ලිෆ්ට් එකේ වරුවක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ, මා කොළඹ පැමිණ ගත කල දෙවන සතියයි. “බංඩා කොළඹ ගියා වගේ” යැයි කියමන සනාත කිරීමට අදාලව සිදු වූ සිදුවීම් රාශියක තවත් එක් නින්දාසහගත සිදුවීමකි මේ.
බෝඩිමෙන් ඔෆිස් එකටත්, ඔෆිස් එකෙන් බෝඩිමටත් යාමට පමණක් දැන සිටි මා හට එක් අඳුරු දිනක මාගේ ආයතන ප්රධානියා විසින් ප්රකාශ කර සිටියේ “ හෝම්ස් කොළඹ තවම හරියට ඇවිදලත් නැති එකේ මෙන්න මේ ලෙටර් එක ගිහිං එයාර්ටෙල් එකට දීලා ඒකේ තියෙන වැඩ ටික කම්ප්ලීට් කරගෙන එන්න” යැයි කියාය.
මා වැනි බිළින්දෙක් මෙවැනි රාජකාරියක් සඳහා තනිව පිටත් කර හැරීමට මේ යකාට වටින්නේ නැත. නමුත් එදවස මා, කිසිඳු වටිනාකමක් නැති නවකයෙක් නිසා ඔහු, “ මුගෙන් මෙහෙම වැඩක්වත් කරගන්ට ඕනෑ” යයි සිතා මට මේ මඟුල භාර දුන් බව මට සිතෙයි. බිය, සංවේගය, සන්ත්රාසය, ශෝකය, භෞමික අඛණඩතාවය, ආදී අනේකවිධ හැඟීම් රාශියක් සමඟ මට “කක්කා බරක්” ද මෝදු විය. කොයි මඟුලටත් කලිං බර නිදහස් කරගත් මම ඉහත කී “භාරධූර ලිපිය” ද රැගෙන කපුගේ ගේ “මං මුලා වී පාර අසාගෙන” ගීතය මුමුණමින් “අමු හිඟන්නකු” මෙන් පාරට බැස්සේය.
ඔෆිස් එක පැත්තට හැරී හොඳින් කාරා “කෙළ පාරක්” ගසා, මහ එකාට, “උඹ ඕන ලිඟුවක් කරගනින්” යැයි කියා, ලියුමෙන් රොකට් එකක් හදා, ඉස්සරහ පෙට්ටි කඩෙන් “රබර් බෑන්ඩ්” පැකට්ටුවක් ගෙන ඒවා එක්කොට වැලක් හදා රොකට්ටුව එයට දමා නුවර – කොළඹ බස් එකකට නැඟ යන අතර මඟදී රොකට්ටුව කැළණි පාලම උඩින් ගුවන්ගත කරවා ගෙදර යාමට සිතුනමුත් අම්මාගෙන් “ඉලපත්” පාරක් කනවාට වඩා මේ මගුල අරගෙන කොහොම හරි යන එක වඩා හොඳ යැයි සිතුනි. එබැවින් ඉහත කිසිවක් නොකර ප්රවේසමට ලියුම් කවරයක බහාලූ ලියුමද රැගෙන “පිනා” වගේ කොටුවට ආවෙමි.
ටෙලිකොම් එක ළඟින් බැස “ලෝක වෙළඳ මධ්යස්ථනයේ (WTC) ඇති එයාර්ටෙල් එකට යෑමට පයින් ගමන් කලෙමි. මේ තඩි බිල්ඩිමට ලං වෙන්න වෙන්න මගේ පපු කුහරය මහා වේදනාවකින් රිදුම් දෙයි. ලෝක වෙළඳ මධ්යස්ථානය ඉදිරිපිට හිටගත් මට දැනුනේ, මා “ඩයිනෝසරයෙකුගේ” කකුලට පෑගීමට ඔන්න මෙන්න සිටින ජීවියකු මෙනි. දැන් නම් හොඳටම බය වෙලාය. කකුලුත් පන නෑ වාගේය. යටි බඩත් දනවාය. මේ තඩි බිල්ඩිමේ තට්ටුවක් තට්ටුවක් ගානේ ගිහින් “සර්, මේ එයාර්ටෙල් එකද” කියා අහන්ට ද.
