මට මතක ඇති කාලෙක දවසක් තාත්තා ලස්සන ගැහැණු කෙනෙක් ගෙනාවා. හරියටම මම අට වසරෙ. මගේ අම්ම නැති වෙලා ඒ වෙද්දි ගොඩක් කල්. ගොඩක් කල් කිව්වෙ අවුරුදු දෙකක් විතර. මම පිරිමි ළමයෙක් නිසා ආච්චි අම්ම නම් කිව්වෙ එයාලා අරගෙන හරි හදන්නම් කියලා. ආච්චි අම්ම කිව්වෙ අම්මගෙ අම්මා.
ඒ දවස් වල මට මතකයි මම කට්ටි පැන පැන ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යනව කියලා හිරාන්ලා එක්ක රෝන්දෙ ගියා යුනිෆෝම් පිටින්. මම හිතන්නෙ මට කුඩම්මෙක් ගේන්න මූලික හේතුවත් වුණේ ඒක. අම්මෙක් නැතිව තාත්තාගෙ අවධානය කොහොමත් මගෙන් ගොඩක් ඈත තුබ්බ නිසා කුඩම්මෙක් ගෙනත් මාව ආදරෙන් බලාකියාගන්න නිසා වෙන්න ඇති.චණ්ඩි ආච්චිට රසට උයන්න පුළුවන්. අම්මටවත් එහෙම උයන්න බැහැ මට මතක විදියට. ආච්චි ඉව්වට මාව බලාගන්න හයිය ඉක්මනින් නැති වෙන නිසා වෙන්න ඇති තව ගැහැණියක් තාත්තාට ළං කරන්න ඕන වුණේ. අම්ම නැහැ කියලා මතක ඇති කාලෙක මට අඩුපාඩුවක් තිබිලා නැහැ ඉස්කෝලෙන් කට්ටි පනින වැරැද්ද නොවෙන්න. නොපෙන්නුවට මට වැඩියෙන් ආදරේ කරේ චණ්ඩි ආච්චි. තාත්තා සමහර දවස් වලට ගෙදර ආවෙත් නැහැ. මාව බලා ගත්තෙ චණ්ඩි ආච්චි. චණ්ඩි ආච්චි කියන්නෙ තාත්තගෙ අම්ම. එයාට එහෙම කියන්නෙ කෙල්ල කාලෙ කොල්ලෙක්ට ගහපු නිසාලු. මම නම් කවදාවත් අහලා නැහැ ඇයි ගැහුවෙ කියලා. එහෙම වුණානම් වෙන්නෙ මටත් ගුටි කන්න. චණ්ඩි ආච්චිට අපේ තාත්තත් බයයි. මාත් බයයි. කුඩම්ම කියල වෙනසකුත් නැහැ.
අම්ම ගැන ලොකු මතකයක් තිබ්බෙ නැහැ මගේ හිතේ. අම්ම තළෙලු ගැහැණියක්. පොඩි කාලෙ ශිෂ්යත්ව පන්ති අරන් ගියා නම් මතකයි දවල් රෑ නැතුව. ඇත්තටම මට ඒක ඒ කාලෙ ලොකූ වදයක්. අම්මගෙ තලෙලු පාට පෙට්ටියේ ඉද්දිත් එහෙම්මම තිබ්බා. සාරියක් ඇඳලා මාලයක් දාලා. තාත්තා නම් ලොකූවට ඇඬුවෙ නැහැ අම්ම මැරුණාම. අම්මගෙ අම්ම නම් විලාප තිබ්බා. අම්ම මැරෙන්න කලින් අවුරුද්දක් විතර ඉස්පිරිතාලෙ හිටියා. ඒ දවස් වල තාත්තා ගේන කඩ කෑම කන්න මට තිබ්බෙ පුදුම පෙරේතකමක්.
“අම්ම හැමදාම ඉස්පිරිතාලෙ ඉන්නවනම් හොඳයි.”
දවසක් මම කිව්වම චණ්ඩි ආච්චි බැන්නා මදි නොකියන්න. ඒ කාලෙ මට අම්ම ගැන ලොකු හැඟීමක් ආදරයක් තිබ්බෙ නෑ. ඇයි කියල කියන්න හේතුවක් නැතත් ඒ මගේ ළමා විය නිසා වෙන්න ඇති කියලා හිතෙනවා මට. ඉතිං අම්ම මැරුණාම මාත් ඇඬුවෙ නැහැ. තාත්තත් අඬපු නැති නිසා.
