දවසක් මගෙ නෑනෙක් මට තෙලබනුවෙන් අමතලා කියනවා “අනේ අක්කෙ මට ඔයාගෙ උදව් ඕනෙ මට කරදර කාරයෙකුට දෙයක් කරගන්න කියලා.
දේවාලෙකට යන්න ඕනෙ එකක්ද මේ ඇවිත් තියෙන්නෙ, නැත්තන් මම නිල්මිණී මෑණියෝ කියල හිතලා කතා කරනවද කියල අමෝ අමෝ කියල හිතපු මම කිව්වා “මම ගුරුකම් කරන්නෙ නෑනෙ, ඒව ඉගෙනගෙනත් නෑ, ඔයාගෙ පුරුෂයා නේද මට කතා හදන්නෙ” කියලා. මොකද මගෙ අයියගෙ හැටි එහෙමයි. මම කොයිවෙලෙත් දුම්මල වරම අතට ගත්ත කපුවගෙ නෝන වගේ ඉන්නෙ කියල තමයි එයා කියන්නෙ.
ආතුරයා වැහිච්ච යකා වගේ ආවේශ වෙච්ච මෙයා කියනවා “අනේ එහෙම බනානා ෆ්ලවර් එකක් නෙවෙයි, ඉස්කෝලෙට එනවා ලංකාවෙ ගෑණු කෙනෙක්, එයා නිතරම තව ලමයි හදන්නෙ නැද්ද කියලා අහනවා, දෝණිට දවසක් කිව්වා අම්මට කියන්න ඔයාට මල්ලි හරි නංගි හරි කෙනෙක් ඕනෙ කියලා, ඕක නිසා දැන් ඒ ලමයා නිතරම ගෙදර ඇවිත් කියනවා මට තමයි කවුරුත් නැත්තෙ, මනුල්මිටත් මල්ලි කෙනෙක් ඉන්නවා කියලා, මේක හරි වදයක්, මම මොනවද කියන්න ඕනෙ කියලා කියන්නකෝ” කියලා.
ඇත්තටම ඒ කියපු අනික් ගෑණු කෙනා වැල්ලවත්ත පැත්තෙ කෙනෙක් සාජෙහාන්ගෙ නෝන වගේ ලමයි හද හද ඉන්නවා, ඉතින් එක ලමයෙක් ඉන්න පවුලක් දැක්කම “ඊයා මෙයාලා ලමයි හදන්නවත් දන්නෙ නෑ, අපි තමයි හොඳටම කරන්නෙ” කියලා උපදෙස් දිදී ඉන්නවා. ඒ මදිවට පොඩි ලමයින්වත් අවුස්සනවා.
ඕක අයියට කිව්වම එයා කිව්වලු නංගිගෙන් අහන්න නැත්තන් එයා ඕකට මැදිහත් වෙලා මේ හදිස්සියේ ලමයට ඉස්කෝලයක් හොයාගන්නයි ගෙවල් විකුණන්නයි කරදර වැඩ කියලා. මම ඇහුවා “ගෙවල් විකුණන්නෙ මොකටද ඒකට” කියලා එයා කියනවා “දන්නවනෙ අයියගෙ හැටි, ඔතන ගිහින් ඒ ගෑණු කෙනාට සිංහල හොඳ එකෙන්ම අමතන්න ගියොත් අපේ ලමයට වෙන ඉස්කෝලයක් හොයාගන්න වෙනවා, ඉතින් එතකොට ඒ පැත්තට යන්න වෙන්නෙ ගේත් විකුනලානෙ” කියලා.
ඕක ගැන ලොකුවට කතා වෙලා ඒ දෙන්න ලමයෙක් හදාගන්න පවා හිතලා තිබුනා. ඒත් දුවට එහෙම එපා මගෙම මල්ලියෙක් හරි නංගියෙක් හරි ඕනෙ කියලා කියනවලු
ලොකු කෙනෙකුට කිව්වත් පොඩි ලමයෙක්ව අවුස්සන එක ටූ ෆිෆ්ටි වැඩක් හින්දා මම කිව්වා “මම ආසයි එයාට කතා කරන්න, ඔයා වෙලාවක මට එයා ඉන්න තැන කතා කරන්නකො” කියලා.
අයියගෙම නංගිනෙ කියලා බය උන එයා “අනේ අනේ එපා ඒක අයියට හපන් වුනොත් එහෙම, මමම මොනවහරි කරගන්නම් ” කියලා කිව්වා.
