කොත්මලේ ජනප්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී කොත්මලේ ගණිතයා නොහොත් “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි.
ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ ගණිතයා පිළිබදවය.
ලංකාවෙ ජීවත් වූ බලවත්ම නැකැත්කරුවෙක් ලෙස සැලකෙන මොහුගේ පරම්පරාව ආරම්භ වූ ආකාරය රසවත් කථාවකි.
1. නිදන් වදුල…
රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ලියවුනු නිධන් වදුලක් ඉන්දියාවේ තෙළිගු බ්‍රාහ්මණ තරුණයෙකු අතට පත්විය.
මෙම බමුණු තරුණයා නිධන් වදුල කියවා රන් පුහුල ඇත්තේ ලංකාවේ මාවෙළ ප්‍රදේශයේ “නයින් කෙළිනා තොට” නම් ස්ථානයේ ගල් දොරකින් වැසී ඇති ගල් ගුහාවක් තුළ බව දැන ගත්තේය.රන් පුහුල ගැනීමට තමාගේම දරුවකු බිළි දිය යුතු බව නිධන් වදුලෙන්ම අවබෝධ කරගත් වස්තු ලොල් මෙම බමුණු තරුණයා නිධානය ගැනීමේ අරමුනින්ම ඉන්දියාවෙන් නැව් නැග ලංකාවට පැමිණ මාවෙල ප්‍රදේශයේ කාන්තාවක් සරණ පාගෙන එහිම ජීවත් විය.
2. බිලි පූජාව…
ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දීමට වස්තු ලොල් නැකැත්තා ක්‍රියා කළේය.
බිලි පූජාවසාර්ථක වූ අතර රන් පුහුල ලබා ගත් බමුණා එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා වතුර පානය කිරීමට රන් පුහුල බිම තැබීය.
එවිට ගල පලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය “පුසුල්පිටිය” ලෙස හැඳින්වූ බවද සඳහන්ය.
තම දරුවාත් නිධානයත් දෙකම නැති වීම ගැන දුක් වූ බමුණු තරුණයා සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට සූදානම් වුවත් ඔහුට පිහිට වූ බෞද්ධ භික්ෂුවකගේ ධර්ම දේශනයක් අසා වස්තු තන්හාව තුනී වී යහපත් පුද්ගලයකු බවට පත්විය.
මොහු නැවත තම මව් රටට නොගොස් මෙහිම නතර වූ අතර ඔහුගේ පරම්පරාවම නැකැත්තන් විය.
3. ගැමුණු රජතුමාගේ කාලය…
බෞද්ධයකු බවට පත්වූ බමුණු තරුණයාගේ දෙවෙනි පුතු ගැමුණු රජතුමාගේ කාලයේ වාසය කළේය.
තම තෙළිගු බමුණු පෙළපත් නාමය වූ “පොන්නා”(පොන් යනු තෙළිගු බසින් “රන්” හෙවත් රත්රන් හැදින්වීමයි.) ඔහු භාවිතා කළ නාමය විය.තරුණ වියට පත් පොන්නා තම පියා මෙන්ම ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්රයේ ප්රවීනයකු විය.(ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීමක් ඔවුන් විසින්ම සිදු කලේය.)
ගැමුණු කුමරු ගුත්තා නමින් කොටගේ පිටිය නම් ග්‍රාමයේ අප්රසිද්ධව වෙසෙන අවධියේ වීසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පසුව විවාපාත‍්‍ර විය.
පැළැල්ලදෙණියේ මහගෙදරට පදිංචියට යන්නේ ඉන් පසුවය.
ගුත්තා තමා ගැමුණු කුමරු යැයි තම බිරිඳ වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොපවසයි. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරු ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරු යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා පවසයි.
මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරු යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කදට (බත් පෙට්ටියට) ඇඹුල රැගෙන යාම ඇය පුරුද්දක් කරගත්තාය.
දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරුද්දක් කරගත් අතර එවන් දිනයකදී කුමරු විකාර සිහිනයක් දකියි. මේ සිහිනය පිළිබඳව ද ගැමි මත තුනකි.
ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාමයි. දෙවැනි මත කුමරුගේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීමය. තුන්වන මතය කුමරුගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.
කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරු ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගැනීමට කල්පනා කළේය.
