ලප (කෙටි කතාවකි) (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පුංචි දුලීගේ දිවේ තිබුණ රතු ලපේ අමා දැක්කේ හම්බෙලා දවස් දෙකෙන්. කිරි පන්තියෙ කියලා දුන්න විදිහට සිනිදු නැපියක් තෙමලා ඇඟිල්ලේ පටලවලා දිව මදිද්දි. කිරි මැලියම් අයින් වෙද්දියි ලපේ මතු උනේ. අමා කලබල වුණ පාර කෙල්ල අතෑරුනේ නැති එක විතරයි. කෑ ගහගෙන යද්දි අම්මයි කපිලයි දොර ළඟ.
ඒ පිම්මෙම දිව්වා ගුණවර්ධන මහත්තයා ළගට. මහත්තයා “හොදට කිරි බොනවද? වැඩිපුර අඬනවද? ” ඕවා මේවා ඇහුවා.
ඉස්පිරිතාලෙ ඉන්නකම් හරියට කිරි බිව්වෙ නැති කෙල්ල ටික වෙලාවක් දිගට කිරි ඉරුවේ වත් අද. එදාම වෙච්චි දේ. ආයෙ ඉස්පිරිතාලෙ උස්සගෙන යන්න වෙයිද? අමාට සිහි නැති ගාණයි.
ඒත් ආපහු ආවේ කෙල්ලට ලෙඩක් නෑ නිකම් ලපයක් වෙන්න ඇති කියලා දොස්තර මහත්තයා බය ඇරෙව්වට පස්සෙ. අමා පැයෙන් පැයට බැලුවත් ටික වෙලාවකින් ලපයක් තිබුණද නැති වෙන්න මැකිලා තිබුණා.
අමාත් කෙල්ලව අම්මා අතට දීල කොර ගගහ ඉස්සරහ කාමරේට ගිහින් ටිකක් ඇහැ පියා ගත්තා.
————————————-
දුලීට අවුරුදු දෙකක් විතර වෙද්දි අමායි කපිලයි කෙල්ලව ඉස්සෙල්ලම ගෝල් ෆේස් අරන් ගියේ. නොච්චියාගම ඉදන් දුර නිසා එදා තමයි කෙල්ල මූද දැකපු පළවෙනි දවස. කිරිල්ලියෙක් වගේ ඇති වෙනකම් වෙරළෙ දුවලා හති වැටුණම කෙල්ල වැල්ලෙ වැටිලා මූද දිහා බලා හිටියා.
ලොකුම ලොකු සතෙක් කියලා හිතලා වගේ දුලී මූදට “එන්න, එන්න” කියලා කතා කරද්දි අමාටයි කපිලටයි හිනා. පැංචි ගැන හිත ආදරෙන් පිපිරෙන්න එනවා ඒ වෙලාවට.
එදා කෙල්ලගේ ඇහේ මතුවෙලා තිබුණ ලපේ අමා දැක්කේ රෑ. එදා දිවේ තිබුනා වගේම තද රතු රවුම් ලපයක් සුදු ඉංගිරියාවේ. මදටියක් විතර.
“ෂික්, ලුණු වතුර ගියාද, වැලි ගියාද අනේ මන්දා, අපිත් ගාණක් නැතුව ඔහේ නටන්න ඇරියනේ.” කඩවත අක්කලගෙ ගෙදර කාමරේ ඉදන් අමා විස්සෝප උනා. කඩවත අක්කා කලබල උනේ නෑ.
සමන් පිච්ච කැකුළු ටිකක් දාපු වතුර වීදුරුවක් අරන් ඇවිත් සීරුවට ඇහැ හේදුවා. උදේ වෙනකොටත් තිබුණොත් දොස්තර කෙනෙක්ට පෙන්නන්න පුලුවන් කියලා නිදාගත්තත් උදේ ලපයක ලකුණක් වත් තිබුනේ නෑ.
——————————–
කෙල්ලගේ වදේ බැරිකමට කපිල ඔෆිස් එකේ යාලුවෙක්ගෙ ගෙදරකින් පූස් පැටියෙක් අරන් ආවෙ දුලී තුනේ විතර ඉද්දි.
පර්ෂියන් අම්මෙක්ගෙයි ගමේ බළල් තාත්තෙක්ගෙයි පැටියෙක් නිසා බූල් වකාරෙ. පුංචි ලස්සන මූණටම කැපෙන පුංචි ඇග දිග කහ ලොම් වලින් වැහිලා. නගුට දඬු ලේනෙක්ගේ වගේ.
