නංඟීට රියදුරු පුහුණුව දෙන්න කියා තාත්තා බාර දුන්නේ ලොකු අයියාට නොහොත් මංතුමාටය. අනේ අර යස අගේට තියන ලර්නර්ස් එකට පංගාර්තුකොට ඕක පුරුදු කරවන්න යැයි මා කීවද තාත්තා ගේ උත්තරය වූයේ
” ලර්නස් එකට යන්න කලින් ඔය පොඩ්ඩක් අත හුරුකරලා යැව්වම හොඳයිනේ… අනික තමන්ගේ එහෙකින් පුරුදු උනාම හිතට හොඳයිනේ”
ආන්නේයාකාරයෙන් ඒ මාරාලෙත් මටම කඩා වැටුන හෙයින් , එක් සුන්දර සෙනසුරාදා උදෑසනක මා උන්දෑට රියදුරු පුහුණුව ලබාදීම ආරම්භ කලෙමි. කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාස මහත්තයා සේ…ගැම්බර් එකෙන් හෙනම ලොකු සීන් එකෙන් මං ලෙක්චර් එක පටන් ගත්තෙමි.
ආ රයිට්…. දැන් තමුන් හිතට ගන්ඩෝනා… මේ වාහන එලවීම කියන්නේ සෑහෙන්ඩ වගකීම් සහගත කටයුත්තක්. මොකද..තමුන්ට වැදගත් නොවුනට තමුන් පාරේ ඕක එලවං යන වෙලාවට ඒ පාරේම යන එන මිනිස්සු සත්තු කුරුල්ලො ආදී සියල්ලෝම තමන්ගේ ජීවිතයට ඇති ආසාව බොහෝයි. ඇත්ත වශයෙම්ම මාගේ මතකය දිවයනවා මීට වසර දෙසීයකට පෙර රයිට් සහෝදරයෝ ඒ හොයාගත්ත සුවිසේසී නිර්මාණය නිසා තමයි මිනිසුන්ට තමන්ගේ ගමනාගමන සීන් එක සුපිරියටම ….
“තමුසෙට පිස්සුදෝයි…. මෙන්න මේක එලවන්නේ කොහොමද කියනවකො”
“මාගේ හරවත් බරවත් දේශනාව නවතා මං මාගේ නැඟණිය වූද මව්ගේ එකම හීනය වූද තාත්තා ගේ ආඩම්බරය වූද ගෙදරට මිණි පහණ වූද …” මේ සේරම උන්දෑ විසින්ම උන්දෑගේ විස්තර පත්‍රිකාවේ ඇතුලත් කොට ඇති දත්ත ය නැත්නම් ගෙදර කතාව හාත්පසින්ම වෙනස් ය
මා ලොකු පුතා වන අතර ඈ සුදු පුතාය. අම්මා හිටිවනම කුස්සියේ සිට කෑගසයි.
සුදු පුතේ…. මේ පොල් ටික ගාන්න…
මෙන්න නැවතත් එම නිවේදනය යනුවෙන් එය කීපවතාවක්ම විකාශනය වේ
ඒසේ කිහිප වරක් ම විකාසය වූ පසු අම්මාගේ අවසන් නිවේදනය විකාශය වෙයි
” මං දැන් ඔතනට ආවොත් උඹේ ඔය හූනියම අල්ලලා පොලවේ ගහනවා.. උදේ ඉඳන් බෙල්ල මෙහෙක් කරන් ඕකෙම එල්ලිලා… ලමිස්සියෙක් උනාම කොස්ස ඉදලේ වැඩක් කුස්සියේ වැඩක් කරාම පවු සිද්ද වෙනවද… අපි අපේ නංඟිලා මල්ලිලා බලාකියාගෙන උයාපිහා ගෙන රෙදිපෙරදි හෝදගෙන….
වරෙන්කො දීග ගිය දාක දත් ඇන්ද ගලවගෙන අඬාගෙන…. අඤේ අඤ්ඤ්ම්ම්මේ කියාගෙන “
ඉන්පසුව කුස්සියට සැපත් වන ඕතොමෝ එහිවු මිටි බංකුවේ වාඩි ලා අම්මා සමඟ ඕපදූපයක් කියවන්නට ගනී. ඕපය උච්චතම අවස්ථාවට එන අතර නංඟී හරිබරි ගැසී වාඩිලා අභිරූපනයෙන් ඕපය රස කරද්දි අම්මා පොල් ගායි, පොල් මිරිකයි, හොඳ්දට දෙහි ඇඹුල් ද බලයි. අවසානයේ සියලු කෝප්ප පිඟන් හෝදා සියලුම වැඩ අහවර කොට
“කමක් නෑ ගෙදර ඉන්නකන් විතරනේ.. ඔන්නොහේ නිදහසේ හිටපු දෙන් කියා ” ඒ වඩිග පටුන නිදොස් කොට නිදහස් කරයි. ආනේයාකාර මනුස්පයෙකුට රියදුරු පුහුණුව ලබාදීම කෙතරම් බාරදූර කටයුත්තක් දැයි සිතා බැලිය යුතුය. එහෙම බැලුවම ඇත්තටම ලර්නස් වල ඈයෝ හරි පව් ය.