4. ගැමුණු කුමරු හමුවීම……
“පොන්නා ගුරුන්නාන්සේ මේ ගුත්තා ළමයාට ඔහේව හම්බවෙන්න ඕන කියලා ඇවිත් ඉන්නේ…”
“කව්ද බන් ගුත්තා කිව්වේ.ආ මේ අපේ කොටගේ පිටියේ විසුරුගෙදර ඌරු පැලැස්සේ ගමරාළලැයි නැවතිලා ඉන්න ගුත්තා ළමයා නෙව.මොකෝ ළමයෝ මේ හදිස්සියේ මේ පැත්තේ.”
පොන්නා ඇසූ දෙයට එකවර පිළිතුරක් නොදුන් ගුත්තා පොන්නා දෙස මොහොතක් බලා සිටියේය.යකුන් මෙල්ල කරන ගුප්ත ශාස්ත්‍ර උගත් බලවන්තයෙකු වුවද තමා ඉදිරියේ සිටින ආරෝහ පරිනාහ තරුණයාගේ තියුණු තේජස් බැල්ම ඉදිරියේ පොන්නා මදක් පසුබා ගියේය.තමා ඉදිරියේ සිටින තරුණයාට තමාව තනිව මුණගැසීමේ අවශ්‍යතාව ඇති බව පොන්නා වටහා ගත්තේය.
අතවැසියා පිටතට යැවූ පසු පසු ගුත්තා කතා කලේය.
“ගුරුන්නාන්සේ මම ඊයේ අමුතු විකාර හීන වගයක් දැක්කා.ඒ හීන වල තේරුමක් තියෙනවද කියල දැන ගන්නයි ආවේ.
“හොදයි එහෙනම් අන්න අර පේන දෙහි ගහ ලඟට ගිහින් මෙන්න මේ වතුර විදුරුව දිහා බලාගෙන රහසින් තමා දැක්ක හීනේ ගැන කියලා ඒ වතුර ටික දෙහි ගහට වත් කරලා ආවනං”
පොන්නා ගුරා පැවසූ දේ එලසම සිදුකොට ගුත්තා නැවත පොන්නා ගුරු වෙතට පැමිණියේය.
“හොදයි දැන් මෙන්න මේ බුලත් අතෙන් තමාට හිතෙන බුලත් කොළ ගානක් අතට අරගෙන ඔය ළමයා දැක්කයි කියන හීනේ ගැන මටත් කිව්වනම්.”
“මම දැක්ක හීනේ හරි විකාරයක් වගේ හීනේ දැක්කේ කොටස් තුනකට වගේ මුලින්ම දැක්කේ මගේ බඩවැල් කටින් එළියට ඇවිත් දිග්වෙලා නැවත කෙටි වී බඩතුලටම ඇදී යාමයි.දෙවැනි පාර දැක්කේ මගේ දිව දික්වෙලා මුළු ලංකාද්වීපයේම වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.තුන්වෙනි පාර දැක්කා මගේ මහපටැඟිල්ලේ මී වදයක් බැදලා තියෙනවා.මේ හීනවල ත්රුමක් තියේද ගුරුණ්නාන්සේ.”
“ගුත්තා තමා දුටු සිහිණ විස්තර කිරීම ආරම්භ කරනවාත් සමගම කවඩි බෙල්ලන් අතට ගත් පොන්නා සිහින් හඩින් මතුරමින් කවඩි කිහිපයක් පෙත මත දමමින් කිසියම් ක්‍රියාවක් සිදු කලේය.නැවත වරක් එම ක්‍රියාව සිදු කළ පොන්නා කවඩි පෙත දෙස විශ්මයෙන් යුතුව බලා සිටියේය.”
“ඔබතුමා කවුද?සිහිණ හා තත්කාලය අනුව පෙනෙන විදියට ඔබ මහා බලගතු රාජ කුමාරයෙක් විය යුතුයි.කවදා හරි දවසක ඔබ මේ රට එක්සේසත් කර රටේ මහ රජු බවට පත්වෙනවා ඒකාන්තයි.සිහිණ වලින් පෙන්වා ඇත්තේ එයයි.කාවන්තිස්ස රජු සමඟ අමනාපව රජවාසලෙන් පැන ගිය ගැමුණු කුමරු ඔබ නේද?”
” ඔබ හරි මම ගැමුනු කුමරු තමයි. ඒත් ඔබ මෙය රහසක් ලෙස පවත්වා ගත යුතුයි.ඔබ පැවසූ පරිදි සොලීන් පලවා හැර මේ රට මුදවා ගැනීම මගේ එකම අරමුණයි.ඔබගේ ශාස්ත්‍රීය දැනුමට මා ගරු කරමි.”
