මම උදේම නැගිටිනකොට පොඩි අයියා වැඩට යන්න ලෑස්ති වෙනවා ඇහුනා.
” මේ පොඩි අයියෙ හවසට මට පෝස් කාඩ් ටිකක් අරන් එනවද? තව සුවද පත්තරෙත් අරන් එන්න හොදේ” මම කාමරේ ඉදන්ම කෑගැහුවා.
” අනේ මේ උඹ එහෙම මෙයාට ඕවා අරන් එනව නෙමෙයි . බලහන් දවස් කීයද එක පෝස් කාඩ් මිටියක්. උඹට රටේම තියෙන සිංදු ඉල්ලලා රේඩියෝ එකට ඕවා යවන්න. මේ ලමයා සල්ලි ගස් වලින් කඩනවා කියලද මන්දා මේකි හිතන් ඉන්නෙ. ” අම්මා ආඩපාලී කිව්වා. කොහොම ආඩපාලි කිව්වත් හැමෝම මට හරි ආදරෙයි.
මගෙ ජීවිතේ ගෙවෙන්නෙ රෝද පුටුව උඩ. මගෙ කකුල් දෙක හරියට වැඩිලා නැති නිසා මට ඇවිදින්න බෑ . දවසෙම රේඩියෝ එකේ තරග වලට පෝස්ට් කාඩ් දාන එක තමයි මගෙ රාජකාරිය කියලයි අම්මා කියන්නෙ. මට ඉද හිට තෑගිත් ඇදිල තියෙනවා. සිංදුත් ඉල්ලලා යවනවා. ඉරිදා පත්තරේ ප්රෙහෙලිකාව නම් මම අනිවාර්යෙන් පුරවල යවනවා.
” අද මේ ගීත ඉල්ලීම බද්දෙගම ගීතිකා වෙනුවෙන්. ගීතය අහන්න ඇය සමග එක්ක එකතුවෙන්නෙ අම්මා දයාවතී, අයියා සරත්, එහා ගෙදර අක්කා තමරා හා ප්රේමතිලක අයියා. මෙන්න එහෙනම් ඔබේ ගීතය නිරංජලා සරෝජනී මහත්මියගෙ මිනි මිනි පොදේ ලා ඇදුරේ තෙමි තෙමි ගියදා”
මගෙ නමත් ඒ කාලෙ ගාමා ගාමිනීලගෙ තරම්ම ප්රසිද්ධයි රේඩියෝ එකේ. අපෙ අම්මානම් බනිනවා ඔය සල්ලි වලින් ආප්ප කෑවනම් ඒක ඇගට හරි තියෙනවා කියලා.
පහුගිය චන්දෙ වෙනකන් මං ගියේ කිහිලි කරුවලින්. චන්දෙ වෙලාවෙ පලාත් සභාවෙ මංත්රී තුමා රෝද පුටුවක් ආධාර දුන්නා. ඒ නිසා මගෙ මුල්ම චන්දෙත් මම දුන්නෙ එතුමට. අයියා නම් රතු කමිස කාරයා. එයාගෙ හිත රිදුනා මම මන්ත්රීට චන්දෙ දුන්නා කියලා.
” අම්මා අප්පාටවත් කරන්න බැරි උදව්වක් කරපු එතුමට චන්දෙ නොදී කොහොමද බං. ඒක මහ ගුණමකු වැඩක්නෙ. ඇරත් උඹ ඕව කා එක්කවත් කියවන්න යන්න එපා. උඹගෙ කටින් ඕව පිට වෙනකොටත් මට බයයි කාට හරි ඇහේවි කියලා. මගෙ හිතට ගින්දර දෙන්න එපා පුතේ. උඹට බෑ තනියම රටක් හදන්න” අම්මා එතකොට කිව්වා.
“අනේ අම්මේ ඕවා එයාගෙ පෞද්ගලික ධනය නෙමෙයි . කැරකිලා ගියාම අපේ බඩට ගහල ගත්ත ඒවා ” අයියා ආයිත් කිව්වා.
” අනේ අයියෙ මට ඔය අණ්ඩර දෙමල තේරෙන්නෙ නෑ. ඇරත් මේ රෝද පුටුවෙන්ම ගිහින් වෙන මිනිහෙක්ට කතිරෙ ගැහුවොත් ඒක මට සාප වේවි. ” මම කිව්වා.