කුඩම්මා ගේන්න මූලික හේතුවත් මම කියලා තමයි චණ්ඩි ආච්චි නම් කියන්නෙ. හිරාන් එක්ක කට්ටි පැනපු එක චණ්ඩි ආච්චිට ආරංචි වුණ ගමන් මට දඬුවම් කරපු එකට වඩා වුණේ තාත්තට තරවටු කරපු එක.
“මං උඹට නොකිව්වයි කියන්නෙපා නිශාන්තයෝ. දැන් උඹ මැරිච්ච ගෑණි වෙනුවෙන් තනිකඩව හිටියා ඇති. ඔහොම ඉන්න ගියොත් මේ කොල්ල හිරේ විලංගුවක වැටෙයි”
මම හිරාන්ල එක්ක කට්ටි පැනලා නන්නත්තාරෙ යයි කියන බයට චණ්ඩි ආච්චිට ඕන වුණේ මගේ තාත්තාව ආපහු බන්දන්න. ඒ වෙලාවට තාත්තා මුකුත් කියන්නෙ නෑ. ඔහේ ඉන්නව මිසක්. තාත්තා හරිම ගුප්තයි. අම්ම එක්ක එයා කවදාවත් රණ්ඩු කරගෙන නෑ. ඒත් ලොකු ආදරයක් පෙන්නලත් නෑ මතක හැටියට. ඒත් එදා ආච්චිගෙ කතාවෙන් තේරුණා තාත්තා අම්මට ආදරෙන් ඉඳපු බව. දැන් ආපහු තාත්තව බන්දන්න හදන්නෙ මට අම්මෙක් ඕන නිසා.
කොහොමහරි දවසක් මම ඉස්කෝලෙ ගිහින් එද්දි චණ්ඩි ආච්චි කිව්වත් වගේ මගේ තාත්තා දෙවනි පාරටත් විවාහ වෙලා තිබුණා. ඒ ගෑණු කෙනා හරිම ලස්සනයි. අපේ අම්මාටත් වඩා. කැවුම් කොකිස් කෙසෙල් ගෙඩි එක්ක ලස්සන කෑම මෙසයක් විතරයි තිබ්බෙ. චණ්ඩි ආච්චි මාව උකුලට අරන් කුඩම්මට මාව අඳුන්වලා දීපු විදිය තාම මතකයි.
“මේ ඉන්නෙ අපේ පණ. මේකව බලාගන්න එකත් උඹේ රාජකාරියක්…”
ඒක නම් අණක්. චණ්ඩි ආච්චි අණ දෙන්න කොහොමත් දක්ෂයි. කුඩම්මට අම්ම කියන්න කියලා මට චණ්ඩි ආච්චි කිව්ව හන්දා මං එයාට “අම්ම” කිව්වා. මට තිබ්බෙ නෑ ඔය සමහර ළමයි කුඩම්මල එක්ක දාගන්නව වගේ වලි. ඕන එකක් කියලා මගේ පාඩුවේ මං හිටියා මිසක්. මම නිවුණු කෙනෙක් නෙවෙයි. ඒත් ගෑණු එක්ක මම පොඩි කාලෙ ඉඳන් පැටලෙන්න යන්නෙ නැහැ.
තාත්තයි කුඩම්මයි ආදරෙන් ඉන්නව මං ගොඩක්ම දැකලා නෑ. කුඩම්මගෙ සේරෝම දේවල් චණ්ඩි ආච්චි පාලනය කළා. වෙලාවකට කුඩම්මා බුකවගෙන හිටියා. ඒත් කෙලින් ආච්චි එක්ක කතා කරලා නෑ කවමදාකවත්. එයා මගේ රෙදි සේදුවා. ඇඳුම් අයන් කරා, මාව පංති අරන් ගියා. ඉස්කෝලෙ නම් යන්න තාත්තා මාව වෑන් එකට දැම්මා.
ඒත් කුඩම්මා මොකක්දෝ ලොකූ දුකකින් හිටියා.
“අපි කවදද නිශාන්ත අපිටම කියලා දරුවෙක් හදන්නෙ…”
මට ඇහුණ දවසක් කුඩම්මා තාත්තට කියනවා. එයාට ඕන වෙලා තිබුණා තමන්ගේම කුසින් දරුවෙක් වදන්න. ඒක සාධාරණයි. හැම ගෑණියෙක්ම කැමතියි තමන්ගෙ බඩින් දරුවෙක් බිහිකරලා උස් මහත් කරලා ඒ දරුවගෙ දරුවො ලොකු වෙනකල්ම ළඟින් ඉන්න. ඉතිං ඒකෙ අසාධාරණයක් නැහැ කොහෙත්ම.