තමා ඉදිරියේ සිටින්නේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දුටු ගැමුණු රාජ කුමාරයා බව දැනගත් පොන්නා ගුරුතුමා කුමරුට ගෞරව නමස්කාර කොට කුමරු පිළිබද රහස රැකීමට ප්‍රතිඥා දුන්නේය.
පසු කලෙක දුටු ගැමුනු රජු සොලීන් පරදවා රට එක්සේසත් කලේය.ඒ සදහා අනාගත වාක්‍ය පැවසූ පොන්නාව රාජකීය දෛවඥයා ලෙස පත්කරගත්තේය.
මෙලෙස පොන්නා නැකැත් පරපුර රාජකීය සම්මණයට පාත්‍ර වීම ආරම්භ විය.ඉන් පසු පරම්පරා ගනනක්ම පොන්නා නැකැත් පරපුර රාජකීය දෛවඥයන් ලෙස පිදුම් ලැබුවේ එම නැකැත් පරපුරේ දක්ෂතා ජානමය වශයෙන් ඉදිරි පරම්පරාවටද ගමන් කිරීම හේතුවෙනි
සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) හා රාජාධිරාජසිංහ (1782-1798) යන රජවරුන් කල විසු පොන්න නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා රටේ නම ගිය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා නක්ෂත්ර දැනුම ඇත්තෙකු විය. මේ පරපුර ගැන ඇති පැරණිම ජනප්‍රවාදය අනුව දුටුගැමුණු කුමරු ගුත්තා නමින් වෙස්වළාගෙන කොත්මලේ කොටගේපිටියේ විසුරු ගෙදර අවුරුදු දොළහක් ගොවිතැන් බත් කරමින් සිටින විට ගමරාලගේ දූ වූ රන්මැණිකා ගුත්ත හා ආදරයෙන් බැඳෙයි. කොත්මලා ඔය අද්දර මාස්වෙල ගම කෙළවර කුඹුරු වැඩ කරමින් සිටි ගුත්තාට රන් මැණිකා දහවල් ඇඹුල ගෙන යයි. ඇඹුල ගෙන පුසුල්පිටිය විහාරය පිහිටි ගල්තලාවේ මඳක් ඇල වී සිටි ගුත්තාට තම බඩවැල් තම මුවින් පිටත එනු සිහිනෙන් දැක තිගැස්සී අවදි වෙයි. මේ සිහිනය රජකම ලැබීමේ පෙර නිමිත්තක් බව පොන්න නැකැත්තා තේරුම් කර දුන් බව කොත්මලේ පුරවෘත්ත ග්‍රන්ථය දක්වයි. පොන්න නැකැත්තා ගැන කොත්මලේ ඇති එකම ජනප්‍රවාදය මෙයයි. දුටුගැමුණු කුමරු ගැන සහ පොන්න නැකැත්තා විසූ බව කියන ජනකතාව සෙන්කඩගල යුගයේ දී ඒ පරපුරේ අය විසින්ම තම කීර්තිය සඳහා ලංකාවට ඇති අතීත උරුමය කියා පෑමට එමෙන්ම තම කුලයේ විදේශික බව සැඟවීමට ගෙතූ ප්‍රබන්ධ කතාවක් බව පෙනී යයි.