” උඹලා වගේ ගොන්නු ඉන්නකන් අපි ඔතනම තමයි. ගගෙන් ගොඩ උනාම ඔරුව කරේ තියන් එන්නෙ කවුද ගොන් නෑම්ඹියේ” අයියා කිව්වා.
” අනේ මන්ද අනේ ඔය තරම් බරපතලෙට මේ එක චන්දයක් ගනන් ගන්නෙ මොකටද? ” මම ආයිත් කිව්වා.
” එක එක එකතුවෙලා තමයි ගොඩ වැඩි වෙන්නෙ. කොහෙද ඉතින් වාඩි වෙලා ඉන්නෙ මොලේ උඩනෙ.”
කොහොම උනත් මම මන්ත්රී තුමාට චන්දෙ දුන්නා. නැත්නම් මගෙ හර්ද සාක්ශිය කවදහරි මට දොස් කියාවි. එක එක චන්ද මහ ගොඩක් එකතු වෙලා එතුමා පාර්ලිමේන්තු ගිහින් තිබ්බා.
අපි හිටියෙ බන්ට් එක පාරෙ. ලොකුවට සල්ලි තිබුනෙත් නෑ ඒත් අගහිගයක් තිබුනෙත් නෑ. මම ඉස්කෝලෙට ගියේ විභාගෙ ලියන්න විතරයි. මේ විදියට ඉස්කෝලෙ යන එක මට හරි කරදරයක් වෙලා තිබුනෙ. විභාගෙ පාස් වෙලා තිබුනත් උසස් පෙල නොකරෙ රස්සාවක් කරන්න මේ විදියට පුලුවන් කමක් තිබුනෙ නැති හින්දා.
මම දැනට හික්කඩුවෙ සුද්දන්ට බඩු විකුණන කඩේකට සුවද ජාති පැකට් කරල දානවා. ඒ කිව්වෙ ගානට කපපු කුරුදු, සාදික්කා , එනසාල් වගේ ඒවා. මම ඒවා පැකට් කරේ යකඩ පීරි කෑල්ලක් ඇතුලට දාල පොලිතින් කවරෙ කට නවල ඒ නැවුම් දාරෙ පොල්තෙල් පානට අල්ලල. ඒක ටිකක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. පුරුදු උනාම කොයිකත් අමාරු නෑ.
මම මේ කිට්ටුව කඩ වලට පාන්තිර පැකට්, ආප්ප සෝඩා පැකට් වගේ ඒවත් දානවා. කොච්චර ගන්න තැන් තිබුනත් ඒ මිනිස්සු ඒවා ගන්නෙ මගෙන්ම විතරයි. ඒක අනුකම්පාව නිසා බව මම දන්නවා. ඒත් අයියා නම් කිව්වෙ මගෙ බඩු හොද නිසා මගෙන් ගන්නවා ඇති කියලා. අනේ ඉතින් ආප්ප සෝඩා මම හදන එකක් යෑ. තොගේට කොහෙන් හරි ගෙනල්ලා තේ හැන්දෙන් දෙකක් දාල පැකට් කරන එකනෙ.
මම සාලෙ දිග ජනේලෙ ලග අයිනෙ ඉදන් අඩුම කුඩුම ටිකත් මගෙ ලගින් තියන් රේඩියෝ එක දාගෙන සින්දුවක් අහන ගමන් වැඩත් කරනවා. බොහෝ දෙනෙක් ඔය යන ගමන් නැවතිලා මාත් එක්ක කතා කරල තමයි යන්නෙ. ඉදහිටක කෙනෙක් ලියුමක් ලියාගන්නත් එනවා. මට ඔය රාජකාරි ලියුම් නියමෙට ගලපන්න පුලුවන් බව ගමේ අය කියනවා.
රාජකාරි ලියුම් වගේම මට හොදට ආදර ලිපි ලියන්නත් පුලුවන් කියලා තමරා අක්කා කියනවා. තමරා අක්කා ඉන්නෙ අපේ එහා ගෙදර. එයාට අකුරු බෑ. මම තමයි ප්රේමතිලක අයියට එයා වෙනුවෙන් ලියුම් ලියන්නෙ. මම ඉතින් තමරක්ක ගෙනත් දෙන්න පාට පට කොල වල ලියුම් ලියල දෙනවා. සමහර ඒවාවල හංස ජෝඩු ඉන්න පොටෝ, හදවත් , රෝසමල් එහෙමත් තියෙනවා. ප්රේමතිලක අයියා වැඩ කරේ හන්දියෙ තිබ්බ තොග කඩේ. තමරක්කගෙ ලියුම් වලට පවුඩර් එහෙම දාලා සෙන්ට් එහෙම ගහල සුවද කරල දෙන බව තමයි කියල තියෙන්නෙ. ප්රේම් අයියගෙ ඒව නම් කරවල ගදයි කියල අක්කා කියනවා. පව් අයියා එතන බඩු දෙන එකනෙ කරන්නෙ.