මිරික මිරික ඉඹිනකොට බොරුවට කෙල්ලට සැර කළාට අමාටත් පූසාගෙ ලස්සන දැක්කම ආදරේ හිතුණා. කිරී කියලා ඌට නමක් තියාගෙන කෙල්ල එදා කෑවෙත් ඌ ළඟ. නාන්න ගියේ අත්තම්මගේ උකුළේ පූසව තියලා බිම තියන්නෙ නෑ කියලා පොරොන්දු කරගෙන.
රෑ නිදාගන්න කළින් පරණ මාරි පෙට්ටියකට චීත්තයක් දාලා, පූසව තියලා වරුවක් අත ගගා ඉදලා තමයි නිදාගත්තෙ. නිදාගන්න ටිකටත් “අම්මෙ, අම්මෙ” කිය කිය පූස ගැනමයි කතාව.
‘අනේ කිරියගේ සිනිඳු නේද අම්මේ? කිරියා වෙන්න ඇති මේ ලෝකෙ සිනිඳුම නේද අම්මේ?” එහෙම කිය කිය ඉදලයි නින්ද ගියේ.
හිමීට කෙල්ල ළඟින් නැගිටලා කෙල්ලගේ හතර අතට තියන අත පය හරියට තියද්දියි අමා දැක්කෙ අතේ රේඛා මැද තියන ලපේ. අර වගේම ලපයක්! ලෙඩක්ද මේ කෙල්ලට.
අර පූස් මරගාතෙ මැක්කො වත් හිටියද දන්නෑ. කෝකටත් සර්ව විෂාදිය කුප්පියෙන් බින්දුවක් ලපේ ගෑවා.
හැබැයි උදේ වෙද්දි ලපේ මැකිලා. හැබැයි අමා දුවට ඕනවට වැඩිය ඔක්කෙ ගහගෙන පූස් හුරතල් කරන්න දුන්නේ නෑ ඊට පස්සෙ.
————
හය වසරට අලුත් ඉස්කෝලෙට ගිය කෙල්ලට ඕන උනා සංගී‌තෙ කරන්න. ඒ ඉස්කෝලෙ ගායන, වාදන කණ්ඩායම් හැමදාම සමස්ත ලංකා දිනලා ඉස්කෝලෙ ඉස්සරහ පින්තූර පෝස්ටර් ගහලා තියනවා ළමයිනුයි ගුරුවරුයි පේළියට ඉන්දලා.
අනික ක්රීඩා උත්සවේ දවසට එහෙම බෑන්ඩ් කණ්ඩායම් ටවුම හරහා පිට්ටනියට යනවා බලන්න ලස්සනයි. ඒ හින්දා අමාත් හිත යටින් සතුටු උනා දුවත් සංගීත කරනවට.
පළවෙනි දවසේ සංගීත සර් විෂය තෝරගත්ත ළමයි පැය දෙකක් ප්රධාන ශාලාවට අරගෙන සංගීතය ගැන කියා දීලා. හොදට සින්දු කියන ලොකු ළමයි දෙතුන් දෙනෙක් ගෙන්නලා සින්දු කියවලා. රට රටවල සංගීත අහන්න දීලා. කෙල්ල හවස ආවේ ඉපිළි ඉපිළි. ඇඳුම් ලිහලා කන්න වත් සිහියක් නෑ වටේ ඇවිද ඇවිද විස්තරේ කියනවා.
“අනේ අම්මෙ ඒ අක්කලා වයලින් එහෙම ගැහුවා. බෝ එක යනවා විදුලිය වගේ. තව සිම්ෆනි කියලා වගයක් සර් කැසට් එකක් දැම්මා අම්මෝ මම එහෙම ලස්සන ඒව නම් ජීවිතේට අහලා නෑ.”
හවස කපිලටත් වැට පනින්න හම්බුනේ නෑ සිම්පනි විස්තරේ පටන් ගත්ත.
එදා රෑ නිදාගෙන ඉන්න කෙල්ලගෙ කණේ මදුරුවෙක් වහලද බලන්න නැමුණමයි අමා කණේ ඇතුළු පැත්තෙ රතු ලපේ දැක්කෙ. ඒකපාරට හිත ගැස්සුණත් වෙනදා වගේ කලබල උනේ නෑ.
“ආ එහෙනම් ඒකද මේ?” අමාට හිතුණා. .
පුදුම දෙයක් තමයි.
හැබැයි පළවෙනි දවසෙන්ම ආස උන හින්දද මන්ද කෙල්ල සංගීතෙට වහ වැටුණා. ලකුණුත් ගත්තා. අමා සීට්ටුවක් දාලා උපන් දිනේකට අරන් දුන්න වයලින් ඒකත් අපූරුවට ගහන්න ඉගෙන ගත්ත.