පොන්න නැකැත්තා ගැමුණු කුමරු කාලයේ වාසය කළ බවට ඇති ජනප්රවාදයේ හරයක් ඇත්නම් පොන්න යනු මේ පරපුරේ පෞද්ගලික නාමය නොව පරපුරේ පොදු නාමය විය යුතුය. එක් අයෙකු මියගිය විට ඔහුගේ අනුප්‍රාප්තිකයා පොන්න යන පොදු නක්ෂත්ර පරපුරේ නාමයෙන් පෙනී සිටි බව පෙනෙයි. පොන්න යන නාමය ලංකාවට නුහුරුය. එ් නිසා මේ පරපුර දකුණු ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ කාර්මික නවන්දන්නා කුල ආචාරී පවුලක් බව පෙනෙයි. බොහෝ විට ගම්පළ යුගයේ ඉදි වූ පුසුල්පිටිය විහාරයේ වැඩට දකුණු ඉන්දියාවෙන් ආ ආචාරී කුල ශීල්පී පවුලක් බව සිතීම සාධාරණය. කාර්මික හැකියාවට අමතරව නක්ෂත්ර දැනුම නිසා පසු කලෙක යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලටම නැඹුරු වුණු බව සිතිය හැක. එදා කොත්මලේ නවන්ගම මාවෙල මෙවැනි ආචාරී කුල ශිල්පී පවුල් බහුල වූහ. නවංගම කාර්මික ශිල්පීන් එළාරට විරුද්ධව ගැමුණු කුමරුගේ සටනට ආයුධ නිපද වූ බව කියවෙයි. නවංගම අද්දර පිහිටි කොත්තුනුගොඩ කන්දේ බහුල ලෙස එදා යබොර තිබුණි. කොත්තුනුගොඩට යබොර ලැබුණේ ගිනි කන්දක් පිපිරී යාමෙන් බව කොත්මලේ ජනප්‍රවාදවල එයි. යබොර උණු කිරීමට නවංගම ශිල්පීන් යොදා ගත්තේ කොත්තුනුගොඩ අසලම පිහිටි දුම්මල ගස් තලාව කැලෑවේ පිහිටි අධික තාපය සහිත දුම්මල ගස්වල දරයි. පුසුල්පිටිය විහාරයේ ඉදිකිරීම්වලට පැමිණි පොන්න නැකැත් පරපුර තම විදේශික බව සැඟවීමට කුලයේ කීර්තිය පැතිරවීමට ගැමුණු කුමරු කාලයේ පොන්න නැකැත්තා සිටි බව ජනප්රවාදයේ පතුරුවා ඇත. පසු කල වන විට සෙංකඩගල පොන්න නැකැත් පරපුර පොන්න යන පොදු පරම්පරා නාමයෙන් පෙනී සිටි අතර ෙසංකඩගල රාජ වාසළට කොත්මලේ මාවෙල ගමේ සිට රාජ සේවයට ගිය බැවින් ප්‍රදේශයේ නාමයෙන් ඔහු කොත්මලේ ගණිතයා ලෙස ප්‍රකට විය. මාවෙල උලපනේ ගම්පල හරහා රජ වාසල සේවයට යාම ඔහුගේ සිරිත විය.
පොන්න නැකැත්තා හෙවත් කොත්මලේ ගණිතයා ගැන ඇති ජනප්‍රවාද රාශියකි. සන්නස්ගල සිංහල සාහිත්‍ය වංශයේදී ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1782) රාජ සභාව මැද දී දිගු රිටක් දිගු කොට රිට්ටා ඇති තැන පෙන්නු විට ඒ ස්ථානය ඉබේ ගිනිගත් බව සඳහන් කරයි. මේ ජනප්‍රවාදය මාතර කල විසූ බරණ ගණිතයා වටා ද ඇත.
කොත්මලේ මාවෙල ගමේ සිට සුබ නැකැත් බලා කොත්මලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට ඔය හරහා මැතුරූ ගල් කුළු දමා ඒ පාදිය ගල් කුළුවලින් එගොඩ වී මැතිරූ තල අත්ත කිහිලි ගන්නාගෙන රාජ සභාවට යන විට කොටියෙකුගේ වෙස් ගත් යකෙකු ඔරුව පැද්දේය. කොත්මලේ ගණිතයා මැතුරූ තල අත්තෙන් කොටියෙකු ලෙස වෙස් ගත් යක්ෂයා අල්ලා කඩදොර බුදුන්හිටිලෙන අසල තිබූ යෝධ ඇටඹ ගහ මුලදී උගේ හිසට ඇණ ගසා ගෙදර ගෙනවුත් මෙහෙකාරකමට යොදා ගනී. ගණිතයා යකා දමනය කළ ඇටඹ ගහ මේ නිසා යකඹ ගහ ලෙස ප්‍රසිද්ධ විය. කොත්මලේ බැම්ම බැඳීමේදී මේ යෝධ ඉපැරණි ඇටඹ ගහ ගළවා දමන ලදි. දිනක් ගණිතයා ගෙදර නැති විට යකා දර මිටියක් හිස මත ගෙන එයි. කොත්මලේ ගණිතයාට සිටියේ අවිවාහක තරුණ දුවරුම හත්දෙනෙකි. බිරිඳ යළි ගැබිනියක්ව සිටියාය. මෙහෙකරු කටුවක් ඇනුණු බව කියා හිස අතගායි. මෙහෙකරු යකෙකු බව නොදත් බිරිඳ උගේ හිසේ ගසා තිබූ මැතිරූ කටුව ඇද දමයි. බිහිසුණු වෙස් ගත් යක්ෂයා ගණිතයාගේ බිරිඳ හා තරුණ දූවරුන් හත් දෙනා ලේ විලක් මැද මරා දමා ශ්‍රීපාද අඩවියට පැන ගොස් සැඟවෙයි. සවස ගෙදර ආ කොත්මලේ ගණිතයා ක්‍රෝධයෙන් සැලී සැලී කරුංකා ගෙඩියක් මතුරා පිල්ලියක් යවයි. පිල්ලිය දිගේ යකා ඇදී එයි. කෝපය ඉහවහ ගිය ඔහු යකා ඇටඹ ගහට තබා කඩුවකින් කැබලි වලට කපා දමයි. උගේ කැබලි හෙප්පුවක ලා මුහුදට දමයි.
