කො*රෝනා හින්දා ළමයි හදන එක තව අවුරුද්දක් කල් දාන්න කියලා එක විශේෂඥ වෛද්යවරයෙක් මාධ්ය වලට ඇවිත් කියලා තිබ්බා.
හැබැයි ගොඩක් දෙනෙක් ඒ කතාවේ අල්ලන් තිබ්බේ වැරදි තැන්. අවුරුද්දක් යනකම් ළමයි හදන එක කල් දාන්න කියන එකේ ලොකු වෛද්ය විද්යාත්මක හේතුවක් තියෙනවා. මේ පෝස්ට් එකෙන් බලමු ඒ ගැන.
ළමයෙක් තමන්ගේ කුස තුලට ආවම ඒ අම්මගේ ඇඟේ වෙන වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ ටික ඉස්සෙල්ලම දැනගෙන C0V1D l9 වෛරස් එක බලපාන්නේ කොහොමද කියලා බලමු.

දරුවෙක් කුස ඇතුලේ ඉන්නවා කියන්නේ ඒක අම්මගේ ඇඟට පිටින් ආව කෙනෙක් ඉන්නවා වගේ දෙයක්. අපේ ඇඟේ තියෙනවනේ ප්රතිශක්තිකරණ පද්ධතිය. සාමාන්යයෙන් පිටින් එන දේවල් වලට විරුද්ධව අපේ ප්රතිශක්තිකරණ පද්ධතිය වැඩ කරනවා. හැබැයි දරු කළලය රැක ගන්නත් ඕන නිසා දරු කළලයට විරුද්ධව ප්රතිශක්තීකරණ පද්ධතිය වැඩ කරයි කියන බයෙන් අම්මගේ ඇඟේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඇඟ විසින්ම ගර්භණි කාලේදී පොඩ්ඩක් අඩු කර ගන්නවා.
ඉතින් අම්මගේ ඇඟේ ප්රතිශක්තිය අඩු හින්දා C0V1D l9 වෛරස් එක ඉක්මනින් ඇඟට ඇතුල් වෙන්න පුළුවන්.

බඩ සහ පෙනහළු අතර මැද්දේ තියෙනවා මහා ප්රාචීරය කියලා බිත්තියක්. හුස්ම පෙනහළු වලට ඇදලා ගන්න පෙනහළු වලට ඕන කරන පීඩනය හදලා දෙන්නේ මේ මහා ප්රාචිරයෙන්. ඉස්කෝලේ O/L කාලේ ප්ලාස්ටික් බෝතලේකට බැලුන් දාලා ඇටවුමක් එහෙම හදලා කියලා දුන්නේ ඕක.
එතකොට අම්මගේ බඩ ඇතුලේ කළලය ලොකු වීගෙන එද්දී බඩ ඇතුලේ පීඩනය වැඩි වෙනවා. එතකොට ඒ තෙරපීම දැනෙනවා බඩට උඩින් තියෙන මහා ප්රාචිරයට. එතකොට මොකද වෙන්නේ මහා ප්රාචීරයට කරන්න තියෙන වැඩේ හරියට කරන්න බැරි වෙනවා. ඒ හින්දා අම්මට හුස්ම ගන්න එක පොඩ්ඩක් අමාරු වෙනවා. කෙටි හුස්ම වැඩියෙන් ගන්න වෙනවා. අම්මලා මේක කියවනවා නම් අත්දැකීමෙන් දන්නවා ඒ කාලේදී හුස්ම ගන්න ටිකක් අමාරු වෙන හැටි..
එතකොට මෙතන වෙන්න පුළුවන් ප්රශ්නේ තමයි අම්මා ගර්භණී කාලේදී C0V1D l9 ආසාදනය වුනොත් එහෙම හුස්ම ගන්න එක තවත් අමාරු වෙනවා. දැන් කිව්වා වගේ ගර්භණී කාලේදී කොහොමත් හුස්ම ගන්න අපහසුතා ඇති වෙනවනේ. මේ වගේ වෙලාවක C0V1D l9 වෛරස් එක හින්දා C0V1D නිව්මෝනියා වගේ ආවොත් ඒක කෙලින්ම දරුවාට ලැබෙන ඔක්සිජන් ප්රමාණය අඩු වෙන්න බලපානවා. මොකද දරුවා යැපෙන්නේ අම්මා ආශ්වාස කර ගන්න ඔක්සිජන් වලින්. ඒ හින්දා දරුවාට ලැබෙන ඔක්සිජන් ප්රමාණය අඩු වුනොත් මළ දරු උපත් සහ අඩු මාසෙන් දරු උපත් වගේ දේවල් උනත් වෙන්න පුළුවන්.

ඒ වගේම C0V1D l9 වෛරස් එකටත් පුළුවන් රුධිරය කැටි ගස්සන්න. එතකොට ගර්භණී අම්මා කෙනෙක්ට C0V1D l9 ආසාදනය වුනොත් දරු කළලයට යවන රුධිරය වැදෑමහ ඇතුලේ හිර වෙලා දරුවට යැවෙන රුධිරය ප්රමාණය අඩු වෙන්න පුළුවන්.
එහෙම වුනොත් මළ දරු උපත් පවා වෙන්න පුළුවන්.
ඉතින් ඔය දේවල් ටික තමා විද්යාවෙන් මේ ගැන කියන්න තියෙන්නේ. ඇත්තටම මේ කිව්ව දේවල් කොච්චර ප්රමාණයකින් වෙනවද කියලා ඉලක්කම් වලින් කියන්න තරම් තාම කෙරිලා තියෙන පරීක්ෂණ මදි. විද්යාවත් තාම ඉගෙන ගන්නවා මේ වෛරස් එක අපේ ඇඟට කරන්නේ මොනාද කියලා.
අපි කාටවත් මේ කාලේ ළමයි හදන්න එපා කියන්නේ නැහැ. ඒ තීරණය ඔයාගේ අතේ.
.උපුටා ගැනීම: #XeducationSL