මම චූටිකාලෙ මමයි ,අම්මයි ,තාත්තයි අපි තුන් දෙනා හිටියෙ අපේ ආච්චි අම්මලාගෙ ගෙදර..ආච්චියි, සීයයි, අපියි,තාත්තගෙ පොඩි අයියා ඒ කියන්නෙ අපේ මහප්පලත් ඒ කාලෙ හිටියෙ ඒ ගෙදරම තමයි.ඒ කාලෙ අපේ බාප්ප මැරි කරලා හිටියෙ නෑ .ඒ උනාට පුංචි එක්ක පොඩි මෙව්වා එකක් තිබුනා.කවද හරි ඕකුන් දෙන්නා මැරි කලාම අපිට යන එනමක් නැති වෙන හින්දා අපේ තාත්තයි මහප්පයි කඩිමුඩියේ ගෙවල් හදන්න පටන් ගත්තා.මහප්පට ඉන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි එකා යකා සන් කෙනෙක්.අපේ තාත්තට කියලත් වෙනසක් නෑ .වෙනස් උනා නම් වෙනස් වුනේ සන් කියන එක ඩෝටර් වුන එක විතරයි…
මහප්පලගෙ අයියා හෙන මීටරේ.ඌ මට වඩා අවුරුදු හයක් විතර වැඩිමල්.ශිෂ්යත්වෙ පාස් වෙලා දිස්ත්රික් රෑන්ක් එකකුත් දාලා මූ ගියා කොලඹ රාජකීයෙට.ඒ ගියාට පස්සෙ මූ මීටරේ වගේම හෙන ඇම්ඩෙකුත් වුනා.
අපේ තාත්තලා අලුතින් අපිට යන්න ගෙවල් හැදුවට මමයි අයියයි කැමති නෑ ඒවට යන්න.අපිට ඕනි බහිරවයො දෙන්නෙක් වගේ සදාකල්ම ආච්චි අම්මලාගෙ ගෙදර ඉන්න.අපිට එහෙන් මෙහෙන් ඇහෙන කතා වලින් අපි තේරුම් ගත්තා බාප්පා මැරි කලොත් තමයි අපිට මෙහෙන් යන්න සිද්ද වෙන්නෙ කියලා.
ඒ හින්දා බාප්පගෙයි පුංචිගෙයි කසාදෙ නොකෙරෙන තැනට වැඩ කරන්න මමයි අයියයි සාකච්ඡා කරලා ඒකමතික තීරණේකට ආවා.
සීයාගෙ වැඩි කැමැත්තක් බාප්පගෙ එෆෙයා එකට ඒ කාලෙ තිබුන් නැති හින්දා අපි මුලින්ම කලේ බාප්පගෙ හොර සීයට අල්ලලා දීපු එක.
පුංචි අපේ බාප්පා කාරයට දෙන ලියුම් කොහෙන් හරි හොයන් ගිහින් සීයට දීම.
බාප්පා පුංචිව හම්බෙන්න යනඑන වෙලාවල් බාප්පා යාලුවන්ට කියනවා අහන් ඉදල ගිහින් සීයට වාර්තා කිරීම.
පුංචිට දෙන්න බාප්ප ගෙනාපු චොක්ලට් ශේප් එකේ කාමරේට පැනලා අනුභව කිරීම
වගේ බොහොමයක් ක්රියාකාරකම් අපි කලත් උන් දෙන්නා ඒ එෆෙයා එක නැවැත්තුවෙ නෑ.අන්තිමේ අපේ කරුමෙට සීයත් ඒ මගුලට කැමති වුනා.ඒත් අපි දෙන්නා නොසැලී ඉදිරියටම යා කියලා අරුන් දෙන්නා වෙන් කිරීමේ ක්රියාන්විතයේ දිගටම නියැලුනා.
එතකොට අපේ අයියා අටවසරෙද කොහෙද.කෝමහරි මම හිටියෙ දෙකවසරෙ.ඉස්කෝලෙ නිවාඩුවට මහප්පා ගිහින් අයියව හොස්ටල් එකෙන් එක්ක ආවා.ඔය කාලෙ අපේ වෙන්ඩ පුංචිගෙ නෑදෑ වෙන ටිකක් නැතිබැරි ලමයෙක්, අපේ බාප්පා එක්කගෙන ඇවිත් ආච්චි අම්මලාගෙ ගෙදර තියාගෙන ඉස්කෝලෙ එහෙම යවලා ඉගැන්නුවා.
