ලප කොල්ලා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වැඩ කර කර ඉද්දි මට මතක් උනා ලපයක් නිසා හම්බෙච්ච කොලුවෙක්ව.
එතකොට මම ඉස්කෝලෙ නවය වසරෙ. ඒ කාලෙ මම ඉස්කෝලෙ ගිහින් ගෙදර එන්නෙ පාරෙ බස් එකේ. පිළියන්දලටම එන තව යාලුවෙක් හිටපු නිසා එයයි මමයි තමයි ගෙදර එන්නෙ. අපි දෙන්නා කොහුවලින් ඉඳගෙන එන්න බස් එකක් තිබ්බෙ නැත්තම් කොහුවල ඉඳන් 120 පාරේ බර්නාඩ් එක ගාවින් ඉස්පිරිතාලේ පිටිපස්සෙ පාරට යනව පටන් ගන්න තැනින් බස් එකක නගින්න. ඔහොම පයින් බඩගාල ගිහින් බස් එකට නගින්නෙ සක්යා එකේ ක්ලාස් ඇරෙන වෙලාව සෙට් උනාම තමයි.
දවසක් අපි කලුබෝවිල ඉඳන් වාඩි වෙලා ආවා බස් එකේ මැද හරියක සීට් එකක. කොහුවලින් ක්ලාස් එකේ ලමයි නැග්ගා බස් එක පිරෙන්න. අපිට පිටිපස්සෙ සීට් ටිකේම පිරිමි ලමයි සෙට් එකක් වාඩි වුණේ. ඒ කාලෙ ඇට මැක්කො වගේ හිටියට කොල්ලොන්ට අදාල නෑ. අපි හිනාව හිර කරගෙන ඉඳල හක්ක උලුක් වෙලා බඩ කොර වෙනකම් උං විනෝද වෙනවා.
එදා මම හිටියෙ සීට් එකේ මිනිස්සු හිටගන්න පැත්තෙ. යාලුවා ජනේලෙ අයිනෙ. ටික වෙලාවකින් පිටිපස්සෙ හිටපු කොල්ලො ටික ලපයක් ගැන කියනවා ඇහුණා. ඇහුණා කියන්නෙ ඒ කොලුවා කතා කරන්නෙ ඉස්සරහට බර වෙලා.
“මේ.. ඇහැ ගාව ලපයක් තියන අය වාසනාවන්තයිලු”
එතකොට තමයි තේරුණේ මේ කියන්නෙ මගෙ ඇහැ ගාව ලපේ ගැන කියලා. ඒ උනාට ඒ කාලෙ හැරිලා බලන්නවත් ගටක් තිබ්බෙ නෑ. අපි දෙන්නා අහගෙන හිනා වෙවී හිටියා. දැන් ඔය ලපේ ඇදි ඇදි යනවා. මට ලපේ ගලෝලා විසික් කරන්න හිතෙන තරමට මේ යක්කු හිනාවෙනවා.
ටික වෙලාවකින් කොල කෑල්ලක් උඩින් වැටුණා ඔඩොක්කුවට. මම යාලුවට දුන්නා. යාලුවා ජනේලෙන් එලියට දැම්මා. ටිකකින් ආයිත් කොලයක් වැටුනා. මම යාලුවට දුන්නා. යාලුවා එලියට දැම්මා. තුන් වෙනි පාරත් කොලයක් වැටුණා. යාලුවට දෙන්න හදද්දිම අර කොලුවා ඉස්සරහට නැමිලා කිව්වා
“නංගි මං අරුන් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. අනේ දැන්ම විසි කරන්නෙපා බැහැල විසික් කරන්න” කියල.
විහිලුවෙන් විහිලුවෙන් ඇවිල්ලා පිලියන්දලින් බැස්සා. බැහැලා එන ගමන් මං පලවෙනි පාරට හැරිලා බැලුවා. බොරු කියන්න ඕන නෑ ඒ කාලෙ මම දැකපු හැන්ඩ්සම්ම කොල්ලා. බැලූ බැල්මට තේරෙනවා එකාගෙ හැටියට සෑහෙන්න ලස්සන කෙල්ලො දුසිමක් විතර ගන්න පුලුවන්. ඉතින් ඒ කොලුවා බලන් ඉද්දිම මං කොලේ බිම දාලා ආවා. මිනිහා හිනාවෙවී බලාගෙන හිටියා.
ඔහොම ටික කාලයක් ගියා මට ආයිත් ඒ පිරිමි ලමයි ටික හම්බුණේ නෑ. මටත් ඒක අමතක වෙලා ගියා. එක දවසක් මාත් එක්ක බස් එකේ යන යාලුවා ඇවිත් කිව්වා එදා උදේ වෙච්ච සිද්දියක්.