ග්‍රහ තරුවක චලනය දිගු කලක් නිරීක්ෂණය කළ කොත්මලේ ගණිතයා කොත්මලා ඔය දෙපස පිහිටි කඩ දොර හා තිස්පනේ යන කඳු දෙක මතු අනාගතයේ එක් වන බව හා කොත්මලා ඔය උතුරට ගලන බව අනාවැකියක් කියා ඇත. ගණිතයාගේ මෙම අනාවැකිය සනාථ කරමින් කොත්මලේ බැම්ම බැඳ ජලාශය ඉදිවීමෙන් ජලාශය දෙපස පිහිටි කඩදොර හා තිස්පනේ යන කඳු දෙක ජලාශය නිසා එකතු විය.
දිනක් ඔහු මාවෙල සිට රාජසේවයට යද්දී අතරමඟදී බලගතු සුබ නැකැතක් උදා විය. ඔහු අසල වූ කුඹුරෙන් වී කරල් මිටක් කඩා කුඹුර අයිති ගොවියාට දුන්නේය. කුඹුරෙන් නිමාවක් නැතිව වී ඉතිරෙන්නට විය. නිමාවක් නැතුව වී උතුරා ගිය ස්ථානය වී වතුර නම් විය. අද මී වතුර ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේ වී වතුර බව 1972 සාහිත්‍ය සඟරාවේ ගම්පළ විශේෂ කලාපයේ දැක්වෙයි.
කොත්මලා ගණිතයා දිනක් ගමනක් යන විට වෙහෙසට පත්ව ගිමන් නිවා ගැනීමට පාර අද්දර වූ අම්බලමකට ගොඩ විය. ඔහුගේ නක්ෂත්ර දැනුම මැන බැලීමට සිකුරු ග්‍රහයා මිනිස් වෙසක් මවාගෙන අම්බලමට ගොඩ වී ඔහු හා කතාවට වැටුණේය. දැන් සිකුරු කොහිද? අමුත්තා ගණිතයාගෙන් විමසයි. ඔහු කීප වරක් ගැන බැලුවත් සිකුරු හසු නොවෙයි සිකුරු උඹවත්ද? ගණිතයා අමුත්තාගෙන් අතින් අල්ලා ගනියි. ඉගෙන ගත්තේ එච්චරයි කියූ සිකුරු ඇඟිල්ලෙන් ගණිතයාගේ දෑස් වලට ඇන, ඔහුගේ ඇස් අන්ධ කර ආපසු යෑමට නැගිටියි. ගණිතයා සිකුරුගේ දෑත් තදින් අල්ලා ගෙන ඇවිටිලි කරයි. නැවත පෙනුම ලබා දෙන සිකුරු කොත්මලේ ගණිතයාට රන් පොතක් තෑගි කරයි. සිකුරුගෙන් රන්පොත ලැබුණු කොත්මලේ ගණිතයා සිකුරාධිපති යන නමින් ප්‍රසිද්ධ වෙයි. මේ අනුව පොන්න නැකැත්තාගේ කොත්මලේ ගණිතයාගේ ජනප්රවාදයේ හරය කොත්මලේ ගණිතයා සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් සිකුරාධිපති යන ගෞරව පට බැඳි නාමය ලැබූ බවයි.
