කරන්න ලොකු දෙයක් නැති කමත්, නවාතැනේ ලොකු ඉඩක් නැති නිසාත් මම ගොඩාක් කාලය ගත කරන්නේ ජනේල පිල උඩ. ජනේලෙන් එලිය බලාගෙන ඉන්න මට පාරේ විවිද වයස් වල මිනිස්සු එහා මෙහා යනකොට එක එක දේවල් ලියන්න මතක් වෙනවා. අද මට හිතුනා ලස්සන ගැන ලියන්න. මොකද බහුතරයක් මිනිස්සු ලස්සනයි කියලා විස්වාස කරන අංග වලින් සපිරුන මිනිස්සු දුරු රට ආව දවසේ ඉදලා නිතර දකින නිසා. මම අදත් ලියන්නේ මගේ පුද්ගලික මතය. අනේ මගේ අදහස් වලට එකග නැති වුනත් මට දෙස් පවරන්න එපා. ඒ වගේම මම කිසිම කෙනෙකුට කවදාවත් වචනෙකින් වත් සිත රිදවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මට කිසිම විදියකින් කිසිම කෙනෙක් විවේචනය කරන්නවත් විනිශ්චය කරන්නවත් අයිතියක් නැති බව මම හොදින්ම දන්නවා.
මගේ පවුලේ මගේ වටේ හිටිය හැම දෙනාම වගේ ලස්සනයි කියන කැටිගරියට වැටෙන අය. මම පොඩි කාලේ ඉදලම හැදුනේ ඒ අය දැකලා. ඒ නිසාම වයස යද්දී මට ඒ අය වගේ මම ලස්සන නෑ කියන සිතුවිල්ල ආවා. මේ සිතුවිල්ල මට මාවම එපා කරවන්න හේතුවක් වුනා. ගෙදර අය කවදාවත් මට ලස්සන නෑ කියලා නොකීවත් මම හිතුවෙ ඒ අය මට ආදරේ නිසා එහෙම පේනවා ඇති කියලා. ආලය අන්ධයි කියනවානේ.
අවුරුදු පහ ලැබුව ගමන්ම මට මූනෙන් බාගයක් වැහෙන්න කන්නාඩි දාන්න වුනා. මේකත් එක්ක ලස්සන කියන දෙයට මට සදහටම තිත තියන්න වුනා. ගෙදරින් එක එක විදියේ කන්නාඩි අරන් දීලා මගේ හිත සතුටු කරන්න උත්සහ කලත් මගේ හිත මට හරියට වද දුන්නා. ඒ වගේම මම ලස්සනද කියලා ඇහුවම හැම මනුස්සයම වගේ මට කීවේ “ඔයාගේ හිත හුගාක් ලස්සනයි, ඒකනේ වැඩියෙ වටින්නේ” කියලා. එතකොට දෙය්යනේ මම ලස්සන නෑ කියලා මූනට කියන්න බැරි නිසා නේද මට ඒ විදියට කියන්නේ. මගේ හිත ලස්සන ඇති ඒත් මම ඇහුවේ ඒක නෙවෙයි නේ.
ලංකාවේ බහුතරයක් මිනිස්සු ආස, සුදුම සුදු, කෙට්ටු, දිග කොන්ඩයක් තියෙන ගෑනු ලමයින්ට කියලා මට තේරුම් ගියා. මම සුදුම සුදු නෑ. ඒ වගේම කෙට්ටුයි කියලා කියන්න තරම් කෙට්ටුත් නෑ. මහ ලොකු දිග කොන්ඩෙකුත් නෑ. දැන් ඉතින් මැරිලා ඉපදෙන්නයෑ. මම හිත හදා ගත්තා. නැති දේවල් පස්සේ පන්නන්නේ නැතිව මේ ඉන්න ටිකේ ලෝකෙට හොද කරලා මැරිලා යනවා කියලා. මම අම්මාට හුගාක් වෙලාවට කියන දෙයක් තිබුනා. ඒ තමයි මාව මේ ලෝකෙට එවල තියෙන්නේ අනිත් අය වෙනුවෙන් කියලා. ලේ දන් දෙන්න, කොන්ඩෙ දන් දෙන්න, මැරෙන්න කලින් දන් දෙන්න පුලුවන් හැම දේම දීලා සතුටින් මැරෙන්න කියලා. අනිත් අය වෙනුවෙන් ඉපදෙන මිනිස්සු අඩු ඇති. ඒ වෙනුවෙන් ඉද හිට මම වගේ අයව ලෝකෙට එවනවා ඇති කියලා. මට නරකක් වෙන හැම වෙලාවෙම මම හිතුවෙත් අනුන් වෙනුවෙන් උපන් මට මගේ කියලා සතුටක් උරුම නෑ කියලා.