එයා කොහුවලින් පාර පනින්න හදද්දි තේරිලා තියෙන්නෙ ඉස්සරහට යන්නෙ නෑ මොකක් හරි එකක් මෙයාව ඇදගෙන ඉන්නවා කියලා. හැරිලා බලද්දි අර පිරිමි ලමයා ඉන්නවලු කුඩේ කොක්ක මෙයාගෙ බෑග් එකට දාලා ඇදගෙන. එදා එයා ආපහු නම්බර් එක දීලා තිබුණා යාලුවට දෙන්න කියලා. අරකිත් ඇවිත් මට දුන්නෙ නෑ දෙන්නද කියල ඇහුවා විතරයි. මං ඉතින් එපා කිව්වා.
ඔහොම ගිහින් අපි එකොලහ වසරෙදි දවසක් යාලුවා මට මැසේජ් එකක් දානවා
“මට කාමරේ අස් කරද්දි බඩ්ඩක් හම්බුණා. අර මලිත් අයියගෙ නම්බර් එක. එවන්නද” කියලා.
නම්බර් එක ගත්තෙ නැති උනාට, කතා කරේ නැති උනාට පන්තියම ඒ කාලෙ දන්නවා මලිත් කිව්වම ඌ තමයි කියලා. ඒ තරම් මිනිහගෙ නම කියවෙනවා ඉස්කෝලෙ.
එදා යාලුවා ඇහුවම මම ඉතින් හා කිව්වා. නම්බර් එක හම්බුණා. මට ෆෝන් එකක් නෑ. අම්මගෙ ෆෝන් එකෙන් මම මැසේජ් එකක් දැම්මා. දවස් දෙකකට විතර පස්සෙ රිප්ලයි එනවා කවුද කියල අහලා.
මම කිව්වා “ඔයා සක්යා ආව නේද, ඔයා මට නම්බර් එක දුන්නෙ” කියල.
මේ යකා කියපි “ඔයා අර ඉස්කෝලෙ යන පොඩි නංගි නේද, මම එයාට විතරයි නම්බර් එක දුන්නෙ” කියල.
එතකොට ඒ ලමයා ඒ ලෙවල් ඉවර වෙලා මැනේජ්මන්ට් කරනවා. මිනිහා මට සැලකුවෙ නංගි කෙනෙක්ට වගේ…. කියල තමයි මං හිතාගෙන හිටියෙ.
කතා කරලා කොහොමද අහනවා මිසක් උදේට කෑවද බබා වගේ එව්වා අහන්න ආවෙත් නෑ. ඉතින් මට දිවැස් තිබුණෙත් නෑ. එයාගෙ ඇත්ත නම මලිත් නෙමේ කියලත් කිව්වා. ඒ උනාට මම මලිත් කියලම කියන්නම් මිනිහව දන්න අය හිටියොත් කියලා.
ඔහොම කාලෙ ගිහින් මලිත් අයියගෙ උපන්දිනේ ආවා. එයා කිව්වා තෑග්ගක් අරන් එන්න කියල විහිලුවට වගේ. කතා කරාට ඔච්චර එක ටවුමෙ ඉඳලා එක වෙලාවට බස් එකේ ගියාට හම්බවෙලා තිබුණේ නෑ. එහෙම හම්බෙන්න ඕන උනෙත් නෑ. ඒ උනාට මනුස්සයෙක් මොනාහරි දෙයක් ඉල්ලුවම නොදී ඉන්න බැරි ගිල්ටි ඉත්තෑවෙක් ඒ කාලෙ ඉඳන්ම තිබ්බා මට. දැන් සෑහෙන්න පාලනේ කරන් ඉන්නෙ. ඉතින් ඔය ඉත්තෑවා කටු වලින් හිටපු තැනට ඇන ඇන අහනවා ‘තෝ මොනාද දෙන්නෙ’ කියලා.
දෙන්න කියල මම සල්ලි හම්බකරන එකක් යැ.. මං කල්පනා කරද්දි කරද්දි.. මට හිතුනා පොඩ්ඩක් විනෝද වෙන්න ඕන කියලා. කඩේට ගිහින් රුපියල් විස්සෙ දිලිසෙන රැපින් පේපර් එකක් ගෙනාවා. කුස්සියට ගිහින් එලෝලු වට්ටිය ගාවින් වාඩි වෙලා ලොකු ලූණු පොතුයි, කුණු වෙච්ච සුදුලූණුයි, මදිපාඩුවට පුස් අල්ලල කලු වෙච්ච කොස් ඇට ටිකකුයි හොයාගෙන මැදින් තියලා ලස්සනට එතුවා. ඔතලා උඩින් සමනල බෝ එකකුත් ගැටගැහුවා.
පහුවදා මම උදේ බස් හෝල්ට් එකට යද්දි කොලුවා ඉන්නවා. උදේට පිලියන්දලින් බස් වල වාඩි වෙලා යන්න නම් සාරාසන්කෙයිය කල්ප ලක්ෂයක් දන් දීලා පෙරුම් පුරන්න ඕන. ඉතින් දෙන්නම හිටගෙන. මං උදේ පාංදර ගිය ගමන් තෑග්ග දීලා ඉවරයි. එයත් බෑග් එකට ඔබාගත්තා. මේ යකා කොහුවලට යනකම් හිනාවෙවී අහක බලන්නැතුව මගේ මූණම බලාගෙන ඉන්නවා.
