ලංකාව මාරයි නේ ! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“වයස 30යි 60යි අතරෙ අයට වැක්සින් එක ගහනවලු”
සෙනසුරාදා දහවල් වනවිට ගම පුරා ලැව් ගින්නක් මෙන් පැතිර යන්නට විය. ලැව් ගින්නෙන් ගම ඇවිලෙන්නට පෙර, වහාම ක්රියාත්මක වූ මම, අම්මා ද තාත්තා ද (නැන්දම්මා සහ මාමණ්ඩිය) කැටුව එම් ඕ එච් කාර්යාලය බලා ඉගිල්ලුණෙමි.
එහි දෙසීයක පමණ සෙනඟකි. අම්මා ද තාත්තා ද වයස 60 ඉක්මවා ඇත්තෝ ය. කොරෝනාවේ අධි අවදානම අපට වඩා වයස්ගතවූවන්ට ඇති බව අසා ඇත්තෙමි. එබැවින් කෙසේ හෝ ඔවුන්ට එම අවස්ථාව ලබා ගැනීමට මම කල්පනා කළෙමි.
මුලින් ම අප විසින් පත්රිකාවක් පිරවිය යුතු විය. එය ලබා ගැනීමට ද පෝලිමකි. පෝලිමෙන් පැන ගිය මම එහි සිටි නිලධාරියාට කතා කළෙමි.
“අම්මයි තාත්තයි වයසයි. 60ට නම් වැඩියි. ගෙදර දොස්තරල දෙන්නෙක් ඉන්නවා. ඒකෙන් අවදානම වැඩියි. මොනව හරි කරගන්න බැරි වෙයි ද?”
ඔහු අවශ්යතාවය වටහාගත්තේය. ඒ සැණින්ම හිස් ෆෝරම තුනක් මා අතට පත් විය. ඉන් පසු වෛද්ය නිලධාරීන්ගේ පූර්ව සෝදිසිකිරීමකින් අනතුරුව වයස් ඛාණ්ඩ අනුව නැවත පෝලිම් වලට වෙන් කෙරුණි. වයස 60 ඉක්මවූවෝ ද සැළකියයුතු පිරිසක් එහි සිටියහ. එහි දී ලියාපදිංචිය සිදු විය.
මාගේ අවස්ථාව එද්දීම ලියාපදිංචි කිරීමේ මේසය තේ පානය සඳහා මඳකට වසා දමන ලදී. ඒ සමඟම පෝලිමේ සිටි අයගේ මුහුණු මැළවී යනු පෙනිණි. එහෙත් පුදුමයකට මෙන් එම සේවයෙහි යෙදුණු නිලධාරිණිය (උගුරට දෙකට තේ පානය කොට) මිනිත්තු පහක් ගත වීමටත් පෙර නැවත පැමිණියා ය.
“මාරයි නේ” මම මටම කියා ගතිමි.
හා හා පුරා කියා මා ලියාපදිංචි කිරීමට කාඩ්පත දෙද්දීම, තරුණ සංවර්ධන නිලධාරිණියක් පෝලිමෙන් පැන පැමිණ මට ඉහළින් ඇගේ කාඩ්පත දිගු කළා ය. ඇගේ කාඩ්පත දීමට ඉඩ දී “උඩ බලාගෙන සිටීම” ගැන මට පිටුපසින් සිටි ‘අක්කලා’ දෙන්නා කුටු කුටු ගාන්නට විය. සෞඛ්ය ක්ෂේත්රයේ නිලධාරීන් පමණක් නොව, සවර්ධන නිලධාරීන්, ග්රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ රාජ්ය නිලධාරීහු එම ස්ථානයේ රාජකාරියෙහි නිරතව සිටියහ. විශාල පිරිසක් හසුරවමින් ඔවුන් සිදුකරන සේවය බෙහෙවින් පැසසිය යුතු ය. මෙවැනි අවදානම් සහගත අවස්ථාවක, අවම පහසුකම් යටතේ ප්රමාණවත් විවේකයක් හෝ නොගෙන ඔවුන් කරන සේවය ඔවුන් ලබන වැටුපෙන් සාධාරණීයකරණය කළ නොහැකි බව මාගේ හැඟීමයි. එවැනි සිතුවිලි පහළ වන පරක්කුවෙන් තවත් රාජ්ය නිලධාරිණියන් යැයි සිතිය හැකි තිදෙනෙක් ම මා අභිබවමින් ඔවුන්ගේ කාඩ්පත් ලියාපදිංචි කරගත්තේ පෝලිමේ මට පසුපසින් සිටි ‘අක්කලා’ ගේ ‘කුටුකුටුව’ සෙලවෙන “බෙලිකටු මලු” බවට පත් කරවමිනි.