ඒත් චණ්ඩි ආච්චි නම් එක හෙළාම කුඩම්මට බැන්නා මට මතකයි.
“තව ඕවට කල් තියනවා…”
තාත්තා නම් හැම දේකටම හිටියෙ නිහඬව. සමහර විට මට වෙනස්කමක් වෙයි කියලා වෙන්න ඇති ඒ අය කුඩම්මා ගැබ් ගන්නවට අකමැති වුණේ. ඒත් එයා එහෙම නපුරු කෙනෙක් නෙවෙයි. සමහර විට චණ්ඩි ආච්චිට බයේ වෙනස්කමක් නොකර හිටියද දන්නෙත් නැහැ. ආකොච්චර අසාධාරණද ඒ ඉල්ලීම. චණ්ඩි ආච්චිට බයේද කොහෙද කුඩම්මා හැමදේම ඉවසගෙන හිටියා මට මතකයි. බලන බලන හැමපාරකම ඒ ඇස් තිබ්බෙ කොයි වෙලෙත් බොඳ වෙලා.
කුඩම්මා මාව පන්ති ගෙනියනකොට තමයි තරිඳු මාමව මුණ ගැහෙන්නෙ. තරිඳු මාමා ත්රීවිල් එළෙව්වා හන්දියේ පාක් එකේ.
“කකුල් කෙඩෙත්තුව හින්ද අද තරිඳු අන්කල්ගෙ වීල් එකේ යමු…”
ඇත්තටම මට නම් එහෙම කෙඩෙත්තුවක් තිබ්බෙ නෑ. පංතිය තිබ්බෙ ටිකක් ළඟ. ඒත් කුඩම්මා හැමදාම තරිඳු මාමාගෙ වීල් එකේ ගියා. මට හිතෙන විදියට ඒ විනාඩි කීපයෙ තමයි එයා සතුටින්ම හිටියෙ. හිනා වුණා. කතා කරා.. හරියට කෙල්ලෙක් වගේ. මම ඔහේ බලාගෙන හිටියා. ඒ නිසා කුඩම්මා මාව ක්ලාස් අරන් ගියේ හරිම කැමැත්තෙන්. චණ්ඩි ආච්චිගෙයි තාත්තගෙයි බුම්මටු පිළිවෙත කුඩම්මට විතරක් නෙවෙයි කිසිම ගෑණියෙක්ට දරාගන්න බැහැ. තාත්තා කුඩම්මගෙන් කෑවද බිව්වද කියලවත් අහනවා මං දැකලා නැහැ.ඒත් හොද්දක ලුණු වැඩි වුණොත්, කෑම මේසෙට තියන්න පොඩ්ඩක් පරක්කු වුණොත් නිහඬව ඉන්න කාගෙ කාගේත් කටවල් නම් ඇරුණා.
ඒකට තරිඳු මාමා. ප්රශ්න කෝටියයි. කෑවද, බිව්වද.. අරක මේක. ගොඩක් වෙලාවට එයා මටත් ටොෆි චොකලට් එහෙම දෙනවා. ආසාවෙ බෑ. ඒත් ඉතිං ඕව කොහෙද වැඩි කල් තියෙන්නෙ.
දවසක් චණ්ඩි ආච්චි කුඩම්මගෙ කොණ්ඩෙන් අල්ලන් තැලුවා. මං යාළුවෙක්ගෙ ගෙදර ගිහිල්ලා ආවා විතරයි. මටත් කියලා යමක් කමක් තේරෙන වයස එතකොට.
“ඈ බොල.. තෝ මොකක්ද මේ එක එකාලගෙ වීල් වල නැගන් කොරන නාඩගම…. උඹේ මිනිහා නිශාන්තයත් ඉන්දැද්දී…”
කුඩම්මා වේදනාවෙන් කෙඳිරි ගානවා. කුඩම්මා තරිඳු මාමාගෙ වීල් එකේ යන එක චණ්ඩි ආච්චිගේ කනේ තියලා කවුරු හරි. ඒක ඉතිං මහ වැරැද්දක්ද. චණ්ඩි ආච්චි මේ යක්ෂාවේෂ වෙලා ඉන්න තරම් ඒක වැරැද්දක් නෙවෙයි. මම ගිහින් ආච්චිගෙ ඇඟේ එල්ලුණා.
