“මෙයාව ළමා නිවාසෙට දාන්න ඉන්නෙ මිස්” එහෙම කිව්වෙ අත්තම්ම. අපේ ටීචට. අත්තම්ම හැමෝටම එහෙම කියනව. එක එක අයට කියන්නෙ එක එක විදියට උනාට ළමා නිවාසෙ කියන වචනෙ නම් වෙනස් වෙන්නෙ නෑ.
“මේකි ළමා නිවාසෙටවත් දානව බං.”
අත්තම්ම එහෙම කිව්වෙ දම්මි නැන්දට. බස් එක එනකම් ඉද්දි.
“මාත් ලෙඩා දුකා වෙච්චි. හැමදාම මට මේ සුමේ කරන්න බෑනෙ. කොල්ල දෙන සල්ලි කන්නවත් මදි. උටත් මුකුත් කියන්න බෑ බං එහෙත් පොඩි උන් දෙන්නෙක් ඉන්නවනෙ. හරි හුරතල් දරු පැටව් දෙන්න. අාසාවේ බෑ. මං ගියහම අාච්ච අාච්ච කිය කිය අැඟේ එල්ලෙනව.”
අත්තම්මගෙ ගොරෝසු කටහඬ නැතිවෙලා ගිහින් අැස් දෙක දිලිසෙන්න ගත්ත.
අත්තම්මයි මායි ගිහින් ඉස්කෝලෙ යන්න අලුත් පොතුයි පැන්සලුයි ගත්ත. පැන්සල් පෙට්ටියක් චූටි අක්කගෙන් ඉල්ලගන්නව. එයා ගාව රෝස පාට එකකුයි කොලපාට එකකුයි දෙකක්ම තිබ්බනෙ.
ගම් බෝතලයක් ගන්න ඔ්න උනාට එ්ක පස්සෙ අරන් දෙන්නම් කිව්ව. අත්තම්ම දම්මි නැන්දගෙන් අැහුව සඳරුගෙ පොත් වලට කවර දාල ඉතුරු වෙච්ච කොළ තියේද කියල. මං හවසට එහේ ගිහින් අරන් එනව.
සඳරුගෙ පොත් ටික හරිම ලස්සනයි. එක එක පොතට එක එක පාට. බෙන්ටෙන් ඉස්ටිකර් අලවල ඉටි කවරත් දාල. මං බලන්න හැදුවම සඳරු උදුරල ගත්ත. දම්මි නැන්ද කොල ටික දුන්න. පාට තුනයි තියෙන්නෙ. අනිත් එ්ව ඉවර උනාලු. සඳරු තමයි ඉවර කරන්න අැත්තෙ. එයාගෙ බයිසිකලේ ඉස්සරහ කොළ කපල පාට පාට සවරං අලවල තිබුනනෙ.
චූටි අක්ක පැන්සල් පෙට්ටියක් දෙන්න බෑ කිව්ව. එයාට දෙකම ඔ්නලු. එකක් ඉස්කෝලෙ ගෙනියන්න. එකක් පන්ති ගෙනියන්න. පස්සෙ නිපුනි අක්ක එයාගෙ පරණ පැන්සල් පෙට්ටියක් හොයල දුන්න. එයා හරි හොඳයි. ලස්සනයිත් එක්ක. මට පොත් වලට කවර දාලත් දුන්න. අර චූටි අක්ක නම් හරි කැතයි. කාටුන් එකේ කුරු කුරු අාච්චියෙක් වගේ. මගේ අලුත් සපත්තු දෙක දැක්කම එයාට තරහ යාවිද දන්නෙ නෑ. එහෙම උනොත් මට කාටුන් බලන්න දෙන එකකුත් නෑ.
එ් සපත්තු දෙක ගෙනත් දුන්නෙ තාත්ත. අත්තම්ම තාත්තට කිව්ව මං ඉස්කෝලෙ යන දවසට එන්න කියල. ඒ උනාට තාත්තට වැඩනෙ. එන්න වෙන්නෙ නැතිලු. පව් තාත්තා. මහන්සියට අැස් දෙකත් රතු වෙලා. දොර ගාව වැටෙන්නත් ගියා. අාච්චි තාත්තට හොඳටම බැන්න. ළමා නිවාසෙ ගැනත් කිව්ව.
