල්ලගන්නවා ගොඩක් දවස්වලට.එහෙමත් දවසක තමයි ඉතිං ශිල්ප පැටලිලා සීට් අහිමිවෙලා හිටගෙනම යන්නෙවෙන්නෙ.මම මේ කියන දවසෙ කෝච්චිය ෆ්ලැට්ෆෝම් දාන්න පරක්කුවුණා.ඒ කියන්නෙ කොටුවෙන් පිටත්වෙන වෙලාව ළංවෙලා තමයි කෝච්චිය කොටුවට ආවෙත්.එහෙව් දවසට ඉතිං සෙනඟ පොරකන්නෙ මාසයක් හුදකලා කරලා තිබුණු මහල් නිවාසවලට බඩුමලු දෙන්න ඇවිත් වගේ.මාත් ඉතිං මෙලෝ සිහියක් නැතුව සීට් කල්පනාවෙන් කෝච්චිය ආවා විතරයි පොරකාගෙන ඇතුලට පැනගන්න ට්රයි.අම්මටසිරි යකඩො මෙන්න මේ වෙලාවෙ මගෙ පශ්චාත් බාගය මොකෙක් හරි ඇල්ලුවා වගේ දැනුනා.කාලි යකින්න ආවේශවුණු මම දැන් අල්ලපු එකා හොයාගන්න වටේම කැරකෙනවා.අහල පහල ඉන්න පිරිමි ඔක්කොටම රවනවා.ඒත් ඉතිං පිටිපස්සට ඇස් තියෙන එකක්ද..කොහෙ කියලා හොයන්නද.ඒ වෙද්දි මම කෝච්චිය ඇතුලට ඇදිලා ගිහින් සීට් එකකත් ඉන්ඳවෙලා.වැඩේ කරපු එකා අහුවුණොත් ඌව දාලා පත අට එකට හින්ඳලා පැණියක් හදලා හැමෝටම බොන්න දෙන්න හිත හිත හිටියට මට අදාළ එකා හොයාගන්න බැරිවුණා.ඒ අස්සෙ මේ වැඩේ තව කවුරුහරි දැක්කද දන්නෙත් නෑ කියලා ලැජ්ජාවකුත් හිත අස්සෙ.කරපු එකා හොයාගෙන ඌට දෙකක් ඇණගන්න බැරිවීමේ දුකයි.අවුරුදු ගානක් කෝච්චියෙ ගියෙ මට කවදාකවත් නොවුණු නීච වැඩක් වීමේ වේදනාවයි දෙකම එක්ක මම බහින ස්ටේෂන් එකටත් ඔන්න ආවා.
දැන් ඉතිං මම බැහැලත් ඇතුලෙ ඉන්න උන් දිහා බලනවා අන්තිම පාරට හරි හෝඩුවාවක් ලැබෙයිද කියලා අරූට දෙකක් ඇණගන්න.මෙන්න මේ වෙලාවෙ එකෙක් ඇවිත් මගෙන් අහපි ,”නංගි ට්රේන් එකට නගිද්දි මොකක් හරි කරදරයක් වුණාද කියලා..”අම්මටසිරි ඌ මොකාද ..මම මීට කලින් දැකපු ඩයල් එකක් නෙමෙයි.ඒ ඉතිං මොකා වුණත් සිද්දිය දැකලා කියලා පැහැදිලිනෙ.මම කිව්වා.. ඔව්..මට ඒක කරපු එකා හොයාගන්න බැරිවුණා දෙකක් අනින්න ඒකයි දුක ..කියලා.එතකොට ඌ කියපි..”අපරාදෙ ඔයාට කෑගහන්න තිබුණෙ.මම දැක්කා දම්පාට ෂර්ට් එකක් ඇඳපු අතක් මටත් අල්ලගන්න බැරිවුණා කියලා..”දැන් ඉතිං මොනවා කරන්නද ඌ අල්ලගන්න ට්රයි එකක් හරි දීලනෙ කියලාහිතලා මම ඌට තැන්කූ..කියලා පිටත්වුණා.
පහුවදා මම උදෙන්ම ඔෆිස් ගිහින් දුම්පිඹ පිඹ මට ඊයෙ හවස වුණු අවලන් වැඩේ ගැන යාලුවො සෙට් එක දැනුවත්කළා.මම කතාව ඉවර කලා විතරයි අහන්හිටපු උන් කිව්වෙ ෂුවර් එකටම ඔය වැඩේ කරන්න ඇත්තෙ අර මගෙන් මෙහෙම වැඩක් වුණාද කියලා අහපු එකාම තමයි කියලා.මම තැන්කූ කියලා තියෙන්නෙත් ඌටමයිලු.උන් එහෙම කිව්වට පස්සෙ ඒක එහෙමද කියලා හිතිලා මට ඇතිවුණු ඉච්චාභංගත්වය ගැන කියන්න වචන නෑ පින්වතුනි.පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් මට දැනුනෙ.ඒත් මම ඒක එහෙම නෙමෙයි වුණේ කියලා හිතලා බලෙන් හිත සනසගන්නවා.ඒත් ඇත්තටම වුණේ මගෙ යාලුවො සෙට් එක කියපු දේනම් අරූව මරං කෑවත් මගෙ හිතට මදි….එදායින් පස්සෙ ආයෙත් මම ඒකාව දැක්කෙත් නෑ …ඔන්න ඔහොමයි ආයුබොවන් ඉතිං අපිට වෙන වැඩ…

උපුටා ගැනීම: Umanga Hettiarachchi