හති දාගෙන බස් එකට දුවගෙන ආපු නැන්දා මම මිදුලෙ ඉන්නව දැකල නැවතුනා. අතේ ඉන්න පොඩි එකී දිහා බලල එක පාරටම කියපි,
” අනේ හරි මිටියි නේද ” කියල.
ඕන දෙයක් හිනාවෙලා භාර ගන්න එක ලේසි නෑ. මම හිනාවෙලා කිව්වා
” අම්ම වගේ වෙන්න ඇති මමත් ඉතින් කොටයිනෙ”
” අනේ පොඩි පුංචිත් මාත් එක්ක හරි හිතේ අමාරුවෙන් කිව්වා මිටිම මිටියි කියල දරුව, එයා හරියට දුක් උනා”
” එයා කොයි වෙලාවෙද පොඩි එකාගෙ උස බැලුවෙ”
අපෙ අම්මා ගේ ඇතුලෙ ඉදන් මගෙ සපෝට් එකට ආව.
” හැම දරුවම එක වගේ නෑනෙ, පොඩි දරුවො ඉන්නව, ලොකු දරුවො ඉන්නව ඕක තමයි සොභාධර්මෙ. “
අපේ නැන්ද , අම්ම ඉස්සරහ පසු බැහැල ගියා. පවුලෙ ඕන කෙනෙක් අම්ම ඉස්සරහ සරෙන්ඩර් සමහර වෙලාවට තාත්තාත්. තාත්තා නම් කියන්නෙ ගෑණුන්ට තැන දුන්නම ජීවත් වෙන්න ලේසියි කියල.
ඉතින් අද කතාව කොට අපි ගැන. ඔබත් ඔය අනිත් අය කොට, මිටි, පොඩි, චුට්ටි , බට්ටි, බටු වගේ හදුන්වන කෙනෙක්ද. ඒ නිසා දුක් වෙලා තියෙනවද. උස යන්න බෙහෙත් විදින්න හිතන් ඉදල තියෙනවද, බයිසිකල් පැදල තියෙනවද එතකොට බාර් එක්සයිස් කරල තියෙනවද.
කොට, මිටි, පුංචි, චුට්ටි ,බට්ටි ඒ නමේම තියෙන්නෙ හරි හුරුබුහුටි කමක් ඒ මම හිතන විදිය. ඉස්කෝලෙ කාලෙ මම තමයි අපේ පන්තියෙ හිටපු කොටම ලමයා. ඉස්කෝලෙ හැම දේකටම පුදුම තරගයක්නෙ. මම ඔය ඉදිරිපෙල ඉන්න කුලක දෙකට අයිති වැඩ කාරයෙක්වත් වත් කැපී පෙනිච්ච කෙනෙකවත් නෙමෙයි. ඒත් හය වසරෙ ඉදන් දහ තුන වසර වෙනකන් හැමදාම එක දේකින් ඉදිරියෙන්ම හිටපු කෙනෙක්. උදේ රැස්වීමෙ පන්තියෙ සියලුම කෙල්ලන් වෙනුවෙන් මම මුලු ගුරු මණ්ඩලයම ඉස්සරහ අවුරුදු අටක් පෙනී හිටපු වාර්තාව කිසිම කෙනෙක් කැඩුව කියල හිතන්න අමාරුයි.
පන්තියෙ මගේ නම තියෙන දෙන්නෙක් බොහෝ වෙලාවට හිටියා. නිතරම මගේ නම ඉස්සරහින් පොඩි, කොට කියන විශේෂන පදේ වැටුනා. ඒත් කිසිම දවසක මම ඒ දේවල් වලට දුක් වෙලා නෑ. උපතින්ම ආපු දේ මට වෙනස් කරන්නත් බෑ ඔය ගැන හිතල දුක් වීමෙන් පලක් තියෙනවද?