“යකෝ තොපි දරුවො හැදුවනං තොපිම බලා ගනිල්ල. මේ නාකි මට අතෑරල ඉන්නෙ. පන්සලට ගිහින් පිනක් දහමක් කරගන්න ඔ්න කාලෙනෙ මං මේ තෝ කාලකන්නි බැල්ලියො එක්ක ගිහින් හදාපු පැටව් බලා ගන්නෙ. මං මේකි ලමා නිවාසෙට අරිනව. එන්න එපා එදාට අඬාගෙන. තොපේ වැරදි යකෝ මේව තොපේ වැරදි”
අත්තම්ම අහසට අත් දික් කර කර කෑ ගහනව. තාත්ත ගෙනාපු මල්ල පොලවෙ ගහල වැනි වැනි යන්න ගියා. එ් මල්ල අැතුලෙ තමයි සපත්තු දෙක තිබුණෙ. වෙලාවට එ්ව හයියයි. නැත්තම් කලින් දවසක් පොලවෙ ගහපු මගේ බෝනික්ක වගේ කැඩිල යාවි.
මං අත්තම්ම එක්ක ඉස්කෝලෙ ගියා. හැමෝම අැවිත් තිබ්බෙ අම්මයි තාත්තයි එක්ක. මං අද ඉස්කෝලෙ යනව කියල දන්නව නම් අපෙ අම්මත් එ්වි. ඒත් එදා අත්තම්ම මේ පැත්ත පලාතෙ පස් පාගන්න එපා කියල අම්මව එලෙව්වට පස්සෙ අම්ම ගෙදර අාවෙම නෑ. පස් පාගන්නෙ නැතුව එන්න නම් අම්මට ප්ලේන් එකක් ගන්න වේවි.
අද ටීච කියල දුන්නෙ ජම්බු ජම්බු රතු පාටයි සිංදුව. ටීචගෙ සාරියත් ජම්බු පාටයි. තැන් තැන් වල සුදු පාට පුල්ලි. හරියට මයින අැවිත් ජම්බු ගෙඩියෙ තැන් තැන් වලට අැනල වගේ.
අපේ අම්ම එදා අැඳන් හිටියෙ ඊටත් වඩා ලස්සන සාරියක්. ඒක ලා රෝස පාටයි. කහ පාට රේණු තියෙන දම්පාට ලොකු මල් සාරි පොටේ තිබුණ. අම්මගෙ අැස් ඉදිමිලා රතු වෙලා තිබුණට මූණෙ ලස්සන හිනාවක් අැඳිලා. අම්ම මාව වඩාගෙන ඉම්බ. අම්ම ගාවින් එන පිච්ච සුවඳ වෙනදටත් වැඩිය දැනුනා.
සුධාර මාම හෝන් එක ගහගෙන ගහගෙන ගියා. අම්ම මාව බිම තියල අායෙ ඉඹල ලොකු බෑග් එකත් අරගෙන වීල් එකට නැගල ගියා. ඊට පස්සෙ මං කවදාවත් අම්මව දැක්කෙ නෑ. තාත්ත හවස අැවිත් සේරම හට්ටි මුට්ටි පොලවෙ ගැහුව. එදා රෑට උයන්නත් බැරි උනා. අත්තම්ම පස්සෙන්ද ගිහින් ලොකු නැන්දලහින් හට්ටි දෙකකුයි බත් උයන මුට්ටියකුයි ගෙනාව.
අද කන්න ගෙනාවෙ ඉස්පංචියක්. අත්තම්ම දානෙ ගෙදරක උයන්න අත් උදව් දෙන්න යනව කියල පාන්දරම ගියේ මට කැමති දෙයක් ගන්න සල්ලි දීල. අද නම් සොසේජස් බන් එකක් කොහොම හරි ගන්නව කියල මං චූං පාං වෑන් එක එනකම් බලන් හිටිය. ඒ උනාට චූං පාං මාම දුන්නෙ ඉස්පංචියක්. සොසේජස් බන් එකක් ගන්න සල්ලි මදිලු.
කඩචෝරු ගෙනාවම ටීච බනින නිසා මං කනකොට කෑම පෙට්ටියෙ පියනෙන් වහගත්ත. යෙහත්මි රයිස් ගෙනැල්ල. හරි සුවඳයි. මං එයාගෙන් ඉස්පංචි ඔ්නද කියල අැහුවම එයා ටක් ගාල එයාගෙ කෑම එකත් පියනෙන් වහ ගත්ත.
