කෝමාරිකා ශාකය ගැන නොදන්නා කෙනෙක් නැහැ.වඩාත් ගුණදායක ආහාරයක් විදියටත් ඖෂධයක් විදියට අනාදිමත් කාලයක සිටම අපි මේ කෝමාරිකා භාවිතයට ගනු ලබනවා. කාන්තාවන්ගේ රෝග බොහෝමයට දිව ඔසුවක් වන රූපලාවන්‍ය කටයුතු සඳහාත් නිතර භාවිතා වෙන ශාකයක් තමයි කොමාරිකා කියන්නේ.
බහු වාර්ෂික බෝගයක් ලෙසට හඳුන්වන අඩි 2 ක් හෝ ඊට වැඩි උසකට වැවෙන ශාකයක්. සාමාන්‍ය තිත්ත රසයක් සහිතයි.ඉතා ඉහළ ඉල්ලුමක් ඇති නමුත් එයට නිසි සැපයුමක් තවමත් ලෝක වෙළදපොලේ නැහැ. කෝමාරිකා වගාවේ ලෝක වෙළදපොල පංගුවෙන් 15% ක්ම චීනය සහ ඉන්දියාවෙන් සපයනු ලැබුවත් ලෝක වෙළදපොල ඉල්ලුමෙන් 40% ක් පමණ සැපයුමක් නැති නිසා ලාංකික අපිට මහඟු අවස්ථාවක් හිමිවෙලා තියෙනවා. අද වෙද්දි ඇමරිකාව, චීනය, ලංකාව, පකිස්ථානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වගේ රටවලත් කෝමාරිකා වගා කරනු ලබනවා. මේ ශාකයේ මල් හටගැනීම ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වාත් බීජ හටගැනීම පෙබරවාරි සිට අප්‍රේල් දක්වාත් සිදුවන නමුත් පැල ලබා ගන්නා සාර්ථකම ක්‍රම ලෙස ජනප්‍රියව ඇත්තේ මොටෙයියන් මගින් බෝකර ගැනීමයි.
පස සහ දේශගුණික අවශ්‍යතා

- ලංකාවේ වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ ඉඩම්වලත් තෙත් කලාපයේ සුදුසු ඉඩම්වලත් කෝමාරිකා වගා කළ හැකියි. පොල්, අන්නාසි සහ කෙසෙල් වගාව සමඟ අතුරු වගාවක් ලෙසටත් කෝමාරිකා වගා කළ හැකියි.
- මේ වගාව සඳහා සරු කාබනික පසක් අවශ්‍ය වන අතර හොඳින් ජලය අවශ්‍ය වුණත් ජලය රඳාපැවතීම එතරම් සුදුසු නැහැ.ඒ නිසා ජලය හොඳින් බැස යන පස වඩාත් යෝග්‍ය වෙයි.
- වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000-1200 පැවතීම වඩාත් සුදුසුයි.
- සෙල්සියස් අංශක 25- 30 ත් අතර උෂ්ණත්වය වඩාත් සුදුසුයි.
- හිරු එළිය පැය 8 ත් 10 ත් කාලයක් වගාවට අවශ්‍ය වෙනවා.
පැල ලබා ගැනීම

- දඩු කැබලි මගින් දඩු කැබලි ගිම්හාන කාලයේ දී වඩාත් සුදුසු අතර මේ සඳහා රිකිලි ප්‍රධාන කදෙන්ම වෙන්කළ යුතුයි. මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු අතර පත්‍රයට යටින් කැපුම් දාර දෙකක් යොදාගෙන පරෙස්සමින් ගලවා ගත යුතුයි. එය අඟුරු හෝ අළුවල දම් විෂබීජහරණය කළ යුතුයි.
- ඒ පත්‍රය තෙතමනය සහිත වැලිවල රෝපනය කළ යුතුයි. සිටුවීමේ ගැඹුර සෙන්ටිමීටර් 1 නොඉක්මවිය යුතුයි. පත්‍ර අතර දුර සෙන්ටිමීටර් 4-5ක් විය යුතු යුතු අතර දිනෙන් දින සපයන ජලය ප්‍රමාණය වැඩි කළ යුතුයි. මුල් මාසයේ දී සතියකින් තරුණ රිකිලි ස්ථිර ස්ථානයක සිටුවිය හැකියි.
- මේ සඳහා පස් මාධ්‍ය සකස් කර ගැනීමේ දී වැලි කොටස් 1 ක් ,මතුපිට පස් කොටස් 1 ක් ,කොම්පෝස්ට් පොහොර කොටස් 1 ක් භාවිතා කළ හැකියි.අවශ්‍ය නම් කොහුබත් කොටස් 1 ක් ද එකතු කළ හැකියි.
නඩත්තු කටයුතු
- පැල සිටුවීමේදී පාත්ති දැමීම වඩාත් සුදුසු අතර එය ජලවහනය හොඳින් සිදුවීම සඳහා වඩා වැදගත්.
- පැල අතර අඩි එකහමාරක පරතරයක් ද පේළි අතර අඩි එකහමාරක පරතරයක් ද තිබිය යුතුයි.
- පැළය සිටුවීමේදී පැලයේ කොළ පාට කොටස පසට යට නොකළ යුතුයි.
- සිටුවීමෙන් දවස් 4 ක් යනතුරු ජලය නොයෙදිය යුතුයි. ඉන්පසුව අවශ්‍ය පරිදි ජලය යෙදිය යුතු නමුත් අනවශ්‍ය ලෙස ජලය සැපයීමෙන් මුල් කුණුවී යා හැකියි. ඒ නිසා සතියකට වරක් ජලය යෙදීම ප්‍රමාණවත් වෙයි. නැත්නම් සාමාන්‍ය පරිසර තත්ත්වයක් යටතේ සති දෙකකට වරක් ජලය සැපයීම ප්‍රමාණවත්. ශීත කාලයේ දී මසකට වරක් ජලය සැපයීම ප්‍රමාණවත්.
- වගාවට හොඳින් හිරු එළිය අවශ්‍ය නමුත් ඍජු හිරු එළිය වගාවට හානිදායක විය හැකියි. ඒ වගේම නැවුම් වාතය අඛණ්ඩව ගලායාම අවශ්‍ය සාධකයක්.
බදුනක සිටුවීම

