ලංකාවේ ආහාර සංස්කෘතිය, නැතිනම් ෆුඩ් කල්චර් එක හරිම අපූරුයි. කාලයක් පුරාවට අපේ රටටම ආවේණික කෑම වට්ටෝරු වගේම අනිත් රටවල් වලින් එකතු වුණු ආහාර වර්ගත් එක්ක එකතු වෙලා හැදුනු අනන්ය ආහාර ක්රමයක් අපි සතුයි. අනෙක් බොහෝ අංශ වලින් වගේම ආහාර පැත්තෙනුත් අපිට බොහොම සාරවත් උරුමයක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඇති වුණු අහාර පුරුදු නිසා ඇති වන ගැටළුත් ඉතින් නැතිවම නෙවෙයි.






ලංකාවේ අපි කවුරුත් ආසයි බත් කන්න. ටිකක් නෙවෙයි ගොඩක් කන්න. අපි කෑම කන ජනප්රියම විදිහ තමයි පිඟාන පිරෙන්න කොත ගහලා බත් බෙදා ගෙන ඒක වටේට ව්යංජන හැන්ද හැන්ද බෙදා ගන්න එක. ඕන නම් බත් එකට හොදි ටිකක් දා ගන්නවා. දැන් මේ සේරම ටික අතින් අනාගෙන කන එක තමයි අපි කරන්නේ.




කලිනුත් කිව්වා වගේ ශ්රී ලාංකිකයන් විදිහට අපි ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට ප්රමාණය හරිම වැඩියි. නිකමට හිතලා බලන්න, අපි කෑම වේලකට බත් කන්නේ නැතුව හිටියත් වෙනත් මොනවා හරි පිටි ජාතියක්මනේ කන්නේ. පාන්, කොත්තු රොටී, ඉඳි ආප්ප, ආප්ප, මඤ්ඤොක්කා, බතල, පිට්ටු, රොටී වගේ පිටි කෑමක් තමයි අපි ප්රධාන වශයෙන් ගන්නේ. පර්යේෂණ වලින් පෙනෙන විදිහට ලංකාවේ මිනිස්සු ලබා ගන්නා කැලරි වලින් 71.2%ක්ම ගන්නේ කාබෝහයිඩ්රේට වලින් කියලා. ඉතුරු කොටසෙනුත් 18.9%ක්ම මේදය. ප්රෝටීන් වලින් කැලරි ලබා ගන්නේ 10.8%ක් විතරයි. මේ අනුපාතය කිසිසේත් ගැලපෙන එකක් නෙවෙයි. ලංකාවේ එන්න එන්නම ඉහළ යන දියවැඩියාවට ප්රධාන හේතුව පිටි ආහාර මිසක් සීනි නෙවෙයි.

අපිට කන්න කෑම ජාති මොන තරම් තිබුනත් අපි අපේ ආහාර වේල් නිවැරදි විදිහට සැලසුම් නොකරන නිසා කවදාවත් ගැලපෙන ආහාර නිසි කාලයක් පුරාවට ලබා ගන්න බැරි වෙනවා. පොඩි වයසේ ඉඳන් සමබල ආහාර වේලක් ගන්න එකේ වැදගත්කම කියලා දුන්නත් අපි හැම වෙලාවෙම කන්නේ කිසිම සම බලයක් නැති ආහාර. ලංකාවේ මිනිස්සුන්ගේ විවිධත්වය අඩු ආහාර සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධය හොයන්න කරපු පරීක්ෂණයකදී තහවුරු වෙලා තියෙනවා සහභාගී වුණු අයගෙන් 5%ක්ම දවස පුරාවටම පිටි ආහාර විතරක් ගත්තු අය බව. (බත් එක්ක අල කරියක් වගේ) එහෙම ආහාර වේලක් ගන්න එකෙන් සිද්ධ වෙන එකම දේ ඔබව මහත් වෙන එකයි රුධිර ග්ලුකෝස් ප්රමාණය ඉහළ යන එකයි විතරමයි.