මං හංගගෙන කෑවට ටීච එ්ක දැකල. සිකුරාද අත්තම්ම අාවම අැහුව අැයි කඩකෑම ගේන්නෙ කියල. එතකොට තමයි අත්තම්ම ළමා නිවාසෙ කතාව කිව්වෙ. මාව සෙල්ලං කරන්න කියල එලියට යැව්වට මං තාප්පෙ ගාවට වෙලා අහන් හිටිය.
අම්ම ගැනයි තාත්ත ගැනයිත් කිව්වට මට වැඩිය තේරුනේ නෑ. මාව බලාගන්න අත්තම්මට අමාරුයිලු. ඒකලු ලමා නිවාසෙට දාන්නෙ. මං එ් උනාට දඟ නෑ. චමිදු මල්ලි නම් බලාගන්න අමාරුයි. එදා ලොකු නැන්ද නාන ටිකට මගේ අතත් විකල අැඳෙනුත් බිමට පැන්න. එයා අඬන සද්දෙට ලොකු නැන්ද වතුර පිටිම්ම අැවිත් මට ගැහුව. චමිඳු මල්ලි තමයි ලමා නිවාසෙට දාන්න ඔ්න.
ලොකු නැන්ද අත්තම්මටත් කිව්ව මං චමිඳු මල්ලි බිම දැම්ම කියල. මං එයාට ඊරිසියයිලු. ඉස්සර අම්මත් තාත්ත එක්ක රණ්ඩු උනාම එ් වචනෙ කියනව. තාත්ත අම්මට ඊරිසියයි කියල.
අත්තම්ම මට ගෙදර ගිහිල්ලත් ගැහුව.
“අර බැල්ලිට බැරි උනානෙ තෝවත් අරං තොලොංචි වෙන්න. තෝ ලමා නිවාසෙටවත් පල. අපිට පව් දෙන්න ඉපදිලා”
අත්තම්ම යන්න කිව්වට මං දන්නෙ නෑ ලමා නිවාසෙ තියෙන්නෙ කොහේද කියල.
දොස්තර මහත්තය නං දන්නව. එදා මට උණ හැදිල බේත් ගන්න ගියාම දොස්තර මහත්තය බෙහෙත් ලියල අත්තම්මගෙන් අැහුව ෆාමසියෙන් ගන්න සල්ලි තියෙද කියල. අත්තම්ම බිම බලාගෙන නෑ කිව්ව. අම්ම මාව දාල ගිහින්ලු. තාත්තට වෙන පවුලක් ඉන්නවලු. මාව හදාගන්න අමාරු නිසා ලමා නිවාසෙකටවත් දාන්න කියල බැලුවේ කියල අත්තම්ම කිව්ව. ඒ වෙලේ දොස්තර මහත්තය කිව්ව එයා දන්න ලමා නිවාස කීපයක් තියෙනව කියල.
අත්තම්මගෙන් අැහුවම ලමා නිවාසෙ කියන්නෙ මොකද්ද කියල එයා කිව්ව ගියහම බලා ගනින් කියල. ටීචගෙන් අැහුවම කිව්වෙ පුංචි ළමයිව බලා ගන්න තැනක් කියල. නිපුනි අක්ක කිව්වෙ අනාත ලමයි ගිහින් දාන තැනක් කියල. අනාත ලමයි කියන්නෙ අම්ම තාත්ත නැති ලමයිලු. එ්ත් මට එ් දෙන්නම ඉන්නවනෙ. චූටි අක්කගෙනුයි සඳරුගෙනුයි අහල වැඩක් නෑ. එයාල මං තරම් වත් දන්නෙ නෑ.
මං හිතන්නෙ ලමා නිවාසෙ කියන්නෙ ඉස්කෝලෙ ලමා උයන වගේ තැනක් වෙන්න අැති. මං එහේ ගියාම අැති තරං ඔන්චිලි පදිනව. සඳරුත් අාවොත් සීසෝ පදින්නත් පුලුවන්. අපේ අම්ම එ්වි මාත් එක්ක ළමා නිවාසෙ නවතින්න. තාත්තයි අාච්චියි බනින නිසානෙ අම්ම ගෙදර එන්නෙ නැත්තෙ. මං එතකොට හැමදාම අම්ම ගාව නිදා ගන්නව. සුධාර මාම අාවත් එහා කාමරේට යන්නෙ නම් නෑමයි.
උපුටා ගැනීම: Arundi Wijesooriya