අයියා ගෙදර ආව ගමන් මම ගිහින් ඒ සීන් එක අයියට කිව්වා.මූ ඉතින් ගෙදර එන්නෙ මාස ගානකට සැරයක්නෙ.ආවාම ඔක්කොම විස්තර ටික නොපිරිහෙලා වාර්තා කරන එක සහෝදරිය හැටියට මගේ යුතුකමනෙ.
ආච්චි අම්මා හදලා දුන්න ඇඹරැල්ලා අච්චාරු පිගානකට වග කියන ගමන්, සාකච්ඡා වට දෙන තුනක් තියලා අපි තීරණේකට ආවා අර බාප්පා නවත්තගෙන ඉන්න කොල්ලව ගෙදරින් පන්නලා දාන්න.ඒකෙ අවසාන අරමුන උනෙත් පුංචිගෙයි බාප්පගෙයි කසාදෙ නවත්තන එකම තමයි.පුංචිගෙ නෑදෑ වෙන එකෙක්ව අපි මෙහෙන් පැන්නුවාම පුංචි ට මලපැනලා බාප්පව අතෑරලා දාන හැටියි,එතකොට බාප්පා ඔහොමම ගෙදරට නාකි වෙලා දත් හැලිච්ච සීයෙක් වෙන හැටියි හිතෙන් මවාගෙන ෆුල් ෆන් එකේ ඔන්න මමයි අයියයි මොකක් හරි වෙලාවක් සෙට් වෙනකම් ඉන්නවා අරූව පන්නන්න.
ඔහොම ඉන්නකොට එක දවසක් බාප්පා අර ලමයට සල්ලි දුන්නා ටවුන් එකට ගිහින් කොන්ඩෙ කපන් එන්න කියලා.අපි දෙන්නත් ඕක බලාගෙන ඉදලා වහාම ක්රියාත්මක වෙලා ආවා අලුතින් හදන අපේ ගේ ගාවට. අරූ ටවුන් එකට යන්න ඕනි ඒ ගෙ පහු කරගෙන.
ටිකක් වෙලා ඉද්දි අර ලමයා එනවා .මමයි අයියයි දෙන්නා පැන්නා නිකං මාකදුරෙ මදූශුයි, සමයං අයියයි වගේ පාරට.නවත්ත ගත්තා අර කොල්ලව.ඌ හෙන අහිංසක පොරක්.ගෙට යමන් කිව්වම අනේ ඇයි ඇයි ගගා බබා වගේ ආවා ඌ බාගෙට හදලා තියෙන අපේ ගේ ඇතුලට.
අයියා දැන් අරූගෙන් ප්රශ්න කරනවා.ඌ ඒවට උත්තර දෙනවා
“කොහෙද යන්නෙ – කොන්ඩෙ කපන්න යනවා.”
“කවුද කොන්ඩෙ කපන්න සල්ලි දුන්නෙ – ඉන්දු අයියා තමයි දුන්නේ.”
“කීයක් දුන්නද – සීයක් දුන්නා.”
ඒ ගමන් අයියා මගෙන් අහනවා.
“ආහ් එහෙමද.මානි නංගි මොකද කරන්නෙ අපි මෙයාගෙ කොන්ඩෙ කපමු නේහ්”
මමත් ඉතින් මොකද උගෙ නංගිගෙ ” හා හා කපමු” කිව්වා.
ඔන්න දැන් අරූ අඩද්දි අයියා උගේ කොන්ඩෙ කපනවා .මම දොරලගට වෙලා ඔත්තු බලනවා කවුරු හරි එනවද කියලා.අන්තිමට විනාඩි හතලිස් පහක් විතර දගලලා දගලලා අරූට පාරක බැහැලා යන්න බැරි වෙන්නම අපේ අයියා කාරයා බල්ලො කෑවා වගේ ඒ කොල්ලගෙ කොන්ඩෙ කපලා දැම්මා.ඒ මදිවට මූ නිකං ප්රොෆෙෂනල් බාබර් කෙනෙක් වගේ ඒ කොල්ලට බාප්පා කොන්ඩෙ කපාගන්න කියලා දීපු සල්ලිත් ගත්තා.
