පොඩි එකාට අවුරුදු තුන වෙනකොටම කොල්ලාව ළදරු පාසැලකට දාන්න මගෙ යාලුවට උවමනා වුණා.
“එතකොට එක වයසේ යාලුවොත් එක්ක සෙල්ලම් කරලා සතුටෙන් ඉන්න පුලුවන්නෙ.”යාලුවා හිතුවේ එහෙමයි.
“ඒකනම් ඇත්ත!” මාත් කතාව අනුමත කලා.
” දුව ලැබුනට පස්සෙ මට පොඩි එකාත් එක්ක ගත කරන්න ලැබෙන කාලෙත් අඩුයි. උදේට අයියත් ඉස්කෝලෙනෙ. පොඩි එකාට සෙල්ලම් කරන්න කවුරුවත් නෑ!”
“ඔව් ඉතින් පැය තුනට නේ. එයත් යන්න ආසනේ.” මාත් අගුලුපත් තිබ්බා.
මොකද මම දන්නවා මගෙ යාලුවාගේ පොඩි එකා හරි ආසයි ළමයි එක්ක සෙල්ලම් කරන්න. අනික අවුරුදු තුනෙන් පස්සෙ පැය කීපෙකට ළදරු පාසැලකට යන එක හොඳයි කියලා තමයි මාත් හිතන්නේ.මොකද දෙමව්පියන්ගේ උදව් නොමැතිව තමාගේ වැඩ කරගන්න වගේම තීරණ ගැනීමටත් ළදරු පාසැලේදී දරුවන් ඉගෙන ගන්නවා.
දැන් ඉතින් ඔන්න ළදරු පාසැල් කීපෙකටම ගිහින් හොඳට හොයා බලලා මගෙ යාලුවා ළදරු පාසැලක් තෝරා ගත්තා.
මටත් විස්තරේ කීවා.
“හරිම පිළිවෙලයි. දැක්ක හැටියේ මගෙ හිත ගියා. ටීචරුන් බොහොම හොඳ පාටයි. පොඩ්ඩත් ආස වුණා!”
“ඒක හොඳයි!”මටත් සතුටුයි.
දැන් ඉස්කෝලෙ ඔන්චිල්ලා, සී සෝ එහෙම දැකලා කොල්ලාත් ඉස්කෝලෙ යන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. අම්මා ඊටත් වඩා කලබලයි.
ඔන්න කොල්ලා හා හා පුරා කියලා ඉස්කෝලෙ ගියා.
මගෙ යාලුවා “යන්නම් පුතේ!” කියනකොට ගානක්වත් නැතුව “හා!” කීවලු.
ගිය වෙලේම යාලුවොත් හොයාගෙන සෙල්ලම පටන් ගත්තලු!
මගෙ යාලුවාට බොහොම සතුටුයි.
ඔය විදිහට දවස් දෙකක් ගෙවිලා ගියා. මෙන්න තුන්වෙනි දවසේ යාලුවා මූණත් එල්ලන් අපේ ගෙදර!
නිකං දාහට අරන් සීයට දුන්න ගානට!
“මොකද?” මාත් බයවෙලා ඇහුවා.
“අනේ බලන්නකො පොඩ්ඩා ඉස්කෝලෙන් නරක වචන වගයක් ඉගෙන ගෙන!”යාලුවා කීවෙ බොහොම කනස්සල්ලෙන්.
“ළමයි හුඟක්වෙලාවට නරක වචන පාවිච්චි කරන්නේ තේරුමක් ඇතිව නෙමේ. තමාට ඇහෙන වචන ඔහේ ගිරව් වගේ කියෝනවා.”මම යාලුවාව අස්වස්සන්න උත්සහ කලා.
“අපි ගෙදර කවදාවත් එහෙම වචන පාවිච්චි කරන්නේ නෑ!”
“ඒක මං දන්නවා! දැං මොනවද ඔය නරක වචන?”
“උඹෙ අම්මට…..”යාලුවා දෙතුන් සැරයක් වටපිට බලලා රහසක් කියන්නැහේ කියපි.