අවසානයේ මගේ වාරය පැමිණෙද්දී පෙර කී තරුණ නිලධාරිණියන් 4 දෙනා ම හඬ ගා කී නම්, ගම්, ලිපින, වයස මෙන් ම හැඳුනුම්පත් හා දුරකථන අංක ද අකුරක් ඉලක්කමක් නෑර පසෙකින් සිටි මා හටද ඇසී තිබුණි.
එන්නත ලබා දෙන ගොඩනැඟිල්ලට ඇතුළු වූයේ ඉන් අනතුරුවයි. මට ඉදිරියෙන් තවත් හතර දෙනෙක් පමණ සිටි අතර මිනිත්තු කිහිපයක් රැඳී සිට මාගෙ වාරය පැමිණෙනවාත් සමඟම නැවතත් සුපුරුදු “අවාසනාව” උදා විය. හැඩි දැඩි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මා පසෙක සිටුවා තබා එන්නත ලබා ගැනීමට කාමරයට ඇතුළු වුණි. තරු පටි පැළඳ සිටි උසස් පොලිස් නිලධාරීන් යැයි සැළකිය හැකි ඔවුන් ද කොරෝනා මැඩලීම වෙනුවෙන් “වැටුපෙන් එහා ගිය සේවයක් කරන” රාජ්ය නිලධාරීන් බව මම තේරුම් ගෙන සිටියෙමි. හෙද නිලධාරිණියගේ ඉල්ලීම මත එක් උසස් නිලධාරියෙක් හිරට තිබූ තරු පටි සහිත කමීසය ගැලවූයේ යම් චකිතයකින් යුතුව ය. ඔහු ඇඳ සිටි සිදුරු වලින් පිරුණු බැනියම එයට හේතු වන්නට ඇත. අවම පහසුකම් මැද උපරිම සේවයක් සිදුකරන රාජ්ය නිලධාරීන් කෙරෙහි තිබූ ගෞර්වයත්, ඔවුන් මට පෙර එන්නත ලබා ගැනීමේ අවශ්යතාවයත් එයින් තව දුරටත් සාධාරණීකරණය වූ බව මාගේ හැඟීමයි. වාසනාවකට හෝ අවාසනාවකට මා යටට බැනියමක් ඇඳ සිටියේ නැත. යම් හෙයකින් ඇඳ සිටි බැනියමේ සිදුරු තිබුණි නම් පිටුපසින් සිටි “අක්කලා” දෙන්නා තව තවත් “කුටු කුටු” ගානු ඇත.
උපදෙස් කිහිපයක් ලබා දෙන අතරතුර හෙද නිලධාරිණිය විසින් එන්නත ශරීරගතකරන ලඳී. වේදනාවක් ගෙන නො දෙන අයුරින් එතුමිය එම කාර්යය ඉතා දක්ෂ ලෙස සිදු කළා ය. කෙසේ වෙතත් මා හට කමීසය ගැලවීමට අවශ්ය නොවුණි. මිනිත්තු විස්සක් එහි රැඳී සිටීමෙන් අනතුරුව නිවෙස් බලා ඒමට අවසරය ලැබෙන බව කියැවුණි. සියල්ල කෙටි කලකින් සිදුවිය.
“ලංකාව මාරයි නේ” මට සිතුණි.
