මේ කතාව කියන්න මතක් උනේ යාලුවෙක් එවලා තිබ්බ link එකක් හින්දා. ඒකේ තිබ්බේ passport සදහා ලෝකේ තිබ්බ අලුත්ම පිලිගැනීමේ ලිස්ට් එක. පිලිගැනීම හොදම රටවල් සහ පිලිගැනීම අඩුම රටවල් ඒකේ දාලා තියෙනවා.
අපි A/L කරන කාලේ කීර්ති සර්ගෙ කතා අහන්න හරි කැමතියි. උගන්නද්දි හොදට නිදාගන්න අයත් කතාවක් කියනකොට ඇහරිලා අහන් ඉන්නවා. ඔන්න දවසක් කතාවක් කියනවා මේ passport ගැන. සර් කියනවා ඉස්සර ලංකාවෙ අයට passport එක කියලා තිබ්බෙ ලොකු පොතක්ලු. අනික් රටවල් වල අය පොඩි සයිස් passport අරන් එද්දි අපේ අය අර තඩි පොත වගේ එකලු අරන් යන්නේ. ඉතින් ඒ පොතත් අරන් පෝලිමේ ඉන්නවා දකිනකොටම වෙනම එන්න කියලා සෑහෙන්න ප්රශ්න කරලා වාත කරලලු සීල් එක ගහන්නේ. ඔය කතාව මතක තිබ්බත් ඔය වගේ දෙයක් ඇත්තටම වෙයි කියලා කවදාවත් හිතුවෙ නම් නෑ. ඒ උනාට උනා කියන්නකෝ.
ඉස්සරලා වැඩ කරපු තැන වැඩකට කාම්බෝජෙට යන්න ඕනේ උනා. මෙහෙ එම්බසියක් නෑ කියලා ඉන්දියාවෙ සහයෙන් තමයි වීසා ගත්තේ. ඔන්න කොහොමහරි ඔක්කොම හදාගෙන
කාම්බෝජෙ airport එකට යනකනුත් ගියා
මීට කලින් transit එක්කදි airport එකට ගිහින් තිබ්බට කාම්බෝජෙට කලින් ගිහින් තිබ්බෙ නෑ. ඒ උනත් මීට කලින් දෙතුන් පාරක් රටකට දෙක්කට ගිහින් තිබ්බ හින්දා මහලොකු අමුත්තක් තිබ්බේ නෑ. කොතෙන්ටද ඊලගට යන්න ඕනේ කියලා බලා බලා ගියා. ගිහින් ගිහින් අදාල තැනටත් ගිහින් ආඩම්බරෙන් දුන්නා පාස්පෝට් එක. යුනිෆෝම් ඇදගත්ත ඩයල් එක ෆොටෝ එක බලනවා මගේ දිහා බලනවා. මගේ දිහා බලනවා ෆොටෝ එක බලනවා. හරියන්නේ නෑ වගේ. මමත් ඔහෙ බලන් හිටියා. ඉවරයක් නෑ. ඊට පස්සේ මනුස්සයා වෙන යුනිෆෝම් ඩයල් එක්කට කතා කරා. දෙන්නෙක්ම ඇවිල්ලා පාස්පෝට් එක බලලා ඒකත් අරන් මාව වෙන කොහෙටද අඩගහගෙන යනවා. හරියට අර Mr. බීන්ගේ ෆිල්ම් එකේ Mr බීන්ට උනා වගේ. තනියෙන්නේ මොනවා කරන්නද ඕනේ මගුලක් කියලා මමත් ගියා.
පොලිස් සෙට් එක කාමරේක වාඩිවෙලා හිටපු ලොක්කෙක් ගාවට මාව අඩගහගෙන ගියා. ජීවිතේ ඉස්සරලම රට ගියපු දවසෙවත් මෙහෙම අකරතැබ්බයක් වෙලා නෑ.
දැන් පොර මගෙන් අහනවා නම, ගම, වීසා ගත්තේ කොහොමද අනං මනං. පස්සේ මනුස්සයා මේසේ උඩින් ගත්තා කොලයක් අරන් ඒක පෙන්නලා කියනවා අද ඔයා එනවා කියලා අපි දැනගෙන හිටියා මේ තියෙන්නේ ඒ විස්තර කියලා. ඇත්ත නේන්නම් ඒකේ මගේ විස්තර තියෙනවා. එහෙම කියලා ඉතින් මම මොනවා කරන්නද. මම සිංහලෙන් කිව්වා ආ නෑ නෑ ඉංග්රීසියෙන් කිව්වා මම මෙන්න මෙහෙම වැඩකට යන්නේ මොකක්ද හේතුව ප්රශ්න කරන්න කියලා. ඊට පස්සේ අහනවා ගිහින් ඉන්නේ කොහෙද වෙන කොහෙ හරි යනවද අරවද මේවද. එක්කෝ මම කියන ඒවා උන්ට තේරුම් ගන්න බෑ නැත්තන් උන් කියන ඒවා මට තේරුම් ගන්න බෑ. දෙගොල්ලගෙම ඉංග්රීසි සුපිරියිනේ.
කොහොම උනත් උන් මට යන්න දෙන්න කල්පනාවකුත් නෑ.
දැන් මම තනියෙන් හිතනවා එක්කෝ මුන් මගෙන් සල්ලි ගන්න මරිසියක් දානවා. එහෙම නැත්තන් වෙන පෝරියල් එක්කට මාව සෙට් වෙලා. ඕනේ එකක් කියලා මගේ ගාව තිබ්බ කාම්බෝජෙ ෆැක්ට්රියෙන් යවපු invitation letter එකද මොකක්ද එක අරන් ටිකක් සද්දෙන් කිව්වා මෙන්න මේකට මම යන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නෑ ඕනෙ නම් ඔය තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා අහගන්න කියලා.
අන්න ක්රමේ.
කට්ටිය ෆුල් සයිලන්ස්. අර දෙන්නට ලොක්කා මොනාද කිව්වා. වැඩේ ශේප්. ඒත් මේ මොකක්ද උනේ කියලා මට දැනගන්නම ඕනේ. මම පොරගෙන් ඇහුවා මොකක්ද මේ සීන් එක කියලා. බලනකොට ලංකාවේ පාස්පෝට් හිමියෝ එහෙ ප්රසිද්ද මත්ද්රව්ය ජාවාරම් කාරයොලු. (හැබැයි රට ඇතුලට ගියාම දැනගත්තා එහෙ ඉන්නේ මෙහෙටත් වඩා ජාවාරම් කාරයෝ කියලා
).

ඒ හේතුව හින්දා ලංකාවෙන් කවුරුහරි එනවනම් අනිවා සෙට් වෙලාලු ඉන්නේ චෙක් කරන්න. ලංකාවේ passport එක දැකපු තැන ඉදන් ඇහැගහගෙනලු ඉන්නේ.
කොහොමහරි ඔන්න ඔහොමයි අපේ රටට තියෙන පිලිගැනීම. හිතාගන්න පුලුවන් නේද පාස්පෝට් පිලිගැනීම අතින් අපේ රට ලිස්ට් එකේ කොයි හරියේ ඇතිද කියලා. කාටහරි ඕනෙම නම් ලිස්ට් එකේ ලින්ක් එක එවන්නම්.
උපුටා ගැනීම: තුසිත බාලසූරිය