“මොකක්!”
“ඔව් අනේ,බලන්නකෝ…… “
“හැමතිස්සෙම කියනවද?”
“නෑ! යාලුවෝ ගැන ඇහුවම තමා කියන්නේ!ඔයා කැමතිම කාටද ඇහුවොත්ම ඕකමයි කියන්නේ!මට හිතයි දරුවව ඉස්කෝලෙනුත් අස්කරගන්න.”යාලුවා කතාකලේ අඬන්න තරම් ආවේගෙන්.
“ඔයත් අහලා බලන්නකෝ….ඇඟට පතට නොදැනී ඒ නරක වචන කියන උජාරුව!”
පොඩි එකා අපේ දුවත් එක්ක සෙල්ලම.
“පුතේ මෙන්න ශ්රීපාලි ආන්ටි ඔයාට කතා කරනවා!”යාලුවා කතාකලා විතරයි කොල්ලා අපි ලඟට පිම්මේ දුවන් ආවා.
මම පොඩි එකාව ලඟට ඇදලා ගත්තා.
“ඔයා දැන් ඉස්කෝලේ යනවලු නේද?”
“ඔව්!”කොලුවා බොහොම සතුටින් කීවා.
“දැන් ඉතින් බිග් බෝයි කෙනෙක්නේ නේද?”
කොලුවා බොහොම ආඩම් බරෙන් හිනා වුනා.
ඇටිකිත්තං කාලෙ ‘බිග් බෝයි’ කියලා අහගන්න කවුද කැමති නැත්තේ!
“ඉතින් ඉතින් ඔයාට යාලුවොත් ඉන්නවද?”
“ඔව්!”
“ඔයා කැමතිම කාටද?”
“උඹෙ අම්මට!” හිනා වෙවී කියූ පොඩි එකා ආයෙමත් සෙල්ලම් කරන්න දිව්වා.
අපි දෙන්නා මූණට මූණ බලා ගත්තා.
“ඔය මං කීවෙ! බලන්නකෝ ඔයා ඉස්සරහත් කීවානේ!” යාලුවා විස්සෝප වුණා.
“කලබල නොවී ටීචර්ට කියලා බලන්න.” මං කීවා.
පහුවදා මගේ යාලුවා ටීචර් මුණ ගැහෙන්න ගිගින්.
ටීචර් එක්ක පුරස්නේ කතාකරන අතරේ අම්මව දැකලා කොල්ලා දුවගෙන ඇවිත්!
කොල්ලාගේ අතේ පාට කූරු දෙකක්!
“ඇයි පුතා පාට කූරු දෙකක් අරන්! මම කීවෙ එක සැරේට එක පාට කූරයි!”ටීචර් බොහොම කරුණාවෙන් කියලා.
“මට නෙවේ! උඹෙ අම්මට!” කොල්ලා ගත් කටටම කියපි.
ටීචර් මගේ යාලුවා දිහා බලලා. මගේ යාලුවා ටීචර් දිහා බලලා.
ටීචර්ට හීන් දාඩිය දාලා!
මගේ යාලුවාට පොලොව පලාගෙන යන්න හිතිලා.
ඒ අතරෙ පොඩි එකා හිනාවෙවී ගිහින් තව ළමයෙකුට පාට කූර දික් කරාලු!
“උමයංග!” ටීචර් හුස්මක් ඉහළට අරන්!”
උමයංගට……උඹෙ අම්මට!
“ඔයා කැමතිම කාටද?”
‘උමයංගට!”
“ඇයි පුතා පාට කූරු දෙකක් අරන්! මම කීවෙ එක සැරේට එක පාට කූරයි!”
“මට නෙවේ! උමයංගට!”
කොල්ලා වැරදියට කීවද….අපිට වැරදියට ඇහුනද?
දැන් ඉතින් මොකක් වුණාම මොකද?පුරස්නේට උත්තරේ හොයාගත්තා නොවැ.
උපුටා ගැනීම: Sripali Kotuwella