“කුඩම්මව අතාරින්න ආච්චි…”
“තෝ පලයන් ගෙට.. ලොකු එවුන්ගෙ ඒවට මැදට එන්නැතුව…”
චණ්ඩි ආච්චි එදා රෑ නිදා ගන්නවට වඩා කරේ කුඩම්මට දෙස් දෙවොල් තිය තියා තාත්තා එක්ක බැනපු එක. තාත්තා නම් වචනයක් වත් කිව්වේ නැහැ. වැඩ අරිලා ආපු මහන්සියටද නැත්තම් කුඩම්මා ගැන තිබ්බ කළකිරීමටද කියන්න මට තේරුණේ නැහැ.
එදා ඉඳන් කුඩම්මට මාව ක්ලාස් ගෙනියන එක තහනම් වුණා. මම ක්ලාස් යද්දි තරිඳු මාමත් හැමදාම වගේ කුඩම්මා ගැන ඇහුවා මට මතකයි.
“අම්ම නැද්ද කොල්ලො…”
“නැහැ…”
හැමදාම මං එකම උත්තරේ දුන්නත් තරිඳු මාමගෙ මූණෙ තිබ්බෙ මහා බලාපොරොත්තු ගොන්නක්. මට කුඩම්මා පවු කියලා හිතුණා. ගෙදර එයා හිටියෙ හිර වෙලා. චණ්ඩි ආච්චිට කුඩම්මව ඕන වුණේ මාව බලාගන්න කියලයි මට හිතෙන්නෙ. ඒකයි එයා කුඩම්මට තහංචි පැනෙව්වේ.
කොහොමහරි තව දවසක චණ්ඩි ආච්චි පරල වුණේ කුඩම්මට වමනි යනව දැකලා. කුස්සිය පැත්තට ගිහින් එයා අමාරුවෙන් වමනි කරද්දි ආච්චි කෑගැහුවෙ ඇයි කියලා මට තේරුම් ගන්න ගොඩක් කල් ගියා.
“ඉවරයි… තෝ අර නිශාන්තයගෙ නම්බුව කෑවා…”
කොහොම වුණත් කුඩම්මගෙ ඇස් සතුටින් දිලිසෙනවා දැක්ක මම එවෙලේ. කුඩම්මා ගැබ් ගෙන තිබුණා. ඒ දරුවා මගේ තාත්තගෙද නැත්තං තරිඳු මාමගෙද කියන්න මං අදටත් දන්නෙ නෑ. ඒත් කුඩම්මා දරුවා වෙනුවෙන් ගොඩක් දේවල් ඉවසුවා. චණ්ඩි ආච්චිට ඕන වුණේ කුඩම්මව තාත්තගෙන් දික්කසාද කරවන්න.
“ළමය අර මිනිහගේ. උඹ ඕකිව දික්කසාද කොරපන්….”
තාත්තා ඒ වෙලාවෙත් නිහඬව හිටියා. තාත්තගෙ කට ඇරෙන්නෙ නෑ ලෝකෙ පෙරලුනත්. සමහර විට ඒ දරුවා තාත්තගෙ වෙන්න ඇති. මට හිතුණෙ එහෙමයි. චණ්ඩි ආච්චිගෙ කුණු බැනුම් අහගෙන කුඩම්මා දරුව මාස නවයම දරාගෙන හිටියෙ අපේ ගෙදර. කුඩම්මටත් දොළ දුක් තිබුණා. එයා ඒව කිව්වෙ මට.
“අනේ පුතේ. කඩේට ගිහිල්ලා හොඳ කේක් ගෙඩියක් අරන් එන්නකෝ….”
චණ්ඩි ආච්චිට හොරෙන් මගේ අතේ පන්සීයක් මිට මොළවලා එයා කියනවා සමහර වෙලාවට. ආච්චිගෙ ඇස් වලට වැලි ගහලා මාත් පුළුවන් විදියට ඒ දොළ නිව්වා. ඒත් හැමදාම ඕක කරන්න හම්බුනෙත් නෑ. දවසක් චණ්ඩි ආච්චි මගේ කන මිරිකුවා රිදෙන්නම. එදා තමයි මං ආච්චිගෙ චණ්ඩිකම දැක්කෙ.
“ගෙට වෙලා හිටින්.. ආයෙ ගිහින් අහුවුණොත් එක එකාට කඩේ තොගෙ කකුල් කඩනවා මං….”
