ඔන්න ඉතින් මට අබුද්දස්ස කාලෙ උදාවෙච්චි මන් උන්නෙ ඒ වංගියේ එකොළහ කැලෑසියේ.. ඔන්න ඉතින් මාත් ළමිස්සියෙක් වෙච්චි හින්ද මූණෙ පැත්තක මතු වුණා පදාසයක් වහගත්තු කුරුලෑවෙක්.. සුදු තොප්පියකුත් දාගෙන රතු පාටට දිලිහි දිලිහි මගෙ කම්මුල උඩ මේන් මේ කුරුලෑවා වාඩි වෙච්චි.. මන් ඉතින් මේකත් එක්ක ඉස්කෝලෙ යන්නත් අදි මදි හිතුනයින් ගෙදර නවතින්නයි කියල ලැහැස්ති වෙන අල්ලපනල්ලෙ අම්මණ්ඩි එක අතකින් සාස්පානයි අනික් අතින් කොස්සයි අරන් මන් දිහාට එනව පෙනිච්චි.. මන් දුව දුවගෙන ඉස්කෝලෙට අපිව ඇන්න යන වාහනේට ගොඩ වුණේ ගෞරවේට මිසක් බයකට හෙම නෙමේ ඕන්..
ඕන් ඉතින් ඉස්කෝලෙ ගිහින් මේ කුරුලෑවා මන් ලේන්සුවෙන් වහගත්තේ මේ සිරි ලකේ ජීවත් වෙන ඈයො අනුන්ගෙ කුරුලෑවෝ ගැන ඕනෙවටත් වඩා හොයා බලන හින්දමයි.. ඒම හොයන්නෙ ඉතින් අන්යෝන්ය බැඳියාව නිසාලු හොඳේ.. කොහොමින් කොහොම හරි මන් ලේන්සුවෙන් කම්මුළක් වසාගෙන උන්නු එක මා හට එකළ ඇල්ම බැල්ම දැමූ කොලු ගැටයෙක් හට මහත් ප්රශ්නයක් වූයෙන් ඔහු උදාසන පටන්ම මා දෙස හොරෙන් හොරෙන් බලමින් උන්නේය.. හැකි වෙර යොදා කුරුලෑවා නැති කම්මුල පැත්තේන් කට ඇද කර ඔහුට මා එරෙවුවේ කුරුලෑවා වාඩි වී උන් කම්මුල පැත්තෙන් කට ඇද කිරිමට හෝ රවා බැලීමට නොහැකි තරමේ වේදනාවක් තුබු බැවිනි..
මේ කුරුලෑවා දෙදොහක් ගෙවෙන්නට මත්තෙන් එලොව ගොස් කැන්දන් ආවේ තව මිතුරු කුරුලෑවන් පොකුරකි.. උන් මගෙන්වත් නාහා මගේම කම්මුලේ තැනින් තැන කූඩාරම් අටවාගෙන උන්ගේ වගේ වාඩිවෙච්චි.. පෝයක් ගෙවෙන්නට මත්තෙන් එක වහලක් යටට උනු ඇතැම් කුරුලෑවන් තම සනුහරේ ඉදිරියට ගෙන යෑමට ඇප කැප වී වැඩ කළෙන් මගේ මුහුණ කුරුලෑ අධිරාජ්යක් විය… මා විදේශ ආධාර ගෙන කිහිප වතාවක්ම මේ කුරුලෑවන් නසන්නට යුධ වැදුණේ මුන් එක්කන් තවත් වසන්නට බැරි බව කියමිනි..
මොන අටමගල කළද මුන් නසන්නට නොහැකි බව මට වැටහිච්චි.. ඉතුරු වෙන එක කුරුලෑවා පවා තනිවම හෝ තමාගේ පරපුර ඉදිරියට ගෙන යාමට ඇප කැප විණි.. අනේ අනිච්චං කරුමෙක මහත.. ඔහොම වංගියක මන් දේශීය ආධාර ඇතුව නැචුරල් විදියට සටනට බැහැපි.. මක් කොරලවත් මුන්දැලව පරලෝ යවන්නට නොහැකි තැන මා දැන් කොරන්නේ මේ අවලං මූණත්තහඩුව මගේ නම් නොවේ කියමින් ජීවත් වීමයි..
කුරුලෑවන් විවිධාකාර වේ.. ඇතැමුන් තළෙලු අය වන අතර ඇතැමුන් රතු සහ කෙට්ටු ඈයෝ වෙති.. 2XL සයිස් කුරුලෑවන්ද වන අතර ඇතැමුන් සුදු තොප්පි පැළඳ සිටී.. පුන්චි පුන්චි කුරුලෑ පැටවුන්ද සිටින අතර ඇතැම් විටෙක අසමජ්ජාති කුරුලෑවෙක් දෙන්නෙක් මගේ නාසය උඩ තම නවාතැන් සලසා ගනී.. මා හට කුරුලෑවාගෙ අම්මා මුත්තා මතක් වන්නේ එවිටය..
කුරුලෑවන්ටත් මටත් සාමයෙන් සමඟියෙන් ජීවිතේ විදින්නට ඇහැකි වුනත් මේ ලරි සිංකාවෙ අම්මණ්ඩිලගෙන් නම් විසුමක් නැතුවා.. උන් විඩින් විඩේ මායි කුරුලෑවොයි කොටවන අස්සෙ කුරුලෑවන් පරාජය කරන හටන් කොරම ගැනද මට කියපි.. මගුලකට ගියත් මලගේකට ගියත් මුන් මනමාලි හෝ මිනිය පැත්තකට දමා මගේ මූණත්තහඩුව ගැන අසීමිතව සොයා බලයි.. ඒ සා අසීමිත සොයාබැලීම ගැන මට පදයක් දෙකක් කියන්නට කටට ආවත් මා අසීරුවෙන් ඒවා ගිලගන්නේ මුන්ට කියන කට ගලක උලාගන්නේ හොඳයැයි සිතමිනි…
උපුටා ගැනීම: Pamudi Madhubhashinie