වැඩේ පටන් ගත්තේ ඉස්සෙල්ලම වාහනයේ අංග උපාංග සුවිච් බුවිච්, ලයිට් සිග්නල් වයිපර් දැමීම,රිමෝට් යතුර, පෙට්‍රල් මූඩිය ඇරීම, බූට් එක අරින විදිය ආදී ටුවර් එකකින්ය.
ගෝලයා නරකම නැත. එකෙන්ම ප්‍රශ්න අසමින් ඉඟන ගනී.
“දැන් මේ පාගන පැඩල් දෙක එක පාර පාගන්න බැරිද? “
“මේ උඩිං හැංඟිලා වගේ තියන පොඩි පැඬල් එක බැරි වෙලා හරි පෑගුණොත්?”
“ඉතිං ලොක්කො මේ එක කකුලෙන් මාරුවෙන් මාරුවට ඇක්සලේටර් එකයි බ්රේක් එකයි පාගන්නේ මොකටද…කකුල් දෙකෙන් බැලන්ස් කරන්ඩ පුලුවන් නේ..?”
” දැන් අපි පාරෙ යද්දි ඉස්සරහා හොම්බ කොයි හරියෙද තියෙන්නෙ කියලා අපිට බලාගන්න බැරිද? ඉස්සරහා වාහනේ වදින්නත් පුලුවන් නේ මෙහෙම නොපෙනී තියනකොට”
“දැන් හරවන හැමවෙලේම සිග්නල් දාන්නම ඕනද?”
“රෝද කොයි ප්රමාණෙටද කැපෙන්නෙ කියලා අපිට බලාගන්න බැරිද… ඇයි මේකේ ටයර් ඇතුලේ ඉන්න අයට පේන්න හදන්න බැරි …එහෙම පේනවා නම් අපිට ලේසී නේද?”
” අර ෆිල්ම් වල වගේ මේකත් එක තැන කරවන්න පුලුවන්ද ? ,එතකොට ටයර් මැද්දෙන් දුම දානවද?”
” මේ සයිඩ් කණ්නාඩි ඇයි මෙච්චර පොඩි, ඒවා අඩියෙ අඩියේ වගේ ලොකුවට හයිකලානම් පැහැදිලිව පේනවනේ අප්පා …. අර බස් වල වගේ..”
අන්න ඒ ආකරයෙන් ප්‍රශ්න අසමින් ඉඳලා එක පාරටම මෙවුන්දා අහපි ප්‍රශ්න දෙකක්..
මේ එක
“මේ ලොක්කයියේ…. මේකට පෙට්‍රල් ඩීසල් දෙකම ගහන්න පුලුවන්ද ?”
මල පැන්නා හිතවතුනි
” නෑ ඔය දෙකම නෙමේ මේකට ගහන්නේ…?”
“ඇත්තටම ….??? “
” ඔව් මේකට ගහන්නේ එලඟි තෙල්… “
මේ තමයි හොඳම ප්‍රශ්නේ.
” මේ හලෝ… මට මේ ශීට් එකේ වාඩි උනාම පාර පේන්නේ නෑනේ?”
“ඇයි යකෝ ඔය පේන්නේ මේ වීදුරු අස්සෙන් ..”
” ඒ පේන්නේ දෙපැත්තේ වටපිටාවනේ අනේ… මං අහන්නෙ මේ ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි උනාම ඇයි අපිට කාර් එක ලඟම පොලව පේන්නේ නැත්තේ ? මොකෙක් හරි සතෙක් මනුස්සයෙක් හිටියොත් එහෙම එතන ? “
මං තාම වාහනේ අස්සේ කල්පනා කරනව මිත්‍රවරුනි මේ වගේ දහදෙනෙක් ලංකාවේ පාරවල් වලට ආවනම් අපේ රට මීට වඩා හුඟක් දුර ගිහින් නේද කියලා…
සෝ…. ඕල් ද නාරීස්, ලේඩීස් ඇන්ස් සොකරීස් අවුට් දෙය… ඩ්‍රයිව් කෙයාෆුලි
සුබ සන්ඩේ එකක් වේවා
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්‍රේමසිරි