පස්වරු 2ට ඔන්ලයින් පන්තියක් ආරම්භ කිරීමට තිබූ නිසා මම ඉක්මනින් නිවස වෙත පැමිණියෙමි. “පශ්චාත් එන්නත් ප්රචණ්ඩක්රියා” ආරම්භ වූයේ ඉන් පසුවයි. පැරසිටමෝල් ගැනීම ප්රමාද වූයෙන් මඳ වශයෙන් උණ ගැනුණු අතර ශරීරයට යම් අපහසුතාවයක් දැනෙන්නට විය. කෙසේ වෙතත් සිසුන් 80ක් පමණ සහභාගීවන පන්තිය එක වර නතර කළ නොහැකි බැවින් එය පවත්වාගෙන ගියෙමි. වඩාත් අපහසු වූයේ පසු දිනයයි. වේදනා නාශකවලට ඇති අකමැත්තේ ප්රතිඵලයක් වශයෙන් පසුදා උදෑසන ද නැවත උණ ගැනුණි. එදින ද පැය 4ක් බැගින් ඔන්ලයින් පන්ති දෙකකි. උදෑසන 8:00ට ඇරඹෙන පන්තියට සිසුහු 120ක් පමණ සහභාගී වෙති. මා කිසි දිනක පන්තියක සිසුන් ආපසු හරවා යවා නොමැති බැවින් ද, කිසිඳු ඔන්ලයින් පාඨමාලාවක් මිනිත්තුවක් හෝ ප්රමාද වී ආරම්භ කර නොමැති බැවින් ද එදින කෙසේ හෝ නියමිත වේලාවට පන්තිය ආරම්භ කිරීමට කටයුතු කළෙමි. එම වෙහෙසකර දිනය අවසන්වන විට තවත් අපහසුතාවයන් රැසක් දැනෙන්නට විය. යෝධයෙකු විසින් මා ඔසවා පොළොවේ ගසා ඇති විටෙක මෙන් දැඩි වේදනාවක් දැනෙන්නට විය. අපහසුතාවයන් මධ්යයේ වුව ද එදිනට නියමිත වැඩකොටස අවසන් කළෙමි.
සඳුදා දිනය උදා විය. නැවතත් උණ ගැනී ඇති බව දැනුණි. උදය වරුවේ බෙහෙත් බී පැය කිහිපයක් නිදාගැනීමට තීරණය කළෙමි. කේසේ වෙතත් එදින මාගේ රාජකාරි දිනයකි. මා ජපන් ආයතනයක් වෙනුවෙන් සේවය කරන අතර, එම ආයතනය විසින් මා වෙත නිශ්චිත රාජකාරී කාර්යාල වේලාවක් පනවා නොමැත. කෙසේ වෙතත් ශ්රී ලංකාවේ වේලාවෙන් උදෑසන 8:00ත් සවස 5:00ත් අතර කාලයේ ආයතනයෙන් ලැබෙන ඇමතුම්වලට ප්රතිචාර දැක්වීම අනිවාර්ය වේ. කෙසේ හෝ මෙදින එම කාලය තුළ මා වගකීම් විරහිත ලෙස නින්දට වැටී ඇත.
“මෙන්න ජපානේ ලොකු බොස්ගෙන් කෝල් එකක් එනවා”
වෙලාව උදෑසන 10:30ට පමණ ඇත. දුරකථනය නො නවත්වා නාද වෙයි. මම දුරකථනයට ප්රතිචාර දැක්වීමට පෙර ක්ෂණයකින් විද්යුත් තැපෑල පරීක්ෂා කළෙමි.
“අද ජපානයේ වේලාවෙන් ප.ව. 2:00ට ඔන්ලයින් රැස්වීමක් පවත්වමු ද? වැදගත් යමක් සාකච්ඡා කිරීමට ඇත”
ජපානයේ වේලාවෙන් ප.ව. 2:00 යනු ලංකාවේ වේලාවෙන් පෙ.ව. 10:30 වේ. ඒ අනුව නියමිත වේලාවට නොසිටි බැවින් ආයතන ප්රධානියා විසින් මා අමතා ඇති සෙයකි.
