මං දෙවනියට ජීවත් වුන ගමේ එක බස් එකයි තිබුණේ. කිලෝ මීටර් එක හමාරක් දෙකක් විතර පයින් ඇවිත් තමයි උදේට පාසල් යන්න නැත්නම් අවශ්ය ගමනක් යන්න බස් එකට නගින්නේ. ඉතින් ගමේ අය එකිනෙකාට උදව් උපකාර කර ගත්තා අවශ්යතා වලදී. වහින වෙලාවකට කුඩයක් නැති කෙනෙක් කුඩේ යටින් එක්කරගෙන යන්න, කඩේ පොළේ ගිහින් එන කෙනෙක් ගේ බඩු ටිකක් ගෙනියන්න උදව් වෙන එක, තරමක වයසක උදවියගේ අතින් අල්ලගෙන යන එක ඔය වාගේ පොඩි පොඩි උදව් පදව් හුවමාරු කර ගත්තා. මට කොහොමටත් ටිකක් පැනලා උදව් කරන ගතියේ සුළු අමාරුවකුත් තියෙනවා. දැනටත් මම ජීවත් වෙන රටේ අර මම කළින් ලිව්ව විදියේ උදව් කරන්න මම ඉක්මනට ඉදිරිපත් වෙනවා. ඉස්සරම නම් මගේ දරුවෝ දෙන්නා ටිකක් ලැජ්ජයි නැත්නම් බයයි මම එහෙම කරන කොට . මොකද සමහර වයසක උන්දැලා කොච්චර බැරි වුණාත් ඒක පෙන්නන්න කැමති නැහැනේ. “අම්මේ… බලාගෙන එයාලා කැමති වෙන එකක් නෑ උදව් ගන්න “එයාලා මට කියනවා. “ඒකට කමක් නෑ…. කැමති කෙනෙක් උදව් ගනී…. අකමැති කෙනෙක් එපා කියයි.., මගේ ඇඟේ වදින එකක්යැ.”.. ඒ වෙලාවට මං උත්තර දෙන්නේ එහෙම.ඒත් සමහර වයසක උදවිය සහ පොඩි දරුවෝ ඉන්න අම්ම තාත්තලා හොඳට හිනාවෙලා ස්තූති කරලා යද්දී සමහර වයසක කාන්තාවන් මූණ අත ගාලා ස්තූති කරද්දී මං කියපු කතාව ඇත්ත කියලා එයාලා දන්නවා. ඒ නිසා මගතොට යද්දී මගේ මේ වැඩ වලට එයාලගෙන් දැන් උපරිම සහයෝගය ලැබෙනවා. ඉතින් මගේ මේ අද කතාව ඒ වගේ උදව් කරන්න ගිහින් මට වෙච්ච අකරතැබ්බයක් ගැනයි.
මේක උනේ මීට අවුරුදු අටකට විතර කලින්. මම රැකියාව කරන ස්ථානය තිබුණේ ගෙවල් කිට්ටුවම නිසා දහවල් කෑම කන්න මම ගෙදර ආවා. එහෙම ඇවිත් දෙකට විතර සේවා ස්ථානයට යන්න පිටත් වෙද්දී මුළු අහසම කළු කර ගෙන ආව නිසා කෝකටත් කියලා ලොකු කුඩයක් අරගෙනයි එළියට බැස්සේ. මිනිත්තු පහක් ගියේ නෑ මෙන්න ධාරානිපාත වැස්සක් කඩා වැටුණා. ලොකු කුඩේ අරන් ආපු එක ගැන සතුටකුත් දැනුණා. මෙන්න හොඳටම වකුටු වෙච්ච වයසක කාන්තාවක් හැටට හැටේ මාව පහු කරන් ගිහින් දඩස් ගාලා බිම වැටුණා. ඉතින් මං වහාම පැනලා ඈව නැඟිටුවලා කුඩේ ඉහිලුවා නොතෙමෙන්න. ආච්චි මා දිහා ඔරවලා බලලා මගේ වැලමිටේ තදට එල්ලුනා.
“මැඩම් ඔයා කොහෙටද යන්නේ? “.. මම කීප වතාවක් ඇහුවට පස්සේ “ගෙදර.. ගෙදර…”කියලා මෙන්න මෙයා තරහින් කියපි. ආච්චි අර පුරුදු වේගයෙන්ම සිරුරෙන් බාගයක් විතර පොළොවට නැඹුරු කරගෙන මාවත් ඇද ගෙනම වගේ ගමනේ. මට වුනේ හරිම වැඩක්. මේ මහා වරුසාවේ මේ මනුස්සයා මඟ තෙමෙන්න දාලා යන්නත් බෑ,… යන්නේ කොහෙද කියලා කියන්නේත් නෑ.,… මාව අත අරින්නෙත් නෑ.