ඊටපස්සෙ හවස් වෙලා, සෙල්ලම් කරලා ,අර සල්ලි වලින් කඩේ ගිහින් නෙක්ටො බීලා ,ක්රීම්බනිස් කාලා,බබල්ගම් දෙකතුනකුත් කාලා, ඒවට ෆ්රී හම්බෙන ටැටූ එහෙමත් අත්වලයි මූනෙයි එහෙම ගහගෙන ගියා දෙන්න එක ගෙදර .නිකං පච්ච සිරායි උගේ නංගියි වගේ.
ඒ ගියෙත් නිකං නෙමෙයි , හෙට පුංචි ඇවිත් අර ෆිල්ම් වල වගේ “මේ සම්බන්දෙ අදින් ඉවරයි” කියලා අපේ බාප්පට බැනලා උගෙ කන පැලෙන්න එක්ක දීලා යනහැටියි.ඊට පස්සෙ අපේ බාප්පා පොලවෙ පස් කකා අඩන හැටියි, හීන මව මව හක හක ගගා හිනා වෙවී,යසයි අපේ බාප්පට කිය කිය, සතුට සමර සමර තමයි ගියේ.
මෙන්න යකෝ අපි යනකොට ඉන්නවා මුලු රාජසභාවම සාලෙ මැද්දෙ පුටු තියාගෙන වාඩි වෙලා..ස්ටූල් එක උඩ පත වේවැලකුත් තියෙනවා.අර කොල්ලත් ඉන්නවා බඩගිනි වෙච්ච බල්ලෙක් උගෙ ඔලුවට කඩන් පැනලා කාලා වගේ තියෙන කොන්ඩෙත් දික් කරන්,නිකං අපායට ගහපු කැලැන්ඩරේ වගේ සාලෙ මැද්දෙ හිටගෙන.
අපි මවපු හීන බොද වෙලා ගියා.බීපු නෙක්ටො ගෲස් ගෲස් ගාලා උගුරට ආවා.කකා හිටපු බබල් ගම් වලට කට ඇලුනා.වැඩේ ලෙසටම පත්තු වෙලා කියලා තේරුනා මහප්පගෙ රුදුරු බැල්මෙන්.හම්බුනා පෝරියල් එක වේවැල දෙකට කැඩිලා යන්නම.අවුලක් නෑ මතක් වෙද්දි තාම පොඩ්ඩක් පිටයි පස්සයි දැවිල්ල අල්ලනව එච්චරයි .
ඊට මාස හයකට විතර පස්සෙ අපේ බාප්පා කියන එකා පුංචි කියන එකීව කසාද බැදලා එක්කන් ආවා.උගේ මගුල දවසෙ උන් දෙන්නා පෝරුවට නැගලා මමයි අයියයි දිහා බලලා “කෝ තොපි දෙන්න අපිට කොරාද” වගේ බැල්මකුත් එක්ක මහා කැත හිනාවක් දැම්මා දැන් මතක් වෙද්දි වහ ටිකක් කාලා එල්ලිලා මැරෙන්න හිතෙනවා බොලව්….
දැන් අර අපේ බාබර් අයියා මොරටුව විශ්වවිද්යාලයෙන් උපාධිය අරන් ඉංජිනේරුවරයෙක් විදියට රැකියාව කරනවා.මම තාම ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙ උපාධිය හදාරනවා.එතකොට අර අපි කොන්ඩෙ කපපු ලමයා කොලඹ ප්රසිද්ධ පාසලක නියෝජ්ය විදුහල්පතිවරයෙක්…ඌ පස්සෙ කාලෙක අපේම සහෝදරයෙක් වගේ උනා.දැනටත් ඒ ප්රින්සිපල් අයියන්ඩි අපේ ගෙදර ආවම මනෝජ්ටයි අපේ අයියා බැදපු අක්කටයි කියනවා.
” මචංලා..
දැන් තමයි මුන් දත් ගලවන්නෙ ඉස්සර කැපුවෙ කොන්ඩ” කියලා.
නිමා.
උපුටා ගැනීම: Nirmani Sandareka