බුධ සිකුරු ග්‍රහ යුද්ධයක් ඇති වී සිකුරු පැරදී සිකුරුගේ කුණ්ඩලාභරණය බිමට වැටෙන බව කලින් නක්ෂත්ර දැනුමෙන් දුටු ඉන්දියාවේ බමුණෙක් ඒ කුණ්ඩලාභරණය වැටෙන ස්ථානය සොයා රජුගෙන් අවසර ගෙන මහවැලි ගඟ අද්දර ගුරුදෙණිය ගමේ පැළක් අටවා ගනී. ග්‍රහචාරය ගැන සිකුරුගේ කුණ්ඩලාභරණය වැටෙන ස්ථානය කොත්මලේ ගණිතයා ද දැන ගනියි. ඉන්දියාවෙන් ආ බමුණා ඉදි කළ පැල්පත අද්දරම ගණිතයා තල් අතු පැලක් අටවා ගනියි. නියමිත දින ග්‍රහ යුද්ධය ඇති වී බමුණාගේ පැලේ තල් අත්ත මතට වැටෙන සිකුරු කුණ්ඩලාභරණය ඉන් ලිස්සා විසි වී ගොස් කොත්මලේ ගණිතයා සතු වෙයි. සිකුරු කුණ්ඩලාභරණයට ගණිතයා හා බමුණා අතර ඇති වූ ආරවුල දිග් ගැසෙයි.
රජු දෙදෙනාගෙන්ම තොරතුරු විමසා සිකුරු කුණ්ඩලාභරණයෙන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව දළදා මැඳුරේ දළදා හිමි වැඩ සිටීමට ඉන් නෙළුම් මලක් නිර්මාණය කරයි. මේ කතා පුවත “ඓතිහාසික ජන කතා” ග්‍රන්ථයේ හා තාවුල්ලේ ධම්මානන්ද හිමිගේ “මධ්‍යම ලංකා පුරාවෘත්ත” ග්‍රන්ථයේ එයි. විහාර වගවිත්ති ග්‍රන්ථයේ මේ සිද්ධිය පළමු විමලධර්මසූරිය රජු කල (1592-1604) සිදු වූ බව කීවත් ඒ වැරදිය. ඩී.පී. වික්‍රමසිංහගේ “මඟ දිගට ජන කතා” ග්‍රන්ථය අනුව සිකුරු කුණ්ඩලාභරණය ගැනීමට ආ බමුණා සිත් තැවුලෙන් මහවැලි ගඟට පැන මියගිය අතර අද දුම්බර පුද ලබන පිටියේ දෙවියන් ලෙස ඉපිද ඇත්තේ එම බමුණා බව කියවෙයි. එමෙන්ම සිකුරු කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය අද කුණ්ඩසාලේ නමින් ප්‍රසිද්ධව ඇත
……
5. නැකැත් පරපුරේ අවසන් පුරුක…
පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක වූ “කොත්මල් ගණිතයා” මහා ප්රාඥයකු විය. ජ්‍යොතිෂය,ගුප්ත විද්‍යා ක්‍රම මෙන්ම හේ කවියටද දක්ෂයකු විය.
කොත්මලේ ගණිතයාද පොන්නා නැකැත් පරපුරේම අයෙකු වීමත් ඇතැම් ස්ථාන වල කොත්මලේ ගණිතයාවද පොන්නා ලෙස හැදින්වීම නිසා දුටු ගැමුනු කුමරුට අනාවැකි පැවසූ පොන්නා හා ඔහුගේම මුණුපුරෙකු වූ කොත්මලේ ගණිතයාව ඉතිහාසඥයන් පටලවා ගනී.
කොත්මලේ ගණිතයා රාජ සේවයට බැදුනේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747 – 82) රජතුමාගේ කාලයේදීය.ඔහුට එම තනතුර උරුම වුයේ පිය උරුමයෙනි.
කොත්මලේ ගණිතයා මාවෙල ගමේ සිට තල අත්ත කිහිළි ගන්නා ගෙන සෙන්කඩගල රාජසභාවේ රාජ සේවයට යෑම සිරිත විය. සුබ නැකතින් මන්ත්‍ර පුරවා කොත්මලේ ඔය හරහා දැමූ උස් ගල්තලා හෙවත් පාදියවලට අඩි තබමින් ඔයෙන් එතෙරවීම ගණිතයාගේ පුරුද්ද විය.
6. ගණිතයෙන් කවි කීම…
කොත්මලේ ගණිතයා දක්ෂ කවි කාරයකුද විය.දිනක් තමා ඉදිරියට වතුර පිරවූ කළයක් උකුළ තබා එන රූමත් තරුණියක් දුටු ඔහු කවියෙන් මෙසේ කීවේය.
තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
තුන් සතරෙන් එකක් හැර මාවත සිටින
කොත්මලේ ගණිතයා පැවසූ මෙම කවියේ අර්ථයද ගණිතය හා බැදී ඇත.තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ යනු පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයාටය.තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ යනු 64 මායම් දන්නා බවයි. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන යනු තුන් කල් ( එනම් අතීතය, අනාගතය හා වර්තමානය) හිදීම ලස්සන ගැනු ළමයෙක් යන්නයි. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ (කළයක්) අතින් ගෙන පාරෙ සිටිනා බවයි.
7. යකාගෙන් වැඩ ගැනීම…
කොත්මලේ මාවෙලගමේ පදිංචිව සිටි කොත්මලේ ගණිතයා විවාහ වූයේ උඩුනුවරිනි. ඔහුට සිටියේ දුවරුන්ම හත් දෙනෙකි. හත්දෙනාම අවිවාහක වූහ.
ගෙදර වැඩට ගණිතයා විසින් හිසේ කටුවක් ගසා මෙල්ල කොට යක්ෂයෙක් රැගෙවිත් සිටියේය. හිසේ කටුවෙන් යකාගේ බලය පාලනය වූ අතර යකා බලා සිටියේ කෙදිනක හෝ මේ උගුලෙන් ගැලවී යාමටයි. මෙකළ ගණිතයාගේ බිරිඳ ගැබ්බරව සිටියාය.
8. යකාගේ පළි ගැනීම…
දිනක් ගණිතයා දුර ගමනක් ගිය අතර යකාගෙන් පවුලේ පිරිස ආරක්ෂාවන බන්ධන කර යාමට ඔහුට අමතක විය. තමාගේ හිසේ කටුවක් ඇණුනු බව ගණිතයාගේ බිරිඳට කිවූ යකා ඇය ලවා කටුව ගලවා ගත්තේය. බන්ධනයෙන් මිදුණු යකා පළමුව කළේ ගණිතයාගෙන් පළි ගැනීමට ගැබ්බර බිරිඳ හා දුවරුන් හත්දෙනා ලේ විලක් මැද මරා දැමීමයි. ඉන්පසු ඌ ශ්‍රීපාද අඩවියට පළාගොස් සැඟවුණේය.
ආපසු පැම්ණ මෙය දැක කෝපය ඉහව හා ගිය ගණිතයා කරුංකා ගෙඩියක් මතුරා පිල්ලියක් ලෙස යවා යක්ෂයා මන්ත්‍ර බලෙන් ගේන්වා තිස්පනේ පිහිටා තිබූ බුදුන්හිටිලෙන අසල ඉපැරණි ඇටඹ ගහට තබා ගෙල කපා මරා දමා ඇත. ඉන්පසු මේ ඇටඹගහ “යකඹ” ගහ නමින් ප්‍රසිද්ධ විය.
ඔහුට සිටි දූවරුන් හත්දෙනා ම අවිවාහක වූ නිසා කොත්මලේ ගණිතයාගේ බාල සොහොයුරා වූ කුඩා නැකැත්තාගෙන් අද සිටින ඔහුගේ නෑදෑ පරපුර පැවතෙයි..
8. රටටම අබිරහසක් වූ කොත්මලේ ගණිතඥයාගේ අමුතු මරණය…
කොත්මලේ ගණිතයා විශේෂ දක්ෂතා රාශියකින් හෙබි ජ්‍යොතිෂ ශාස්ත්රඥයකු හැටියටයි ඉතිහාසයේ සඳහන් වෙනනේ. ඔහු සියවස් ගණනාවකට පෙර එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස තම ජ්‍යොතිෂ ඤාණයෙන් අනාගතය බලා කවදා හෝ කොත්මලේ ජලාශයක් ගොඩනැගෙන බව පවසා ඇති බවත් සඳහන් වෙනවා. ඒ, 1782ටත් පෙරයි.
මේ අතිදක්ෂ ජ්‍යොතිෂවේදියාගේ අවසානය පිළිබඳවද සුවිශේෂ කතා පුවතක් කියැවෙනවා.