“ඕන මඟුලක් වෙද්දෙන්, මුං මාව අඳුරන එකක් යැයි” හිතා ධෛර්යය ගෙන ඇතුලට ගොස් එහි වැඩ කරන අයකු යැයි සිතිය හැකි ඩයල් එකක් ගෙන්,
“සර් එයාර්ටෙල් එකට යන්නේ කොාහාම ද”
යැයි ඇසුවෙමි. ඔහු,
“සර් ලිෆ්ට් එකේ ලවන්’ත් ෆ්ලෝ එකට යන්න”
මල මගුලයි. ලවන්’ත් ෆ්ලෝ එකට නම් යතෑකි කියමුකෝ.
“ලිෆ්ට් එකේ…!”
අඩේ මේ ඉන්නේ අපේ හිතවතා “කැරකෙන පඩිපෙළ”. ඕකෙන් එකොලොස් වෙනි තට්ටුවට යනවැයි සිතා එයට ගොඩ වී එක තට්ටුවකට ගියෙමි. එතනින් අනෙකට මාර වී අනිත් තට්ටුවටත් ගියෙමි. එතනින් අ⁣නිත්.. “හුටා.. එතනින් එහාට කැරකෙන පඩිපෙළ නැත”. දැන් පළයංකෝ. ඊට පෙර ජීවිතේට ලිෆ්ට් එකක ගොස් නැත.
නුවර තැපැල් සංකීර්ණයේ 3 වන තට්ටුවේ තිබූ “වින්සන්ට් සර්” ගේ ඉකෝන් ක්ලාස් එකට යනවිට ලිෆ්ට් එක තිබුනද කැලරි දහනය කීරීමේ දැඩි ආශාවක් තිබූ අප එදවස එය දෙස හැරී බැලුවේවත් නැත. අප කලේ පඩි පෙළ නගින, බහින වාරයක් පාසා එහි සෑම තට්ටුවකම ඇති ලිෆ්ට් එකේ බොත්තම් ඔබා දුවමින් එහි ඇතුලත සිටියවුන්ට ලිෆ්ට් ගමන එපා කරවීම පමනි. මේ එහි කර්මය පල දෙන අවස්තාවයි.
මා වට පිට බැලුවේ එතනින් උඩට නැඟීමට “කඹයක්” හෝ ඇත් ද කියාය. එසේ නම් එය හෝ තරණය කර එකොලොස් වෙනි තට්ටුවට යා හැකිය. නැත.. එවන් කිසිවෙක් නැත. සිටියේ මා වැනිම ආතක් පාතක් නැතිව වට පිට බලමින් සිටි තවත් තලතුනා වයසේ අංකල් කෙනෙකි. මිනිසුන් බහුලව ගැවසෙන තැනක් උවද මද වෙලාවකින් ඔහුද මා වැනිම අසරණයෙකු යැයි මාගේ තීක්ෂන බුද්ධියට වැටහී ගියේය. මමද මද වෙලාවක් ඔහු දෙස බලා සිටියේ “මම ද උඹ වැනිම අසරණයෙක් ය” යන සිතුවිල්ල ඔහුට ජනිත වන තෙක්ය. ටික වෙලාවකින් අප දෙදෙනාගේ ඇස් ඔවුනොවුන් වෙලා ගත්තේය. අප දෙදෙනාම අප දෙදෙනා වෙත කෙමෙන් කෙමෙන් ළඟා විය. අංකල් ඉස්සර විය.
“මල්ලී කොහෙටද යන්නේ”
මම එයාර් ටෙල් එකට යන්න අයියේ”.
“ආහ්.. මමත් ඒකට යන්න තමයි. මට මේ ලිෆ්ට් එක ටිකක් අවුල්”
බැළු බැල්මට නම් ලිෆ්ට් එකේ කිසි අවුලක් නැත. එය නවීන විදුලි සෝපානයකි. “ආහ්.. දැට්ස් මා බෝයි” මූත් මගේ වර්ගේ එකෙක්. එල එල. දැන් තනියට මා වැනිම තවත් ගොනෙක් මට ඇත.
