ගෞතම බුද්ධ ශාසනයේ ඉහළ තනතුරු ලැබුණු අය දිහා බැලුවොත් ඒ හැමෝම ධනවත් සහ කුලවත් අය. සිදුහත් කුමාරයා සුද්දෝධන රජුගේ පුතා. බුද්ධත්වයට පත්වුණාට පස්සේ බුදු හාමුදුරුවෝ අග්ර ශ්රාවකයෝ විදිහට තෝරගත්තේ සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාව. ඒ අය මහණ වෙන්න කලින් මගධ රාජ්යයට අයත් ගම් දෙකක් පාලනය කරපු නායකයන් දෙන්නෙකුගේ පුත්තු. නමින් උපතිස්ස සහ කෝලිත. මේ දෙන්නම බ්රාහ්මීය කුලයට අයත් වංශවත්තු.
අග්ර ශ්රාවක තනතුරට අමතරව සැරියුත් මහ රහතන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මසේනාධිපති කියන නිළ නාමයද දැරුවා. ඒ වගේම බුදු රජාණන් වහන්සේගේ ශ්රාවකයන් අතරින් සෘද්ධි ප්රාතිහාර්ය පෑමෙන් අග්ර ස්ථානය දරුවේ මුගලන් මහා රහතන් වහන්සේ.
ගෞතම බුදු රජාණන් වහන්සේගේ තෘතීය ශ්රාවක ලෙසින් හැඳින්වෙන්නේ මහා කාශ්යප මහ රහතන් වහන්සේ. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ ධූතවාදීන් අතරින් අග්රස්ථානයන දැරුවෙත් මහා කාශ්යප මහ රහතන් වහන්සේ. නිළ බලයෙන් මෙන්ම දේහ ලක්ෂණවලින්ද බුදුන්ට පමණක් දෙවැනි වන නිසා බුද්ධ පරිනිර්වාණනේ පස්සේ පැවැත්වුණු පළමු ධර්ම සංඝායනාවේ මුල සුන ගත්තෙත් මහා කාශ්යප මහ රහතන් වහන්සේ.
බඹ ලොව විසුව උන් වහන්සේ සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වෙලා දම්සක් පවත්වා රජගහ නුවරට වැඩියට පස්සේ බඹ ලොවෙන් චුත වෙලා මගධ රට මහාතීර්ථ නම් බ්රාහ්මණ ගමේ පිප්ඵලිමාණව කියන නමින් උපත ලැබුවලු. ඒ කියන්නේ මහා කාශ්යප මහ රහතන් වහන්සෙත් කුලවත් සහ ධනවත් පවුලක කෙනෙක්.
බුදු රජාණන් වහන්සේ උන්වහන්සෙගේ අග්ර උපස්ථායක විදිහට පත්කර ගත්තේ ආනන්ද මහා රහතන් වහන්සේ ව. උන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ පළමු ඥාති සොහොයුරා කියලා තමයි බෞද්ධ පොත්පත්වල සඳහන් වෙන්නේ. ඒ වගේම ශාඛ්ය වංශිකයෙක්.
බුද්ධ ඉතිහාසේ අතරින් පතර සුනීත, සෝපාක සහ රජ්ජුමාලා වගේ දරිද්රතාවයෙන් සහ කුල පීඩනයෙන් බැට කාපු අයව ශාසනයට ඇතුළු කරගෙන ඔවුන්ව රහත් මගට යොමු කරපු කතා දකින්නට ලැබෙනවා. ඒත් ඒ කවුරුවත්ම ඉහළ නිල තලවලට පත්වුණේ නැහැ.
ඒ කියන්නේ බුද්ධ ශාසනයේ ඉහළ තානාන්තරයක් ලබන්න දැන් වගේ කෙනෙක්ගේ කුලය සහ ධනය කියන කාරණා බලපෑවද? නැත්නම් පෙර කළ පිං නිසා බුද්ධා ශාසනයේ ඉහළ තනතුරු දරපු අය කුලවත් සහ ධනවත් වෙලා ඉපැදුණාද?
මේක මම දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳන් කල්පනා කරපු දෙයක්.
– අනිල් කරැණාරත්න –