ලයිට්⁣බිලෙන් ලැබුණු සවිය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“පුතේ, වතුර එකක් බොමුද”
“අනේ හා නැන්දේ.පුදුම රස්න⁣යක්නෙ තියෙන්නෙ”
ඒ වෙද්දී කිලෝ මීටර් ගානක් ඇවිදලා හරිම තෙහෙට්ටුවෙන් හිටිය මට වතුර වීදුරුවක් ලොකු සහනයක් උනා.
“පුතා පයින්මද ආවේ.බයික් එකට මක් වෙලාද”
“ආ.. ඒක කැඩිලා නැන්දේ.හදන්න දාලා තියෙන්නෙ”
කටට ආපු බොරුව ඔහේ කියලා දැම්මේ ඒ වෙද්දි බයික් එකක් මට නැ කියලා කියන්න මදිකමක් වගේ දැනුන නිසා.ජොබ් එක හම්බෙලා යන්තම් මාස තුනයි.ගෙදර ප්රශ්නත් එක්ක බයික් එකක් ගන්න මං ඉක්මන් උනේ නැත්තෙ ඊට වඩා වැඩ ගොඩක් කරන්න තිබුණ නිසා.ඉතිං මාස ගානක්ම ගෙයක් ගෙයක් ගානේ ලයිට් බිල දාන්න පයින්ම යන්න උනා.
2019 දෙසැම්බර් 31.ඒ වෙද්දි මම හිටියෙ හලාවත.ජොබ් එකට ඇවිත් මාස ගානක්.එදා අපි කට්ටියම බීච් එකට ගිහින් පාර්ටී දාලා හිටියෙ හරිම විනෝදයෙන්.බෝඩිමට ඇවිත් කාලා නිදාගද්දිමුත් ඒ සතුට හිත්වල එහෙම්ම රැදිලා තිබ්බා.පහුවදා ජනවාරි පලවෙනිදා උදේම ඇහැරුණේ මහ විලාප හඩකුත් එක්කම.ගිහින් බලද්දි ළඟ තිබ්බ ෆාම් එකේ හෝ ගාලා මරණවා.කුකුල්ලු.උන් ජීවිතේ යදින්න වගේ කෑ ගහනවා.හිතට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්.
විශාල සතුටකින් අවසන් කරපු දවස පහුවදා පටන් ගන්න උනේ දරාගන්න බැරි කම්පනයකුත් එක්ක.ජීවිතේ තේරුමවත් හිතාගන්න බැරිව එදත් පුරුදු විදිහට රාජකාරීයට පිටත් උනා.
“මල්ලි වරෙන් අඹ කෑල්ලක් කන්න”
දුප්පත් මිනිස්සු ළඟ තිබ්බෙ පුදුම හිතවත්කමක්.අඹ කෑල්ලත් එක්ක මම ඒ හිතවත්කම විදින්න උනා.
“මේ ගස් දෙකක අඹද අයියේ.එකක් ඇඹුලයි.”
ඔව් ඇත්තටම ජීවිතෙත් මේ අඹ කෑල්ල වගේ. හැමවෙලාවෙම පැණිරස අඹ හම්බෙන්නැ වගේම හැම වෙලාවෙම ඇඹුල් අඹ හම්බෙන්නෙත් නැ.අඹ ඇඹුල් නම් නොකා ඉන්න පුලුවන්.ඒත් ජීවිතේ අසීරු තැන් අතහරින්න අපිට අයිතියක් නෑ.
දවසින් දවස ජීවිතේ ගැන පුදුම හිතෙන දේවල් වෙද්දි ගොඩක් මිනිස්සු හරි අපූරු පාඩම් ජීවිතේ⁣ට එකතු කලා.පුංචි ගෙදරක උනත් හරි අපූරුවට ජීවිත විදින මිනිස්සු හිටියා.
“ලයිට්බිල්කාරයා ඇවිත් වගේ පුතේ බිල ගන්න ගිහින්”
“ආ බිල්කඩන මහත්තයානේ. තේ එකක්වත් බීලා යන්ද”
” වැස්ස නේද පුතේ, පොඩ්ඩක් පායනකන් ඉදලා යන්න”
සමහර අයට ලයිට්බිල් කාරයා වෙච්ච සමහර අයට මහත්තයා වෙච්ච මම තවත් සමහර අයට පුතෙක් උනා.මොන විදිහකට කතා කළත් ඒ හැමෝම එක්ක සුහදව හිනාවෙන්න අමතක කලේ නැ.එත් පුතේ කියලා කතා කරද්දි හරි ලෙන්ගතුකමක් ඒ මිනිස්සු ළඟින් දැනුනා.