කොහොඹ ගහේ එතිච්ච සමන් වැලක් වගේ ඉන්න මටනෙ මෙහෙම කියන්නෙ, මගෙ සඳුන් සුවඳ හමන වචන වලින් මිනිස්සු නිවෙනවා, ඒ නින්දා බය නොවන්න නෑනන්ඩිය කියලා එයාට පැහැදිලි කරලා දීලා කෝල් එකක් ගන්න කිව්වා ඊලඟ දවසෙ.
මෙයා ඊලග උදේ ඉස්කෝලෙට ගිහින් පයින් ගෙදර එද්දි කතා කරලා කියනවා “මෙන්න මෙයා ඉන්නවා ඔයත් එයා එක්ක කතා කරලා බලන්නකෝ, මම ස්පීකර් ඔන් කරනවා” කියලා.
“හිලෝව් අක්කි, උයා ගැන නෑනා මට කිව්වා, කෝමද ඉතින් ලයිෆ් එක කියලා තරු ඉල්ලලා නටන නංගියෙක් වගේ කතා කරා. අපේ කතාව ඉදිරියට ගලාගෙන ගියා.
“අක්කි, මම ආන්නමයි ඉටියෙ, යූ නෝ, අයි වස් අබෞට් ටු ස්ටාට් අ කෝස්, බට් ෆිෆ්ත් ආවනෙ අනෙක්ස්පෙක්ටඩ්ලි, ඒ නිසා ඒ අයිඩියා එක ගිවප් කරා, දැන් මට පටන්ගන්න ඕනෙ මොනාහරි, ඔයා එක්ස්පර්ට්නෙ කියන්නකො කොහොමද කරන්නෙ කියලා”
මමත් එයාගෙන් ඇහුවා මොනවද පරණ ඉගෙනගත්ත දේවල් ගැන මොනවද කරන්න පුලුවන් කියල බලන්න.
“අක්කි, මම ඒ ලෙවල්ස් විතරයි කරේ, මට දැන් 33 වෙනවා, ලමයි 5ක් ඉන්නවා, ඒ කාලෙ අපේ අම්මිලාට ඕනෙ උනේ මගෙන් නිදහස් වෙන්න, හස්බන්ඩ් මට වඩා අවුරුදු 13ක් ලොකුයි. ඒත් හිටියෙ ඉංග්ලන්ඩ් හින්දයි, අපේ ගෙදර අයට මෙහෙ එන හීනෙ තිබ්බ හින්දයි, මල්ලිලාට උගන්නන්න සල්ලි ඕනෙ හින්දයි ඒ ලෙවල්ස් ඉවර උන ගමන් මාව බැන්දෙව්වා” කියලා කියාගෙන කියාගෙන ගියා, මුලින් ඉංග්රීසියෙන් කියලා අන්තිමට අතිශය සුගම සිංහලෙන්.
හොඳ දෙකක් කියන්න හිතාගෙන කතා කරාට ඒ ලමයා පව් කියලා හිතුනා. ඒ නිසා පාරෙ ඕවා කතා කරන්න බැරි නිසා මම කිව්ව මගෙ නම්බර් එක ඇරගෙන ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න කියලා.
එයා ගිහින් කතා කරා. ඉන්නෙ හිතේ අමාරුවෙන්. ඒ නිසා ලස්සනට පාඩුවේ කවුරුහරි ඉන්නකොට තමන් ගැන දුක හිතෙන නිසා අනික් අයව රිද්දලා තමන් එයාට වඩා හොඳින් සතුටෙන් ඉන්නවා කියලා පෙන්නලා හිත නිදහස් කරගන්න එක කරන්නෙ.
කියපු විදියට බැඳපු මනුස්සයා මේ ගෑණු ලමයා ලස්සන හින්දා බැඳලා. ඒත් ගෑණු ලමයගෙ ගෙදර අයගෙ බලාපොරොත්තුව එයාල දියුණු වෙන එක, මල්ලිලාව ඉගෙනගෙන ඉවර උනාම මෙහෙට ගෙන්නගන්න එක, අක්කගෙ මනුස්සයා කරන්නෙ හයර් යන එක. මේ දවස්වල ඒකත් නැතිලු කියලා කිව්වා. තාත්තට රස්සාවක් නෑ, අක්කගෙ මනුස්සයාට බිස්නස් කරන්න කියලා කීප සැරයක් සල්ලි දීලා ඒත් ඒවා කාල විනාශ කරනවලු. මෙයාගෙ හස්බන්ඩ් මුලදි ගොඩක් හොඳට සලකලා. ඒත් ඒක දිගින් දිගටම වෙද්දි එයාටත් කරදරේ නිසා මග ඇරලා. මොකුත් නැති හින්දනෙ මේ කියලා හිතපු හස්බන්ඩ් ලමයිවත් හද හද ඉන්න එතකොට ඔය ගෙදර ප්රශ්න අමතක වෙයි කියලා මේ වෙද්දි අවුරුදු 12 ට ලමයි 5ක් හදලා.