මම හත, අට වසර වලදි ටිකක් මහත ලමයෙක්. ඒ කාලෙ තිබුන පෙනුම නම් කොහෙත්ම ලස්සනක් නෑ. මට බෝඩිමේ අක්කල හිනා වෙනවා උසයි මහතයි සමානයි මම සමචතුරස්රාකාරයි කියල. මම ලගින් යනකොටත් මට ඇදල පෙන්නනව කොටුවක්. ඒත් ඒ කාලෙ මට ඒ ගැන දුකක් හිතුනෙ නෑ. මමත් මොකක් හරි කියල ඒගොල්ලො එක්කම එකතුවෙලා හිනා වෙනවා. ඒක කොහෙන් ආව පුරුද්දක්ද කියල මම දන්නෙ නෑ.
උසස් පෙල පන්තියදි මගෙ යාලුවො ගොඩක් අය උසම උස ගෑනු ලමයි. පන්ති යනකොට මට කියනව පොඩ්ඩක් එහාට වෙලා යනව හලෝ නැත්නම් අපි මාර උසට පේනව කියලා. මම නම් උස උන් එක්ක යනකොට කවදාවත්ම හිතල නෑ මාව කොටට පේනව කියලා.
ගෙදර අය කොහේ හරි ගමනක් ගියාම හැමෝම අහනවා මමද පවුලෙ බාලය කියලා. නංගි මට වඩා උසයි. අපේ නංගි එන දිගටම අහපු අයටයි මටයි බැණ බැණ එනවා. මෙයාගෙ වැඩීම බාල උනාට අපි මොනව කරන්නද කියලා.
මම බදින්න තීන්දු උනාම අපේ එක්කෙනා වැඩියෙන්ම හිත කරදර කරගෙන තියෙන්නෙ මගෙ උස ගැන කියල පස්සෙ ආරංචි උනා. මුළු නෑදෑ පරපුරෙන්ම අපි දෙන්නා උසෙන් ගැලපෙනවද කියල අහල තිබ්බා. එයැයිගෙ උස 5.8′ ක්.
කසාදෙ දවසට අන්දන එක්කෙනා මුන ගැහෙන්න ගිය මුල්ම දවසෙ එයා කිව්වෙ උස තමයි වැඩේ. සෑහෙන්න හීල් එකක් දාන්න වෙයි කියල. දෙවනි මනමාලියො තෝරන්න ගියාමත් ඒගොල්ලො මට වඩා උස උනොත් හරි නෑ වගෙයි කියලත් කිව්වා.
ඔන්න ඔහොම තමයි මට ගැටලුවක් නොවුන කොට බව , බුහුටු පෙණුම අනිත් අයට ප්රශ්නයක් වුන හැටි. මම පොඩ්ඩක් හරි ඒ ගැන හිතුවනම් ඒ හිතුවෙ පොඩි අය ලැබෙන්න ඉද්දි විතරයි. කොට වැඩි උනාම අවදානම් මවක් වෙනවනෙ. ඒත් මාව අවදානම් කලාපෙට අහුවුනේ නෑ. ඒත් ඒ කරුණ ඇරෙන්න අනෙක් දේවල් අවදානම් නිසා කාඩ් එකේ උඩ රතු පාටින් ලකුණු උනා.
ජීවිතේ සමහර දේවල් අපිට ඕන විදියට ලැබෙන්නෙ නෑ. හැමෝම එකම විදියෙ උනානම් වැඩකුත් නෑ. විවිධත්වයක් තියෙන කොටනෙ ඕන දෙයක් ලස්සන. අදාල කෙනාට ප්රශ්නයක් නොවන දෙයක් ගැන අපි වද වෙලා ඇති තේරුම මොකද්ද. කොට, උස, කලු, සුදු ඒවයින් මිනිස්සු මනින්න පුලුවන්ද.
මිට්ට කට්ටය කියල ඉස්සර කට්ටිය කියනවා. ඒත් හැම මිට්ටෙක්ම කට්ටයෙක් නෙමෙයි . ඒකට කියන්නෙ ඉස්මාට් කම කියලා. ස්මාට් හොදේ.
( පින්තූරෙ අන්තර්ජාලයෙන් – මුල් අයිතිකරුට ස්තූතියි )
උපුටා ගැනීම: Buddhika Abeysundara