මම තවම කසාද බැදලා නැති නිසා මම මාව දැකලා නැති කෙනෙකුට එහෙම කිව්වොත් ගොඩාක් අය මගෙන් අහන දෙයක් තමයි ඔයා එහෙනම් ලස්සන නැතුව ඇති කියලා. මට ඉතින් ” නෑ නෑ මම ලස්සනයි” කියන්න යෑ. මම ඇස් දෙකේ කදුලු පුරවන් නිහඬ වුනා. ඒ කියන්නේ මේ ආත්මේ බදින්න වෙන්නේත් නෑ. මොකද හිතේ ලස්සන පේනවයෑ.
මගේ ගුරු ජීවිතේ හමු වුන හුගාක් දරු පැටවුන්ට මම මේ ලෝකේ ලස්සනම කෙනා වුනා. මට කොන්ඩේ මහා ලොකු දිගක් නැති වුනත් එයාලගේ සුරංගනා කතා වල ඉන්න රපුන්සෙල් හරි මොකක් හරි එකක් කියලා තමයි මට අඩ ගැහුවෙත්, කොන්ඩෙ දන් දීලා ඉන්නකොට එයාලා කිව්වා, කමක් නෑ හිම කුමාරි කොන්ඩෙ කපලා ඉන්නේ කියලා. එයාලත් මම වගේ ලොකු වුනාම කොන්ඩෙ දෙනවත් කිව්වා. ඒකත් ඉතින් අම්මයි තාත්තයි මම ලස්සනයි කිව්වා වගේ එකක් නේ. ඒ නිසා ඒකත් ගනන් ගන්න බෑනේ.
ලෝකෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින්න බැරි මම ගෑනු ලමෙක් නිසා බහුතරයක් මිනිස්සු ලස්සන වීම අනිවාර්ය දෙයක් බව විස්වාස කරන නිසා. ඒත් ලස්සන කියන එක සාපේක්ෂ දෙයක් කියලා මට හිතෙනවා. ඔබට ලස්සන නැති දේ මට ලස්සන වෙන්නත් මගේ ලස්සන දේ ඔබට ලස්සන නොවෙන්නත් හැම විටම හැකියාව තියෙනවා. ඒ නිසා කාගේ හරි ඇස් දෙකට මම ලස්සන ඇති.
හැබැයි මම දන්න ගොඩාක් ගෑනු ලමයි මේ නිසා මානසිකව ඇද වැටිලා තිබුනා. ඒ ලමයි සමහර අය කලුයි, කියලා කැතයි කියලා හිතලා තිබුනා. මම ඒ අයට හැමෝටම කිව්වේත් ලස්සන කියන දේ සාපේක්ෂ නිසා එහෙම අපිට අපිව විනිශ්චය කරන්න බෑ කියලා.
ටෙහෙමිනා දුරානි ලියූ, “මයි ෆියුඩල් ලෝර්ඩ්” කියන පොතේ ඇය කියනවා ඇගේ අම්මා ඇය කැතයි කියලා ඇයව කොන් කලා කියලා. පොතේ පිට කවරයේ ඇගේ තිබුන චායාරූපය දැක්කාම මට හිතුනේ ඇය ගොඩාක් ලස්සන කෙනෙක් කියලා. එතකොට ඇය අවලස්සනයි කියන අදහස එයාගේ අම්මාට සාපේක්ෂව දැකපු දෙයක්. මගේ සමහර යාලුවන්ට විවාහ යෝජනා ආවම ඒ අය කෙලින්ම අහල තියෙනවා “ගෑනු ලමය ලස්සනද? සුදුද?” කියලා. මම දැකලා තියෙනවා පත්තරේ දැන්වීම වල “ස්ලිම් ඇන්ඩ් ප්‍රිටී” එහෙමත් නැතිනම් “සිහින් සහ ලස්සන” කියලා මංගල දැන්විම් තීරයේ ඉල්ලන ගෑනු ලමයාගේ ලක්ශන ලෙස තියෙනවා. ගැහැනුන් බොහෝමයක් දරුවන් ලැබීමෙන් පසුව යම් තරමකට මහත් වෙනවා. ඒක සොබාවික සංසිද්ධියක්. සිහින් ලස්සන කියලා විවාහ වෙලා ඇය මහත් වුනොත් දීගය අත හරිනවද? ඇය වැදුවේ ඒ පුරුශයාගේ දරුවෙක් නෙවෙයිද? එහෙම හරිම ලස්සන කෙනෙක් ඉල්ලන්න විනිශ්චය කරන්න ඔබ කවුද?