මම වහාම දුරකථනයට පිළිතුරු දුනිමි.
“අනේ සමාවෙන්න. මම නිදාගෙනයි හිටියේ. කොරෝනා වැක්සින් එක ගහලා උණ ගත්තා. දැන් මම ඔන්ලයින් එන්නම්”
මා කිසි විටෙකත් ආයතන ප්රධානියා සමඟ අසත්ය කිසිවක් පවසා නොමැති අතර ඔහු ද මා පවසන දේ ඒ අයුරින්ම විශ්වාස කරයි. නමුත් ඔහු මෙවර තරමක් වෙනස් විය. ප.ව. 2:00ට යොදා ගත් රැස්වීම කෙතරම් හදිසි කටයුත්තක් වුව ද ඔහු එය පසෙක ලා මගෙන් හරස් ප්රශ්න ඇසීමට පටන් ගත්තේ ය.
“සචිත්-සන් ඔය ඇත්තම ද කියන්නෙ ? ඔයාලටත් වැක්සින් එක ගැහුව ද ? ජපානෙ ඉන්න කෝටිපතියො වෙච්ච අපිටවත් තවම ගහගන්න බැරි වුණා. එහෙව් එකේ ලංකාවෙ අයට ගහන්නෙ කොහොමද?”
ඔහුට කලබලයක් නොවූ බැවින් ද, මාගේ සත්යතාවය ඔප්පු කළයුතු බැවින් ද, මම පසු ගිය දින කිහිපයේ සිදුවීම සවිස්තරාත්මකව පැවසීමි. අවසානයේ ඔහු මා විශ්වාස කළේ ය.
“suriranka wa sugoi yo ne”
(“ලංකාව මාරයි නේ”)
ඔහුගේ ප්රතිචාරය එය විය.
සැබවින් ම ඇතැම් ක්ෂේත්රයන් තුළ ශ්රී ලංකාව ඉතා ඉහළ මට්ටමක සිටින බව මාගේ හැඟීමයි. සෞඛ්ය ක්ෂේත්රය තුළ ද කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්රී ලංකාව පියවර කිහිපයක් ම ඉදිරියෙන් සිටියි. මීට වසරකට පෙර ශ්රී ලංකාවේ මුල් ම කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනෙද්දී ම කොරෝනා මරණයක අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන නීති පද්ධතියක් සකස්කර තිබෙනු මම දුටිමි. නිරෝධායන ක්රියාවලිය තුළ ද රෝගීන්ට ප්රතිකාරකිරීමේ ක්රියාවලිය තුළ ද ශ්රී ලංකාව ඉදිරියෙන් සිටින බවක් මම දකිමි. ශ්රී ලංකාවේ ආයෝජනයන්හි නිරතවන ජපන් ජාතිකයෙක් සෞඛ්ය ක්ෂෙත්රය දෙස බලා “ලංකාව මාරයි නේ” ලෙස ශ්රී ලංකාව හැඳින්වීම මා සිතට සතුටක් ගෙන දෙන්නක් විය. (දැවැන්ත ජපන් ආයෝජන කිහිපයකටම අප රජය විසින් කෙණෙහිලිකම් කරද්දීත් මෙසේ වීම අස්වැසිල්ලකි)
දෛනිකව වාර්තාවන නව ආසාදිතයන්ගේ හා මරණවල සංඛ්යාලේඛනවල සත්ය අසත්යතාවය කෙසේ වෙතත් කොරෝනා මැඩලීමට ශ්රී ලංකාවේ සෞඛ්ය අංශ විසින් ගෙනයන වැඩපිළිවෙළ ගැන අපට ජාතියක් වශයෙන් ආඩම්බර විය හැකිය. (කරුණාකර දේශපාලනික පාට කණ්නාඩි පැළඳ මෙය කියවීමෙන් වළකින්න)
උපුටා ගැනීම:  සචිත් ලියනගේ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!