ජීවිතේ අනියත බව තේරුම් ගන්න මේ ජොබ් එක හොඳම අවස්ථාවක් විදිහටයි මට නම් දැනුනේ.හැම මාසෙකම එක දවසක් තිබුනා ජීවිතේ දුක්බරම දසුනක් දකින.ඇවිදගන්නවත් පණ නැති වයසක අම්මා කෙනෙක් ගෙදර පිලක් උඩ පැදුරක් එලලා නිදාගෙන හිටියා.දැකපු පලවෙනි දවසෙ නම් හිතුණේ දාඩිය නිසාවත් පිලට වෙලා ඉන්නවා ඇති කියලා.ඒත් ටික ටික කල් යද්දි වැටහුණා ඒ වයසක අම්මට තමන්ගෙම පුතාගෙන් ලැබෙන සැලකිලිවල ප්රමාණය මත ඒ අම්මා එහෙම ඉන්න බව.පුංචි කාලේ කැත කුණු අත ගාලා නාවලා තිබ්බ ළමයා අම්මව ඔහේ ජරා ගොඩේ ඉන්න ඉඩ අැරලා තිබ්බා.දවසක් එද්දි ඒ අම්මා එතන හිටියෙ නැ.වටේට තිබ්බ සුදු කොඩි නොකියා කීවා වයසක අම්මා නිවන් ගිහින් කියලා.හොඳම කතාව උනේ ඊට මාස දෙක තුනකට පස්සෙ. ඒ ගෙදරට එද්දි හොදට හිටපු පුතා ඇවිදගන්න බැරි අබ්බගාතයෙක් වෙලා හිටියා.ජීවිතේ සිදු කරගන්න පව් මේ ආත්මෙම පලිසන් දෙන විදිහ ඇස් දෙකටම දැකගන්න පුලුවන් උනේ ජොබ් එකට පිං සිද්ධ වෙන්න.
මැටි ගහපු හරියට වහලයක්වත් නැති ගෙවල් අතර මහ විශාල තාප්ප බැදන් ජීවත් උන මිනිස්සුත් හිටියා.තිබහට වතුර වීදුරුවක් වත් දෙන්න එළියට ආවේ අර දුප්පත් යැයි කියන මිනිස්සු විතරයි.තාප්ප වලින් වට කරලා තාප්පෙටම මීටරෙත් හයි කරලා තැපැල් පෙට්ටියට බිල දාන්න තිබ්බ ගෙවල් කියලා දුන්නා මේ ගේට්ටුවෙන් ඇතුලට එන්න පුලුවන් පෝසතෙක්ටම විතරයි කියලා.
හරියටම දවසට කිලෝමීටර් දෙසිය ගානක් බයික් එකේ එහෙට මෙහෙට යනකොට ජොබ් එක එපාම උනත් ජීවිතය ගැන උගන්වන පාඩම් හැම දෙයක්ම දරාගන්න කියලා දුන්නා.
⁣මේ දවස්වල වේලක් කන්න හොයාගන්න නැති මිනිස්සු ඔහේ පිල උඩට වෙලා ඉදන් ඉද්දි ජීවිතේ අපි විදින ප්රශ්න මොනවද කියලා හිතුන වාර අනන්තයි.වැඩට යන ගමන් පුලුවන් විදිහට අසරණම ගෙවල් කිහිපයකට උදව් කලේ කුසගින්නක වේදනාව හොදටම විදලා තිබුණ නිසා.
හැමදාම මහ පාන්දර නැගිටලා මහ දුරක් ගෙවාගෙන යන රැකියාව දුෂ්කර උනත් ඒ රැකියාවට මම හදවතින්ම ගරු කරන්නෙ බඩකට පුරවන රස්සාව නිසා විතරක්ම නෙමෙයි ජීවිතේ ගැන පාඩම් උගන්වන රස්සාවකුත් වන නිසා.
උපුටා ගැනීම: Hirusha Wijerathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!