ලැජ්ජ වෙන්න එපා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ කියන්නෙ මගේ ජීවිතේ අත්දැකීමක් ගැන. AL ලියල ගෙදර ඉන්න බැරි කමට ජොබ් එකක් හෙව්ව. තාත්තගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් ඉන්ටව් එකට එන්ඩ කියල දවසක් උදේම ගියා ටවුන් එකට. කැෂුවල් එන්ඩ කියල තිබ්බ හින්ද කේස් එකක් නෑ.ටවුන් එකට ඇවිත් එන්ඩ කියපු තැනට ගිහින් බලද්දි ලොරි ගොඩක් නවත්තපු ලොකු බිල්ඩින් එකක්. එතන හිටිය තාත්තගෙ යාලුවගෙ පුතා. එයත් එතන වැඩ කරන්නෙ.
මං හිතුවෙ මට වැඩට එන්න කිව්වෙ මොකක් හරි කඩේක හරි , ඔෆිස් එකක හරි වැඩට කියල. ගිහින් බලද්දි ඩිලිවරි වැඩ. ආත්මෙකට යන්න හිතුවෙවත් නැති ජොබ් එකක්. ඉන්ටව් මොකවත් නෑ. ගිය ගමන් නම ඇහුව ලොරියකට දැම්මා. හරිම කාර්යබහුලයි. කට්ටිය ලොරිවලට බඩු පටවනව. තව කට්ටිටක් බඩු බානවා. මාව දාපු ලොරියෙ හිටිය අයිය කෙනෙක් මල්ලි ඔය පෙට්ටි අරන් දෙන්න කිව්වා. මාත් වැඩේට බැස්සා.
මුලින්ම වැඩේ මට අවුල්. කඩවල් වලට බඩු දාන්න යන්න ලැජ්ජයි. ඇන්කර් කේස් කරේ තියන් යද්දි මං නාට්ටාමියෙක් දෝ කියලත් දැනුණා. අනික අඳුරන මනුස්සයෝ මූණට හම්බෙද්දි ලැජ්ජාවෙන් මඟ ඇරල යන්න සිද්ධ උනා.
අනික් කාරණේ එතන වැඩ කරපු මාමලා මට කතා කරෙ මල්ලි කියල. මුල් දවස් වල අන්දුන් කුන්දුන් වෙලා හිටියේ. ලොරියෙ හිටපු අයිය කෙනෙක් කියල දුන්න සීන් එක. වැඩපලවල් වල ඉන්නෙ අයියල මල්ලිල, අක්කල නංගිල විතරයි. කොච්චර වයස උනත් වැඩිමල් අයට කතා කරන්නෙ අයියෙ නැත්තං අක්කෙ කියල . මාමෙ නැන්දෙ කියනවට එයාලත් කැමති නෑ.
ඩිලිවරි ජොබ් එක කියන්නෙ. මං කවදාවත් ම කරන්න හිතපු නැති දෙයක්. මොකද මං ඉස්කෝලෙ යන කාලෙ ඩිලිවරි වාහන වලින් බඩු උස්සන් බහින කොල්ලො දිහා බැලුවෙ හරි අවඥාසහගතව. දැන් මටම ඒක කරන්න වෙලා. ඇන්කර් කිලෝ විස්සෙ විසිපහේ කේස් හැමදාම ලොරිය පුරෝගෙන අරන් යනවා. තොග ගබඩාවලට බාන දවස් වලට දවසට දෙතුන් පාරක් ලොරිය ගබඩාවට ඇවිත් බඩු පටෝගෙන යනවා.
ඇන්කර් කේස් උස්සන එක ලේසි නෑ. සමහර තොග ගබඩා වලට කේස් 60 ක් 70 ක් විතර තට්ටු තුනක් උඩට නැගල ගොඩ ගහන්න ඕනෙ.උගුර ලේ රහ වෙනවා. කමිස තෙත් වෙනවා. පුදුම මහන්සියක් දැනෙන්නෙ. අත් කකුල් දෙකම රිදෙන්න ගන්නවා. ගෙදර ට වෙලා කාල බීල සුකුමාල විදියට හිටපු මම, වැඩට ආවට පස්සෙ අත්වල කරගැට දාල, නහර වැල් ඒම ඉලිප්පිලා පේන්න ගත්තා.
ඇන්කර් කේස් අරන් යනව විතරක් නෙවේ. පෝස්ටර් අලවන්නත් ඕනෙ. පාප්ප බාල්දියත් උස්සන් පෝස්ටරුත් අරන් යන්න ඔනෙ. පාරවල් දිගේ පාප්ප බාල්දිය අරන් යද්දි ලැජ්ජ හිතුනත් පෝස්ටර් අලවන එක ආතල් වැඩක් උනා.
මං කල්පනා කරල බැලුවා. මාත් ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම වැඩ කරපු කොල්ලො දිහා බැලුවෙ කොහොමද කියල. මට මං ගැනම ලැජ්ජ හිතුනා. ඔච්චර කාලෙකට මිනිස්සු වැඩ කරනව දැකල තිබ්බට මං ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. රස්සාවක් කරන්න ගත්තම මට අනික් හැම මිනිහෙක් දිහාම බලල හෙව්වෙ එයාගෙ රස්සාව මොකක්ද කියල. පාර අතුගාන මනුස්සයාගෙ ඉඳන්, කුණු අදින මනුස්සයා ඉඳන් මේ රුපියල් සත වෙනුවෙන් නැහෙන්නෙ බඩ වියත රැකගන්නයි කියල තේරුණා. මනුස්සයෝ දුප්පත්කම ඉස්සරහ හරි අසරණයි. හම්බෙන පුංචි සොච්චං මුදලක් වෙනුවෙන් මිනිස්සු නැහෙන තරම්.
මනුස්සයෝ රැකියා කරන්නෙ සමහර වෙලාවට අසරණකමට. ලොතරැයි විකුණන, කඩල පැකට් විකුණන, සිම්කාඩ් විකුණන මනුස්සයෝ දවස තිස්සෙම හෙම්බත් වෙලා වැඩකරල හරිම සොච්චං මුදලක් හොයාගන්නවා.
සල්ලි ඉස්සරහ මිනිස්සු අසරණ වෙනව. ජීවිතේට නොකරපු දේවල් කරන්න වෙනවා. ජොබ් එක කරපු දෙයින් ඉගෙනගත්තු දේවල් ගොඩයි. පළවෙනි එක ඔච්චර කාලෙකට දෙමාපියෝ මත යැපුනට නිකං ඉඳල සල්ලි හොයන්න බෑ.මහන්සි වෙන්නම ඕනෙ කියල තේරුණා. අනික නීත්යානුකූල රැකියාවක් කරන්න කවදාවත් ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. ඒ වගේම ඒ රැකියා කිසිම එකක් පහත් රැකියා නෙවේ කියල.
ඩිලිවරි එකේ මාත් එක්ක වැඩ කරපු අයියෙක් මට කිව්වෙ “මල්ලි උඹ ලැජ්ජ වෙයං උඹ හොරකම් කරල උපයනව නම් , මේ සල්ලි හොයන්නෙ උඹේ මහන්සියෙන්, උඹ ඒ ගැන ලැජ්ජ වෙන්න එපා” කියල
 උපුටා ගැනීම: Gihan Indusara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!