ඊට පස්සෙ නම් මට කුඩම්මට හොරෙන් බඩු ගේන්න හම්බවුණේ නැතිම තරම්. කුඩම්මා අර ලොකූ බඩත් එක්කලා වැඩ ඔක්කෝම කරගත්තේ තනියෙම. ආච්චි මටවත් උදව් වෙන්න දුන්නෙ නෑ. කරපු එකම දේ තමයි දරුව ලැබෙන්න ළං වුණාම කුඩම්මව තට්ට තනියෙම වීල් එකක පටවලා ඉස්පිරිතාලෙ ඇරපු එක.
චණ්ඩි ආච්චි අමතක කරලා තිබුණා එයත් කාලෙක මේ වගේ බඩ දරු අම්මෙක් වෙච්චි විත්තිය. තාත්තත් නිහඬව හිටියෙ ඇයි කියලා මට නම් හිතාගන්න බැහැ. එක්කො තාත්තට කොන්දක් නැහැ. නැත්තම් අම්ම ගැන තාම හිතනවා. අඩුම දරුව එයාගෙද නැද්ද කියලවත් තාත්ත කිව්වෙ නැහැ.
ඉස්පිරිතාලෙන් ගෙදරට ආරංචිය ආවා දරුව ලැබුණා කියලා. පිරිමි දරුවෙක්. ඒත් මගේ අම්ම වගේ කුඩම්මත් මේ ලෝකෙ හැරගිහිල්ලා තිබුණා. බඩදරු කාලෙ කුඩම්මට හරි සාත්තුවක් වැටිලා නැති නිසා දරුව ලැබෙන්න ගිහින් අමාරු වෙලා කියලා තමයි ගෙදරට ආරංචි වුණේ. මට මහ කාලකණ්නි දුකක් ඇතිවුණා ඒ වෙලාවෙ. චණ්ඩි ආච්චි දරුව භාරගන්න කැමති වුණේ නැහැ. තාත්තටත් භාරගන්න ඉඩක් දුන්නෙ නැහැ. ඒත් මට ඕන වුණා ඒ ළමයා අපේ ගෙදර ගේන්න.
“අනුන්ට ජාතක වුණු ළමයි ගෙට ගන්න තොපිට පිස්සුද…”
ආච්චි සාප කරා. කුඩම්මගෙ මරණෙ කරේ මල්ශාලාවක. ආච්චි නම් අඩියක් තිබ්බෙ නැහැ. මේ වෛරයට හේතුව කුඩම්මාගෙ කුසේ ඉඳපු දරුවා තරිඳු මාමගෙ කියලා හිතාගෙන හිටපු එක. මට නම් හරීයට දුක හිතුණා.
දරුව නිවාසෙකට භාර දුනා. දැන් නම් ලොකුත් ඇති. මට මේ හැමදේම හිතෙන්න ගත්තෙ ඉස්පිරිතාලෙ ඉන්නකොට.
“සර්.. සර්ගෙ තාත්තට වකුගඩුවක් දෙන්න කෙනෙක් හම්බවුණා.”
මම සතුටින් නැගිට්ටා. මම දැක්කා ඩොක්ටර් එක්ක කතා කර කර ඉන්න කඩවසම් තරුණයෙක්. ඔහුට තිබ්බෙ මගේ මගේ තාත්තගෙ මුහුණුවර. එක පාරටම මට මේ කතාව මතක් වුණේ ඔහු දැක්කාම. සීයට අනූනවයක්ම මට විශ්වාසයි මොහු මගේ මල්ලී. චණ්ඩි ආච්චී සැක කරපු කුඩම්මගෙ දරුවා. තරිඳුගේ කියලා හංවඩු ගහලා දස නවනිංගිරා මැද්දෙ ලෝකෙට බිහිකරපු මගේ තාත්තගේ ලේ උරුමය.
දුවලා ගිහින් ඔහුට කතා කරන්න මට හිතුණත් මොකක්දෝ අහේතුවකට මං නැවතුණා. තාත්තා ගැන පළමු වතාවට මට ඇතිවුණේ ලොකු කලකිරීමක්. තාත්තගේ ආදරේ ගොලු වෙලා තිබ්බෙ ඇයි කියලා මට හිතාගන්න බැහැ. මොනා වුණත් කුඩම්මට අපෙන් වුණ වරැද්ද හිතට වද දුන්න නිසාම මට ඔහුව හමුවෙන්න පැකිලීමක් ඇතිවුණා.
කවදාවත් මගේ “මල්ලීට” මට මුහුණ දෙන්න බැරි වෙයි. ඒත් ඔහුගේ ලේ සුවඳ නම් කොහේ දැක්කත් මට අඳුරගන්න පුළුවන් වෙයි කියලා හිතුණා.
උපුටා ගැනීම: පියුමි තාරුකා