රාජාධිරාජසිංහ රජු සමයේ රජුට හරි අපූරු අදහසක් පහළ වෙනවා. තමන් කරන හැම දේකටම ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ගේ සේවය ලබාගත්තත් ඔවුන්ගේ දැනුම කෙබඳුද යන්න තමන් හැරි හැටි නොදැන සිටීම නොගැළපෙන නිසා ඔවුනගේ දැනුම පරීක්ෂා කිරීමට රජුට සිතෙනවා. ඒ සඳහා විශාල ලබු ගෙඩියක් රැගෙන එහි ඇට ප්‍රමාණය පිළිබඳ සිය ශෘස්ත්රඥයන්ගෙන් විමසීමට රජු කටයුතු කරනවා. මෙහිදී ඔවුන් විවිධ අදහස් දක්වන අතර, එම ප්‍රමාණය අතර නැළියක ප්‍රමාණයට ඇට, අට නැළියක් තරම් ඇට ආදී වශයෙන් ප්‍රමාණ දැක්වුණත් කොත්මලේ ගණිතයා වසා ඇත්තේ ලබු ගෙඩියේ ඇට තුනක් පමණක් ඇති බවත්, ඉන් ඇට දෙකක් පුහු බවත්ය. මේ තරම් විශාල ලබු ගෙඩියක ඇත්තේ ඇට තුනක් පමණක් බව පැවසීම තමාට කළ විහිළුවකැයි සිතූ රජු තරමක කේන්ති ගත්තත් ඒ බව නොපවසා ලබු ගෙඩිය කපා බලන්නට අණ කරනවා. එහෙත් ලබු ගෙඩිය කැපූ පසු දක්නට ලැබී ඇත්තේ එහි ඇට තුනක් පමණක් ඇති බවත්, ඉන් ඇට දෙකක් පහු බවයි.
මෙය රජුගෙන් තාන්න මාන්න ගෞරව ලැබිය යුත්තක් වුවද අනෙකුත් නක්ෂත්රකරුවන්ගේ කේලාම් අසන රජු කොත්මලේ ගණිතයාගේ හිස ගසාදැමීමට අණ කරනු ලබන්නේ කිසිවකු නොසිතූ ආකාරයටයි.
මේ අනුව එම මොහොතේ තත්කාලයත්, තම ජන්ම වේලාවත් සසඳා බලන්නට කොත්මලේ ගණිතයා කටයුතු කරන්නේ කිසිදු කලබලයකින් තොරවයි. එතැන් පටන් පැය තුනකට පසුව සිය ආයු කාලය අවසන් වන බව ජ්‍යොතිෂ විද්‍යානුකූලව හඳුනාගන්නා මේ අතිදක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා, වධකයාගේ කඩු පහරින් මියයනවාට වඩා තම ආයුෂ අවසන් වීමෙන් පැය තුනකට පසු මියයෑම වටිනා බව සිතා කවියකින් ඉල්ලීමක් කරන්නට කටයුතු කරනවා. එම කවිය ජනප්රවාදයේ සඳහන් වන්නේ මෙලෙසිනි.
සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤං
සත් අවුරුද්දක් ගිය කක්කුන්ඩකුගේ කකුල් ගණන් කරලා දෙඤ්ඤං
අබ තුන් පෑලක් මැනලා දුන්නොත් පියලි ගණන් කරලා දෙඤ්ඤං
තව තුන් පැයකට නොමරා සිටියොත් මෙතුන් පදේ මං තෝරා දෙඤ්ඤං
කවිය ඇසූ රජුගෙන් කොත්මලේ ගණිතයාට පැය තුනක සහන කාලයක් ලැබුණු බවත් එම කාලය අවසන් වෙත්ම ආයුෂ නිමවීමෙන් කොත්මලේ ගණිතයා නම් ඒ මහා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා මියපරලොව ගිය බවත්, ඉන් රජු ඇතුළු පිරිස විමතියට පත්වූ බවත් ජනප්රවාදයේ සඳහන් වෙයි.
කෙසේ නමුත් තම ජීවිතය වධකයාගේ කඩු පහරින් අවසන් වෙනවාට අකැමැති වූ මේ සුවිශේෂ ශාස්ත්‍රඥයා තමාටම වස් කවියක් කියාගෙන පැය තුනකට පසු දිවියෙන් සමුගත් බවත් ඇතැම් ජනප්‍රවාදයන්හි පැවැසෙනවා.
මේ කුමන ආකාරයට ජීවිතයෙන් සමුගත්තද ‘කොත්මලේ ගණිතයා’ තවමත් ජන සමාජය තුළ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ විශ්වාසය ගොඩනංවා තබන්නට සමත් වූ ප්‍රබල චරිතයක් බව නම් කිව යුතුමය…
…………….අන්තර්ජාලය ඇසුරෙනි………………
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න