කොත්තු නිතරම ආහාරයට ගන්න එක ඔබේ මරණය ඉක්මන් කරන්න හේතුවක්! මේක නිකන්ම කියන දෙයක් නෙවෙයි, වෛද්ය පරීක්ෂණ ආයතනය කරපු පරීක්ෂණයක් ඇසුරෙන් ඔප්පු කරපු දෙයක්. ඔවුන් 2012දී කරපු අධ්යයනයකට අනුව නිතර කොත්තු හෝ ෆ්රයිඩ් රයිස් ආහාරයට ගන්න අයගෙන් 50%කටම ඉහළ කොලෙස්ටරෝල් අගයක් සහ අක්මා ගත එන්සයිම ඉහළ සාන්ද්රණයක් තියෙනවා. මේක හෘදයාබාධයක් ඇති වෙන්න තියෙන අවදානම බොහෝ සෙයින් වැඩි කරන කාරණාවක්. කොත්තු වල මිනිස් ඇඟට ඉතා අහිත කර ට්රාන්ස් මේදය පිරිලා තියෙනවා වගේම කොත්තු විකුණන ගොඩක් තැන් වල සෞඛ්යාරක්ෂිත බව ගැන කිසිම සැලකිල්ලක් නැති තරම්. හැම තැනම වගේ ඒ වෙලාවට කොත්තුව හදලා තමයි දෙන්නේ, හැබැයි පැය ගානක ඉඳන් හදන කොත්තු ටික කොත්තු මේසේ තියනවා. දාන එළවලු එහෙමත් අතින් අරගෙනයි දාන්නේ. (සමහර විට වටේ පියාඹන කෘමි සත්තුත් කොත්තු එකටම වැටිලා කෙටෙනවා!) ඉතින් හදවත් රෝග නැතිව ජීවත් වෙන්න ආසයි නම් නිතරම කන කොත්තු ප්රමාණය අඩු කර ගන්න බලන්න.

උදේට රජෙක් වගේ කාලා රෑට හිඟන්නෙක් වගේ කන්න කියන කතාව කවුරුත් අහලා ඇති නේද? පේන විදිහට ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.


අපේ අයගේ තවත් නරක ආහාර පුරුද්දක් තමයි මිලෙන් අඩු පිරිපහදු කරපු පොල් තෙල් අපි කන හැම දේකටම දාන එක.
දැන් කාලේ අපි හැම දෙයක්ම බදින්නයි, තෙල් දාන්නයි, තෙම්පරාදු කරන්නයි පටන් අරගෙන. තියෙන වැඩ කොටසත් එක්ක තෙම්පරාදු කරපු ආහාර ඉක්මනින් නරක් වෙන්නේ නැති එක ලොකු පහසුවක්. ඒ වගේම තමයි හදිස්සියට කන ෂෝට් ඊට්ස්. මේවත් හදන්නේ ගැඹුරු තෙලේ බැදලා නිසා තෙල් ප්රමාණයෙන් ඉහළයි. ඒ වගේම තමයි අපි බහුතරය පිරිපහදු කරපු පොල් තෙල්ම පාවිච්චි කරන එකෙත් ප්රශ්නයක් තියනවා. ලංකාවේ බොහෝ පොල් තෙල් නිෂ්පාදකයන් (SLS තියන ආයතන පවා) පොල් තෙල් හදද්දී නිවැරදි සෞඛ්යාරක්ෂිත ක්රම පාවිච්චි නොකරන බවට පෙන්න තියෙනවා. මේ නිසා පිරිපහදු කරන්න පාවිච්චි වෙන රසායනික වර්ග පොල් තෙල් එකට කවලම් වෙලා තියෙන්නත් පුළුවන්. ඇතැම් නිෂ්පාදන විධි නිසා විෂ ද්රව්ය හැදෙන්නත් ඉඩක් තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා.

විවිධ ජාතීන් හා ආගම් ඉන්න රටක් වෙන එකේ ප්රතිඵලයක් තමයි අපි සිංහල/දෙමළ නොවුණත් අවුරුදු ලබන එක. ඒ වගේම තමයි රාමසාන් එකට ඔබ මුස්ලිම් නොවුණත්, නත්තලට ඔබ ක්රිස්තියානි නොවුණත් මේ හැම උත්සවයකටම කොයි කවුරුත් සහභාගී වෙනවා. විශේෂත්වය කියන්නේ ඒ හැම එකක්ම අපි සමරන්නේ තෙල් පිරුණු කෑම වලින්. කැවුම්, දොදොල්, වටලප්පන්, ක්රිස්මස් කේක් වගේ මොන උත්සව කෑමක් ගැන හිතුවත් මේක පැහැදිලියි. උත්සව කාලෙට කට්ටිය අඩි ගහලා පාටි දාන එකටම මේ තෙල් කෑම රොත්තත් එකතු වුණාම අවුරුද්ද පුරාවටම සෞඛ්ය ගැන හිතන්න කාලයක් නැති වෙන අහන්න දෙයක් නෙවෙයි.





උපුටා ගැනීම: Suwa arana