“ඕන එකක් වෙන්න ඕකේ දොර ඇරුනම අපි නගිමු අයියේ”
යැයි කියා අප දෙදෙන එය ඉදිරිපිට සිට ගතිමු. “ටොයිං” හඬින් සීනුව නාද වෙමින් දොර විවර විය. අප සමඟ ගෙඩවූ කිහිප දෙනෙක් ඇතුලත බොත්තම් කිහිපයක් එබුවේය. “ඒ පන්ඩිතකම් වැඩක් නෑ” යැයි මගේ හිත කියූ හෙයින් මම කිසිවක් නොකර ඇතුලට වී පාඩුවේ සිටියෙමි. දැන් ලිෆ්ට් එක උඩ යයි. අංකල් අයියා මට එහා පැත්තේ සිට උඩ බිම බලයි. කිසිවක් නොතේරුනද මා සියල්ල දන්නා එකකු මෙන් සිටියෙමි. අතර මඟින් එකා දෙන්නා බැස ගියේය. අවසාන මිනිසා බසින තෙක්ම අප බැස්සේ නැත. අවසාන පුද්ගලයා බැසගත් විට අපද ඔහු පසුපසින් බැස ගතිමි. බැසගත් මිනිසා අතුරුදන් වූවා වැනිය. කෙළවරක කාමරයක කාන්තාවක් සිටිනු දැක ක්ෂනිකව ඇය වෙත ගියෙමි.
“මිස් එයාර්ටෙල් එක..”
“ආහ්.. එයාර්ටෙල් එක ලවන්’ත් ෆ්ලෝ එකේ.
“එතකොට මේ..”
“මේ ෆෝටි ටූ”
නැවතත් පෙර කී කක්කා බර හැදින. වීදුරුවෙන් පිටත බැලූ කල ගමේ පන්සලේ චෛත්යයේ “චූඩා මානිඛ්ය” ද පෙනෙන තරම් උසය. ගැහෙන හදවතින් යුතුව අංකල් අයියා ද ඇදගෙන ගොස් නැවත ලිෆ්ට් එකට ගොඩ විය. එම ගමන වැඩි දුරක් නොගොස් මගින් බැස ගත්තේය.
“මිස් මේ කී වෙනි තට්ටුවද ?”
“ මේ තිස් හතර”
පිළිගැනීමේ නිලධාරිනියක යැයි සිතිය හැකි කාන්තාව පිළිතුරු දුන්නාය. මේ වන විට ලැජ්ජාවක් කියා දෙයක් තිබුනා නම් එය සහමුලින්ම හේදී ගොස් අවසාන වී තිබිනි. “ලැජ්ජාවද, එකොලොස් වෙනි තට්ටුවද” කියා මම හිතින් තර්ක කලෙමි. ලැජ්ජාව පරාද විය. එම සුරූපිනිය ඉදිරියේ මම මගේ ආත්ම අභිමානය පාවා දුන්නේය.
“අනේ මිස්, අපිට යන්න ඕන එකොලොස් වෙනි තට්ටුවට. අපි මේකේ යන්න දන්නේ නෑ. පොඩ්ඩක් කියලා දෙන්න බැයිද..”
කළු ගලක් වුව උණු වෙන තරම් අන්ත අසරණ ලෙස මා ඇයගෙන් අයැද සිටියෙමි. ඇය මාව සෝපානය වෙත රැගෙන ගොස් සියල්ල පැහැදිළි කර දුන්⁣නාය. මම හිස සොලවමින් කට ඇරගෙන අසා සිටියෙමි. දන ගසා වැඳීම උචිත නොවේ යැයි සිතූ මා ඇයට ස්තූති කර අංකල් අයියාද රැගෙන එකොළහ සො⁣යා ගියෙමි.
සැබවින්ම එකොලහ හමු විය. මගේ රාජකාරිය කර දීමට භාර වූ අක්කාගේ මේසයේ පැත්තෙන් සිටගත් මට පෙනුනේ ඇය බ්ලවුස් එකක් පමණක් හැඳ සිටින බවයි. මෙම කාර්යාල වල යටිකයද නිරුවත්ව රාජකාරී පැමිණීමට ඉඩ දී ඇතැයි මම සිතුවෙමි. නමුත් මට වැරදී තිබුනි. දෑසේ ඇති ලේසර් කිරන යවා ඇයව දැඩි පරීක්ෂාවකට ලක් කල පසු මට දිස් වූයේ ඇය අඟල් තුනක පමණ ඝනකමකින් යුත් “ස්කර්ට්” එකක් ද ඇය හැඳ සිටි බවයි.
ලේසර් කිරණ පරීක්ෂාව අතර මඟ ඇගෙත්, මගෙත් දෑස් එකිනෙකට හමු විය. ඇය මගේ හිත නොරිදෙන පරිදි ලඟ තිබූ ලිපිගොනුව නිරුවත් දෙපා මතින් තබා ගත්තාය. උදේම දැක්කේ කවුදැයි මට මතක නැත. ලැජ්ජා වීමේද සීමාවක් තිබිය යුතුය.
උපුටා ගැනීම: Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!