- මෙහිදී පුළුල් නොගැබුරු සිදුරු සහිත මැටි බදුනක් භාවිතා කළ යුතු අතර සිටුවීමට පෙර බදුන තුල පිළිස්සිය යුතුයි.ප්ලාස්ටික් බදුනක් නම් එය උණුසුම් සබන් වතුරෙන් හොදින් සේදිය යුතුයි.
- පාංශු සංයුතියේ නයිට්රජන් අඩංගු නොවිය යුතු අතර එය කොළ වැටීමටත් ඉරිතැලීමටත් හේතුවෙනවා.
රෝග

- කෝමරිකා වගාවේ සාර්ථකත්වය සඳහා වල් පැලෑටි මර්දනය කළ යුතුයි. හිරු එළිය නිසි පරිදි ලැබෙන්නට සැලැස්විය යුතු අතර එසේ නැතිවුණොත් පත්‍ර කහ පැහැවී පහලට කඩා වැදී අස්වැන්න අඩුවිය හැකියි.
- පත්‍ර තුනී හෝ සිහින් නම් ජල සැපයුම තරමක් වැඩි කළ යුතුයි. ඒ වගේම දුඹුරු පැහැ ගන්නා පත්‍ර ප්‍රවේශමෙන් ඉවත් කළ යුතුයි.
- ශාකය උදාසීන වී පාදය අසල වියලී ගියොත් එයින් අදහස් වෙන්නේ මුල් කුණු වී ඇති බවයි. එවිට බදුනක පඳුර බදුනෙන් ඉවත්කර මුල්වල හානියට පත් පත්‍ර ප්‍රදේශ ඉවත් කර නැවුම් පස් සමඟ වෙනත් බදුනක සිටුවිය යුතුයි.ශාක පත්‍ර දුර්වරණ වී වැටීමෙන් ජලපවාහනය දුර්වල සහ ප්‍රමාණවත් ආලෝකය නැති බව පෙන්නුම් කරයි.
- ක්ෂාරීය පස, අධික ලෙස ජලය සැපයීම සහ අධික ලෙස පොහොර සැපයීම ශාකය සෙමෙන් වර්ධනයට හේතු වෙනවා.
පොහොර භාවිතය

- කෝමාරිකා වගාව සඳහා කාබනික පොහොර පමණක් ප්‍රමාණවත් වන නිසා ඒ සඳහා රසායනික පොහොර යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ.ගොම පොහොර, එළු පොහොර, කුකුල් පොහොර සහ දිරාගිය ශාක කොටස්, අළු අඟුරු වැනි දේ ඒ සඳහා යෙදිය හැකියි.
- වසරකට වරක් කාබනික පොහොර යෙදීම ප්‍රමාණවත් වෙයි. අපනයනය සඳහා වගා කරන්නේ නම් කිසිසේත්ම රසායනික පොහොර භාවිතා නොකළ යුතුයි.
අස්වනු නෙලීම

- සිටුවීමෙන් මාස 6ත් 8ත් අතර කාලයේ දී අස්වැන්න නෙලා ගත හැකි අතර එහිදී හොඳින් මේරු පත්‍ර පමණක් නෙලා ගන්නට වග බලා ගත යුතු වෙනවා.
- වැඩුණු පඳුරකින් පිති 4 ත් 6ත් පමණ නෙලා ගත හැකි අතර එහිදි මව් ශාකයට හානි නොවන ලෙසට නෙලා ගත යුතුයි.
- අවම ශ්රමයකින් අඩු නඩත්තු වියදමකින් කාබනික පොහොර භාවිතයෙන් වගා කළ හැකිවීම නිසා කෝමාරිකා වගාව අපහසු නැහැ. අක්කරයකින් වසරකට කිලෝ 5000ක් පමණ ලබාගත හැකි නිසාවෙන් අද පවතින වෙළද මිල සමඟ මාසයකට ලක්ෂයකට අධික ආදායමක් ලබාගන්නට පුළුවන්.
උපුටා ගැනීම: Hela Rahas