අර ශ්රේක් චිත්රපටයේ බූරුවට උනා වගේ.” දැන් ළඟයිද.. මැඩම්?..” මං අහනවා.” ඔව්… මේ ළග” ඈ නොරිස්සුමින් කියනවා. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ. ආච්චි කිසිම වගේ වගක් නැතිව මාවත් ඇදගෙන ගමනේ යා… ඇතුල් පාරවල් කීපෙකින් ගිහින් ටිකක් පැරණි ඒත් බොහෝ වටිනාකමක් ඇති ගෙවල් තියෙන පැත්තකට අපි ආවා. එයින් එක නිවාස සංකීර්ණයක් අසළ නැවතුනු ඇය නාම පුවරුවේ සඳහන් නමක සීනුව නාද කළා. ඒත් කිසිවෙකු පිළිතුරු නොදුන්නත් එවෙලේම ප්රධාන දොරෙන් පිටතට පැමිණි අයෙක් ඇයට නම කියා ආමන්ත්රණය කර දොරටුව විවෘත කර දුන්නා. ඉන්පසු විදුලි සෝපානයෙන් දෙවැනි මහලට ගිය ඈ එක් නිවසක දොර හැර ඇතුල් වුණා. මේ හැමදේම කළේ මගේ අත අත් නොහැරමයි.හැබැයි මම බලෙන් වගේ එතැනදි මගේ අත නිදහස් කර ගත්තා. නිවසේ සිටින කිසිවෙකුට සිද්ධිය පවසා මේ කාන්තාව භාර දී යාම යුතුකමක් ලෙස මට හැඟුනේ ඇය මානසිකව යම් ගැටලු තත්වයක සිටින බව තේරුම් ගිය නිසයි. නමුත් මා නිවසට ඇතුල් නොවී පිටතට වෙලයි හිටියේ. “එනවා… එනවා ඇතුළට.. මේ සීතලේ කෝපි කෝප්පයක් නොබී කොහේ යන්නද?…” මේ කාන්තාව අර සුපුරුදු සැර ස්වරයෙන් මට කියනවා. මම රැකියාවට ඇතුළු විය යුතු වෙලාවත් පහු වෙලා….
මෙන්න ඒ එක්කම ඉදිරිපස නිවසේ දොරත් ඇරුණා. මෙයාගේ සද්දේ ඇහිලද කොහෙද. “ඔයා මොකද ඔය දොර ළඟ කරන්නේ…. කොහොමද ඔයා ඇතුළට ආවේ…? “දොරෙන් එලියට ආපු මැදිවියේ කාන්තාව මාව දැකලා බය වෙලා බෙරිහන් දුන්නා. මම ඈට සිද්ධිය විස්තර කරන්න හැදුවට ඇය පොඩ්ඩක් වත් ඒක අහන්න සූදානම් නෑ. “මම දැන්ම කතා කරනවා පොලිසියට… කෝ මේ වොචර්?..” ජුසෙප්පිනා මහත්මිය ඔයා හොඳින් ඉන්නවා නේද?..ගේ ඇතුල දිහා බලාගෙන මෙයා කෑ ගහනවා. “මෙහෙම කොහොමද මහ දවාලේ ගෙවල් වලට ඇතුල් වෙන්නේ?..” මෙන්න මේ මනුස්සයා මාව හෙරක් කරලා දුරකථනයේ නොම්මර ඔබනවා පොලීසියට. බය වුන පාරට මමත් රත් වෙලා. ඒ අස්සේ ආච්චි කෑ ගහනවා කෝපි බොන්න ඇතුලට එන්න කියලා. මම කර කියා ගන්න දෙයක් නැතිව ඔහේ බලාගෙන හිටියා.
අපි කරන කියන දේවල් ගැන විශ්වය බලා ඉන්නවා කියන දේ ඇත්තක් කරමින් හති දාගෙන මෙන්න දුවගෙන ආවා දකුණු ඇමරිකානු ජාතික කාන්තාවක්. “අම්මේ.. ඇති යන්තම් මම මේ ගෙදර ඇවිත් බලලා නැත්නම් පොලීසියට කියන්නයි හිතුවේ.”.. ඈ මේ වයසක ආච්චිව බලා ගන්න සේවිකාව. හදිසියේ ඇගේ දියණියගේ පාසලෙන් ලැබුණු ඇමතුමකට ඈ පාසලට ගිහින් තියෙන්නේ මේ ආච්චිව ගෙදරට දාලා දොර වහලා. ඒ අතරතුර තමයි ආච්චි දොර ඇරගෙන එළියට ගිහින් තියෙන්නේ. මීට කළින් කීප වතාවක්ම ආච්චි මේ විදියට ගිහින් තියෙනවාලු. එයා ඒ යන්නේ ටිකක් ඈතට වෙන්න තියෙන පල්ලියකටලු. මේ කාන්තාව එතැනටත් ගිහින් තියෙනවා බලන්න. හිටියේ නැති නිසා හොඳටම බය වෙලා. “තව පොඩ්ඩෙන් මට හිරේ යන්න වෙනවා…. ඔයා මට කළේ ලොකු උදව්වක්.” ඈ මට ඉතා ලෙංගතුව ස්තූති කළා. මේ ඔක්කොම අහගෙන හිටපු ඉස්සරහ ගෙදර කාන්තාව දොර හයියෙන් වහ ගත්තා. ඒ අතරතුරේ ආච්චි කෝපි මැෂිම ක්රියා කරවන්න යනවා, කෝප්ප හොයනවා හරි කලබලේ. මම දුර ඉඳන්ම ඈට ආචාර කරලා පිටත් වෙද්දීත්” එන්න කෝපි බොන්න “… කියලා කෑ ගහනවා මට ඇහුණා. ප්රමාදයට හේතුව සේවා ස්ථානයේ ප්රධානියට කිව්වම ඇය හිනා වෙලා කිව්වෙ “මොන දේ උනත් හොඳ කරන එක නවත්වන්න එපා “.. කියලයි. ජීවිතේ අපි පසුපස එන්නේ කළ හොඳ නරක විතරයි කියලා විශ්වාස කරන නිසා මම තවමත් ඒ විදියට පැනලා උදව්වට යනවා.
උපුටා ගැනීම: ශිරන්ති