කියන්න සන්තෝසයි මිත්රවරුණි අන්න එතකොට තම මගේ මෝඩ මොලේට බල්බ් එක පත්තු උනේ මේකා නංගි කෙනෙක් වගේ කියල මට කිව්වට නංගි කෙනෙක්ම නෙමේත් වගේ කියලා.
දැන් ඉතින් දීපු තෑග්ග ඉල්ලගන්නද.. ඉල්ලගෙන මම දතක් ගලවලා දෙන්න කියලයැ තෑග්ගට. ඕන මගුලක් වෙන්න කියල මං හිත හදාගෙන බැහැලා ආවා.
හවස මම බලාගෙන හිටියා හෙණ ගහනකම්. ටිකක් කලුවර වැටීගෙන එද්දි ඔන්න එනවා කෝල් එකක්.
“අම්මෝ නංගි ඔයාගෙ තෑග්ග.. මං බූරුවා වගේ උඩ පැනලා අරගෙන යාලුවො ඔක්කොම ඉස්සරහ තියල දිගෑරියා. අර කලු පාට මොනාද දැක්කම හිතුවෙ කෑමක් කියල. මොනාද ඒ කොස් ඇටද”
පොලව පලාගෙන යන්න ලැජ්ජයි මිත්රෝරුණි. හිතන්න, කෙල්ලෙක් තෑග්ගක් දුන්නම ලෙහනකම් වට වෙලා විහිලු කර කර ඉඳලා ඇතුලෙ තියෙන්නෙ කුණු වෙච්ච එලෝලුයි ලූණු පොතුයි කියල දැක්කම..එයා නම් හොඳට නෝන්ඩි උනා කිය කිය හිනාවුණා.
ඉතින් මිනිහා එදා හිත හදාගත්තා මම පරිණත වෙලා මදි කියලා. ඒත් අපි කතා කරා. කොහොමහරි මට ඕලෙවල්, එයාගෙ ඉගනීම, පෞද්ගලික ජීවිතේ එක්ක ඉඳල හිටල කතා කරපු එක අඩු උනා.
මම ඒ ලෙවල් කරද්දි යාලුවො එක්ක විහාරමහාදේවි එකේ පාඩම් කරන පැත්තට යනවා පාඩම් කරන්න. ඒ වෙද්දි අපි කතා කරේම නෑ. එහෙම ගිය දවසක මලිත් අයියා ඇවිත් හිටියා එයාගෙ ගෑණු ලමයා එක්ක. හොඳට කතා කරල ගියා.
ඊට පස්සෙ දවසක බස් එකේ හම්බුණා එයාගෙ ඒකට පස්සෙ ගෑණු ලමයා එක්ක.
ඊට පස්සෙ ෆේස්බුක් එකේ දැක්කා ඒකටත් පස්සෙ ගෑණු ලමයා එක්ක.
ඊට පස්සෙ දවස එයා බයික් එකේ යද්දි මාව දැකල ගෙදර ගියාම කෝල් කරල කිව්වා “මම ඔයාව දැක්කා, ඉස්සර හිටපු බටු කෙල්ලද කියල හිතාගන්නවත් බෑ. හොඳට ඉගනගන්නවා.. දැන්ම කොල්ලො එක්ක යාලු වෙන්නෙපා” කියල.
ඊටත් පස්සෙ දවසක ජිම් එකේ එලියෙ ඉඳලා මාව දැකල කෝල් කරා. එදා කිව්වා ඒ එක ගෑණු ලමයෙක්වත් හිතට වැදුනේ නෑ, ඒ නිසා තාම බැන්දෙ නෑ කියලා.
අන්තිමට ආයිත් බස් එකේදි හම්බවුණා අහම්බෙන්, එයා රට යන්න පාස්පෝට් හදන්න ගිහින් එද්දි. එදා කිව්වා “ඇහැ ගාව ලපේ නම් වෙනසක් නැතුව තාම තියනවා, ඒකනම් අමතක වෙන්නෙ නෑ” කියලා.
දැන් අපි ඉන්න පාරට ගොඩක් කිට්ටුවෙන් තමයි එයාගෙ ගෙවල් පාර තියෙන්නෙ. දැන් නම් බැඳලා ඇති කොහොමත්. මං හිතන්නෙ දැන් රට ගිහින් ඇති. ආයිත් කවදහරි හම්බවෙයි දරු මල්ලො එක්ක යන දවසක.
සමහර හමුවීම් තියනවා, ඒවාට නවාතැන් කියන්න බෑ.. නිකම්ම හමුවීම් විතරයි.
 උපුටා ගැනීම: – තක්ෂිලා පැතුම් –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!