ලඳුනේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද තෝරගත්තෙ “ලදුනේ ලදුනේ” ගීතය. මේ ගීතයේ තේරුම ගොඩක් අය දන්නව ඇති. මෙය රචනා කලේ නුවර උසාවියේ සේවය කල අදි නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්මයා. ගායනය ලාංකීය සංගීතයේ දාර්ශනික හඩ පෞරුෂය, අමරසිරි පීරිස් මහත්මයා. මේ කතාවේ මූලබීජය ගණිකාවක්. අපි බලමු කතාව මොකද්ද කියල.
“ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ…ලඳුනේ”
මේ මහත්මයා මේ ගණිකාව සැදෑකලක දැකක්ම අනෙත් හැමෝම හිතන විදියට නෙවෙයි ඇය ගැන හිතන්නෙ. සාමාන්යයෙන් කාන්තාවක් අතගන්නෙ එක් පිරිමියෙකුගෙ.. නමුත් මැය දෙනෝදහක් පිරිමින්ගේ අතගන්නවා. දෙනෝදහක් පිරිමින් ඇසුරුකරනවා. ඒත් සැමියෙක් නෑ. කිසි කෙනෙක් ඇයට ආදරය කරන්නෙ නෑ. කුණුකයෙන් ප්රයෝජන අරගෙන අහක දානවා. ඒ වගේම ඇයට නෑදෑයනුත් නෑ. හේතුව ඇය වීදි සරන කාන්තාවක්. මව පියා, සහෝදර සහෝදරියන් කිසිකෙනෙක් ඇය තමන්ගෙ කෙනෙක් කියන්න කැමති නෑ.
“තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ…ලඳුනේ”
ගණිකාව රැකියාව ආරම්භ කරන්නෙ අඳුර වැටුනම. ඉතින් මේ කාන්තාව හැමදාම සවස තමන්ගෙ රාජකාරියට යන්න ප්රථමයෙන් දළදා මාලිගාවට තෙල් මල් අරගෙන යනවා බුදුන් වදින්න. ඒක ඇයගේ පුරුද්දක්. ඉතින් මේ රචකයට ඇයව දළදා මාලිගාවට යනවිට නෙත ගැටෙන බව කියනවා.
“බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි”
අපේ සමාජය සාමාන්යයෙන් වැරැදිකරුවෙක්ගෙ වැරැද්දමයි දකින්නෙ. ඔහුගෙ හොදක් දකින්න හැකියාවක් නැතිකමක් තියෙනවා. ඒත් මේ රචකය එහෙම නෑ. ඔහු ඇයගේ හොද සහ නරක වෙන් කරගන්නවා. පටාචාරාව තමන්ගෙ මව, පියා, ස්වාමියා, දරුවන් සියලු දේ නැතිවෙලා ශරීරයේ නූල් පොටක් නැතිව පිස්සියක වගේ දෙවුරම් වෙහෙරට එනවා. කිසාගෝතමිය තම මල දරුවා අතේ අරගෙන නැවත පණ ගන්න දෙවුරමට එනවා. අවසානයේදී මේ දෙපලම නිවන් දකිනවා. රචකයා මේ ගණිකාව දකින්නෙත් ඒ ආකාරයටමයි.
“පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළියේ රවන ලඳුනේ”
ඇය මේ කරගහන්නෙ පිරිමින්ගේ පාප කදකට. නමුත් ඔව්න්ගේ පව් පිටවෙන්නෙත් ඇයගෙ පිටින්. කිසිම තැනක පිරිමියා දෙසට ඇගිල්ල දිගුවෙන්නෙ නෑ. රාත්රියේ ඇයත් සමගම පව්කරල උදෑසන දුටුවම රවන ටයි කෝට් දාගනිපු පිරිමින් කොතෙකුත් සමාජයේ ඉන්නව ඇද්ද? ඔව් මහත්මාගතිය පෙන්වමින් ගෙවන අදුරු ජීවිතයේ පව් දිවා රෑ නැතිව අර කාන්තාව විදිනවා.
“ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ලඳුනේ”
මේ කාන්තාවගේ ලැම, පියයුරු විතරයි ඇය හා යන පිරිමියාට පෙනෙන්නෙ. ඇයගේ ලය, හදවත කිසි කෙනෙකුට පේන්නෙ නෑ. ඇයත් කැමති ඇති අනෙත් කාන්තාවන් වගේ පිලිගැනීමක් ලබන්න. ඇයත් කැමති ඇති හොද වෙඩින් එකක් අරගෙන ගමටම පේන්න මංගල ගමනක් යන්න. ඇයත් කැමති ඇති ස්වාමිපුරුෂයෙක් එක්ක හවසක ඇවිදින්න යන්න. ඇයත් කැමති ඇති රස ආහාර කන්න, ලස්සනට අදින්න. ඇයත් කුඩාකාලයේ ගුරුවරයෙක් දොස්තර කෙනෙක් ඉන්ජිනේරුවෙක් වෙන්න හීන දකින්න ඇති. ඇයත් මවක් වෙලා ස්වාමිපුරුෂයත් සමග දරුව පෝෂණය කරන්න කැමති ඇති. ඒත් කිසිකෙනෙක් ඇයගෙන් ඒ දේවල් අහන්නෙ නෑ. ඇයගෙන් කුහුඹුවෙකුටවත් වරදක් නෑ. ඊට වඩා වැරදිකර කර අතපුරා පිරිත් නූල් බැදන් ටයි කෝට් දාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒත් ඇය මේ හැමෝටම වඩා වැරදිකාරියක් බවට මේ සමාජය පත්කරල අවසන්.
සමාජයේ ඉන්න බොහෝ ගණිකාවන් එම වෘතියේ යෙදෙන්නෙ ඔව්න්ගේ විකෘති කාමාශාවන් නිසාම නොවෙන්න පුලුවන්. කුඩා කාලයේ සිදු වුන බලහත්කාරකමක්, කුඩා කලම මව පියා හැරයාමක්, වැරදි මිතුරු ඇසුරක්, දැඩි ලෙස විස්වාස කල ප්රථම පෙම්වතා මේ ගණිකා ජීවිතයේ ආරම්භය වෙන්න පුලුවන්. මේ හේතු සමාජයෙන්ම නිර්මාණය කර ප්රීඩිතයාම ප්රීඩාවට පත්කිරීම සමාජ ක්රමයක්. මේ සමාජයේ සියලු වැරදිකරුවන් අනාවරණය වනතුරු ඇය පමනක් වැරදිකාරිය වේවි.
මේ ච්න්තන ක්රමය වෙනස් කිරීමයි කලාවකින් කරන්නෙ.. වර්තමාන කලාවද එම අරමුණට කේන්ද්රගත වේවා යන්න අපි හැමදෙනාගේම පැතුමක්.
   📜🖋️මලිත් මධුශංක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!