—————————–
කෙල්ල කැම්පස් යන්න එළියට බහිද්දි වතුසුදු මල් දාපු වතුර වීදුරුව අරන් අමා ඉස්සරහට ආවෙ අමාරුවෙන් ඇඬුම වාවගෙන. කවදාවත් හිතුවද මේ වගේ දවසක අම්මටයි දුවටයි විතරක් යන්න වෙයි කියලා.
ලියුම ආව දා ඉදන් කෙල්ල බෑග් මලු පටවගෙන, ෆයිල් කොළ පුරව පුරව ලෑස්ති වෙනවා කිරියයි කපිලයි දෙන්නම බලං හිටියේ සාලෙ බිත්තියෙ ෆොටෝවල ඉදන්.
දුලීත් බිම බලාගෙන ගිහින් ලොකු මාමාගේ වෑන් එකට නැග්ගෙ. අප්පච්චි නැති දුක වගේම අම්ම තනියම ඉන්න එක ගැනත් හිත බර නැතෑ.
කෙල්ල නවත්තලා ආව අමාට සතියක් දෙකක් උදේ ඉදන් රෑ වෙනකම් කඳුලු වැටුණා. උදේ තේ හදලා දූගෙ කෝපපෙටත් දානවා. කතා කෙරෙනවා. කෙල්ල සද්ද නැත්තෙ මොකද කියලා කාමරේට එබෙනව.
දෙවනි සතියෙ සිකුරාදා තමයි මල්ලත් පි‌ටේ එල්ලගෙන ඉබ්බි වගේ ආවෙ. රැග් හින්දා කැම්පස් එක එපා වෙලා. සති දෙකට කටු ගැහිලා. කවද කුණුහරප අහපු ළමයිද, රටේ ඉන්න කාලකන්නින්ගෙන් පද අහන්නෙ. නංගිලා අක්කලා නැති එවුන් වෙන්න ඇති.
වදෙන් පොරෙන් වගේ ඉරිදා හවසත් යැව්වේ. ටික දවසකින් රැග් ඉවර උනාම ආසාවෙන් යන්න පටන් ගත්තා.
———————————————-
කැම්පස් ගිහින් මාස හයකින් විතර කෙල්ල සිකුරාදාවක දොරෙන් එද්දිම අමාට වෙනසක් තේරුණා. මූණත් පාට වැටිලා වගේ. ආපු ගමන් අමාවත් බදාගත්තා.
“අම්මෙ අපේ නෑයො ඉන්නව කිව්ව නේද බල්ලපානේ?” නාගෙන ඇවිත් තේක අරන් ඉදගත්තා විතරයි ඇහුවා.
“හ්ම්. ඉන්නවා අප්පච්චිලගේ මස්සිනා කෙනෙක්. ඇයි?”
“නෑ අපේ බැච් එකේ යාලුවෙක් එහෙ. මම කිව්වා අපෙත් නෑයො ඉන්නවා කියලා. නම අහගෙන එන්න කිව්වා අම්මගෙන්” දුලීගේ හිනාවෙන් මොකද්ද පේනවා.
“මොකද මට බල්ලපානෙ තව නෑයො කට්ටියක් හදලා දෙන්නද යන්නේ? ඕන එකක් කවුද කින්ද මන්ද හොදට හොයල බලල”
“ඔය ඉතිං අම්ම හිතන ඒවා” කිව්වට දුලීගේ ඇස් දෙකෙත් එකක් නළිය නළිය තිබුණ හිනාවයි සන්තෝසෙයි අම්මගෙ කතාවක් එක්ක බිමට වැටුණා. දුලී පෙරළි පෙරළී හිනාවෙන්න පටන් ගත්තා.
එදා දුලී නිදාගත්තෙ රෑ වෙලා. ගේ අතුගාලා දොරවල් වහලා අමා ඇවිත් එබුණේ නෙට් එක දාන්න. කෙල්ලට රෙද්ද පොරවන්න යද්දියි අමා දැක්කෙ ලපේ. පපුවේ වම් පැත්තට වෙන්න මදටිය හැඩේ රතු ලපේ.
සැනසිල්ලක්ද සතුටක්ද කියන්න බැරි දෙයක් අමාගෙ හිතේ තෙරපුණා.
අමා දුකත් සතුටත් කැළතිච්ච හිනාවකින් දුවව පොරවලා කාමරෙන් එළියට ආවා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!