මම එයාට කියලා දුන්නා ලමයි හදන එකම නෙවෙයි මේ ලෝකෙ තියන එකම රාජකාරිය, ඒක කරත් කමක් නෑ අනික් අයත් තමන් වගේ ඉන්න ඕනෙ කියල හිතන්න එපා, උපත් පාලන ක්රම ගොඩක් තියනවා මේ දියුණු රටේ, ඉස්සෙල්ලම ඒක කරගෙන පොඩිම ලමයත් ප්ලේ ගෲප් එකකට දාලා ඉගෙනගන්න එකක් ගැන හිතන්න කියලා.
ලමයි ගොඩක් හදන්න එයාගෙ අම්මත් හේතුවක් උනාලු. අම්මට කවුරුහරි කියලා ලමයි බලාගන්න අම්මව මෙහෙට ගෙන්නගන්න කියලා දුවට කියන්න කියලා. ලමයි සම්පතක් ය, ස්වීප් එකක් ඇදුනා වගේ බෙනිෆිට් ගන්න පුළුවන් ය කියලා එයාගෙ යාළුවෙකුත් කියලා. ගෙදර මිනිස්සු හින්දා තමයි මටත් නිදහසේ ඉන්න නැත්තෙ, ලමයි හිටියනම් ඕක වෙන්නෙ නෑ කියලා සාජෙහාන් වගේ හිතපු සැමියත් ඉතින් අතෑරලා නෑ. ඒ උනාට මෙයා ලමයි ගොඩක් වැඩියි අමාරුයි කියලා මට කිව්වට අනික් අයට කියන්නෙ අඥී ලමයි කොම්චර හිටියත් වැඩි නෑ, එකක් මදි තව හදන්න, කියලා. ඒ මදිවට පොඩි ලමයින්ටත් කියනවා අම්මට කියන්න බබෙක් ගේන්න කියලා, එයාලගෙම බබෙක් කියලා.
ඉතින් මම එයාට කියලා දුන්නා ලමයි හදන එක ගැන හස්බන්ඩ් එක්ක කතා කරලා විසඳගන්න කියලයි, එයාට ඉගෙන ගන්න ආස එක ගැනයි, ගෙදර මිනිස්සුන්ට ඉඳල හිටලා කීයක් හරි ඇරියට සම්පූර්ණ වගකීම නොගෙන එයාලගෙ වැඩ කරගන්න විදිය ගැනයි.
ඒත් එක්කම කිව්වා අනුන්ගෙ ප්රශ්න අනුන්ගෙ, එයාල ලමයි හදන නොහදන එක එයාලගෙ වැඩක්, ඔයාට ගොඩක් හිටියට මේ තුන්ලෝකෙම මිනිස්සුන්ට එහෙම වෙන්න ඕනෙ නැති බවත්, ඒකෙන් අනික් අයට රිදෙන බවත් පවුල් ප්රශ්න ඇති වෙන බවත්.
එයා මට ස්තූති කරලා ඒවා පිලිගත්තා. ඊයෙ නෑනන්ඩි කතා කරලා කියනවා මේ ගෑණු කෙනා දුවට කතා කරලා කියලා එයාගෙ බබාලා එක්ක සෙල්ලම් කරන්න එන්න, ඔයාගෙම නොවුනත් ඔයාට අයියලා අක්කලා මල්ලිලා ඉන්නවනෙ නැන්දිට එහෙම, ඒ නිසා එයා කියපුවා අමතක කරන්න කියලා.
අනික එයා දැන් ටීචින් ඇසිස්ටන්ට් කෝස් එකක් කරන්න යනවා කියලත් කිව්වලු.
අන්තිමේ කියන්න තියෙන්නෙ අනුන්ගෙ ජීවිත අනුන්ගෙ, එයාල ජීවත්වෙන්න ඕනෙ අපිට ඕනෙ විදියට කියලා තහනම් ගහේ ගෙඩි කාපු ආදම්වත් හිතන්න නැතුව ඇති කියලා.
ඡායාරූපය අන්තර්ජාලෙන්. ස්තූතියි මුල් හිමිකරුට.
උපුටා ගැනීම: නිල්මිණී සමන්තිලක.