ලස්සන මේකයි කියන සංකල්පය ලෝකේට ඇති වුනේ විලාසිතා සගරා ආදියේ සිටින ගැහැනුන් දැකීමෙන්. ඒ ලෝකෙයේ වැඩිම ආදායමක් ලබන ගැහැනුන් කියලා දුටුවාම කාලයත් සමග ඔවුන් අපිට ලස්සනම අය වෙනවා. ඒක ඒ ගැහැනු අයටත් මානසික වදයක්. කෑම නොකා වතුර පමනක් බිබී, විවිධ සැත්කම් මගින් ශරීර අවයව වෙනස් කරමින් ඔවුන් අපෙගේ ලෝකයේ රූමතියන් වෙන්න වෙර දරනවා. චායාරූපය ශිල්පීන් ඔවුන්ව තවත් සුන්දර කිරීමේ අදහසින් මෘදුකාංග භාවිතා කර චායාරූපය වෙනස්කර ඒවා සගරා වල පල කරනවා. ඒත් ඒ ඇත්තෙන්ම ඇය නොවේ. “මොඩල්ස් විතවුට් මේකප්” ඒ කියන්නේ මේකප් නොමැතිව විලාසිනියන් කියලා පින්තූර පල වන්නේ ඒවා කුතුහලය දනවන නිසා. අපි නිකරුනේ අපේ අවට ගැහැනුන් ඔවුන්ගේ මිම්මෙන් මනිනවා. මට නම් ඔවුන් හා අපේ අතර ලොකු වෙනසක් නෑ.
මම දැන් ඉන්න රටේ අයගෙන් දකින ප්‍රධාන වෙනසක් තමයි, අර වගේ සගරා වලට සීමා නොවී හැම කෙනෙක්ම ලස්සනට දකින එක. කිසියම් කෙනෙක් ඔවුන් විවේචනය හෝ විනිශ්චය කලොත් ඔවුන් එය විශාල වරදක් විදියට දකින නිසා. මෙහේ ගෑනු බහුතරයක් වගේ සුදුම සුදු කෙට්ටු ගෑනු. හැබැයි එයාලා කලුම කලු මහත කෙනෙක්, (ලංකාවේ බහුතරය කැතයි කියලා කියන) දකින්නේත් ලස්සනට. හැම කෙනාටම ඒ අයට ආවේනික වූ ලස්සනක් තිබෙනවා. ඒක පේන්නේ උතුම් මනසක් ඇති අයටයි. මේ දේ මම කියන්නේ මම මහ ලස්සනක් නැති නිසා හිත හදා ගන්න කියලා ඔබ සිතනවානම් මට ඒකට විරුද්ධ වෙන්න බෑ. මොකද ඒ ඔබ හිතන විදිය. හැබැයි මම මෙහේ ආවම මට මම ගැන ආඩම්බරයක් මිසක් දුකක් දැනුනේ නෑ. ඒ නිසා ඔබ සමාජය විසින් ලස්සන නෑ කියලා හංවඩු ගැහුවොත් ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න දුක් වෙන්න එපා. ඒ අයට ඔබේ ලස්සන දකින්න තරම් උසස් මනසක් හෝ කලාත්මක ඇස් දෙකක් නෑ. ඒකට ඔයා පලි නෑ. අනික අපි ලෝකේ හැමෝගෙම මිමි වලින් ලස්සන වෙන්න ඕන කියලා එකක් නෑ. අපි ලස්සන වෙන්න ඕන අපිට ආදරේ අයට. ආදරේ කෙනෙක් ඔබව කැතට දකින්නේත් නෑ.
බාබි බෝනික්කෝ කියන්නේ මිම්මක් නෙවෙයි. ඒ වගේම දැන් විවිධ ආබාධ සහ හිසකේ නොමැති බාබි බෝනික්කෝ හදන්න බොහෝ රටවල් පෙලබිලා තියෙනවා. ඔබ ලස්සනයි. කාට නැතත් මට ලස්සනයි. මේ ලෝකේ ඔබව කවදාවත් නොදැකපු මට ඔයාව ලස්සනයි නම් ඔබව දකින අයට ඔබ ලස්සන නැති වෙන්න බෑ.
ආහ් කියන්න අමතක වුනා. මම ප්‍රොෆයිල් පින්තුරයේ කාටුන් එකක් දමා ඇත්තේ පුද්ගලිකත්වය ආරක්ශා කිරීමේ උපක්‍රමයක් විදියට පමනයි. ඒකත් මගේ චායාරූපයක් ඇසුරින් හැදුවේ. ඒ නිසා ඒකට ලස්සන අදාලම නැති බව කරුනාවෙන් සලකන්න.
උපුටා ගැනීම: ෂෙහානි කරුණානායක