ලියුම් ලියනකොට ඕන එකක් මට ඕන විදියට ලියතෑකි. තමරක්කට යන්තම් ගැටගහගෙන කියවගන්න පුලුවන්. ඒත් වැඩියෙන්ම එයාගෙ ලියුම් කියවන්නෙ මම. ගොඩක් වෙලාවට දවස් දෙකකට සැරයක් ලියුමක් ලිව්වා.
” මේ නංගි ඔය ගැලපෙන සිංදු කෑලි එහෙම දාල ලියහන්. උඹ ඉතින් රේඩියෝ එකේමනෙ ඉන්නෙ” තමරක්කා කියනවා. මුලදි මුලදි මට අනුන්ගෙ ලියුම් ලියන කියවන එක හරිම අපහසු වැඩක් උනා. කාලයක් යනකොට මාත් ඒවට පුරුදු උනා.
” දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් වෙමින් උතුරා යන විඩාවට
පිපි මලක් උනා මල් නොපිපුන තටාකෙට
ඔබ අගෙයි තමරො හෙට අදටත් වඩා මට”
දවසක් ලියුමෙ අන්තිමට ප්රේමයියා ලියල තිබ්බා.
” අනේ බං නංගියෙ අපේ ප්රේම් ජෝති පිස්සෙක්. මේකට උත්තර යවනකොට අපිත් සින්දු කෑල්ලක් ලියල යවමුකො” කියලා තමරා අක්කා ඇස් නටව නටව කිව්වා.
” තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති
එකම සම්පත ” අපිත් ලියලා යැව්වා.
මම ඔය රේඩියෝ සිලෝන් එකේ යන ආරාධනා අහනවා රෑට. ඒකෙ යන සිංදු කොයිකත් ලියතෑකි ලියුම් වලට. හොද එකක් ඇහුනාම මම පොතක ලියල තියනවා ඊලග දවසෙ ලියුමෙ ලියන්න.
” නින්ද නේන රාත්රියේ මේ පාලු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ” කියලා තව දවසක් ලියල තිබ්බා.
තමරක්කා කිව්වෙ එයාගෙ නමේ අනිත් කෑල්ල කාන්ති හින්දා මේක එවන්න ඇති කියලා. සමහර වෙලාවට ප්රේමයියා දවසක් දෙකක් නොදැකපු දවසට තමරක්කගෙ ලියුම් දුක් පිරුණු ඒවා.
” ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දෙඇසේ කැවේ කැවේ වැලි ලෑවිලා සේ” කියලා අපි ලියල යැව්වා.
කාලයක් යනකොට ලියුම් එනකන් තමරක්කට වඩා මම බලන් ඉන්නවා කියලා මට තේරුනා. මගෙ හිතත් නැවුම් හැගීමකින් පිරිලයි තිබුනෙ. හැබැයි ඒ ප්රේමතිලක අයියා වෙනුවෙන් නම් නෙමෙයි . ඒ මම උත්තර ලිව්ව මගෙ හිතේ හිටපු කෙනා වෙනුවෙන්. මට හිතුනෙ මං වෙනුවෙනුත් කවුරුහරි ඉන්නවා කියලා
සමහර වෙලාවට මම මට ඕන ඒවත් ලියල යවනවා. ඒවට ගැලපෙන්නම පිලිතුරු එනවා වෙලාවකට. ප්රේමයියා පව් කියලත් මට වෙලාවකට හිතෙනවා. එයා හිතනව ඇති මේවා ඔක්කොම ලියන්නෙ තමරක්කා කියලා.
ඒත් ඇත්තටම පව් ප්රේමතිලක අයියා නෙමෙයි කිසිම දවසක එහෙම දෙයක් වෙයි කියල හිතන්නවත් බැරි මම නේද කියලා මගෙ හිත කිව්වා. කොයි මිනිහද කකුල් දෙකක් හරියට නැති, තනියම හිටගෙන ඉන්නවත් වාරුවක් නැති කෙල්ලෙක්ව බදින්න කැමති වෙන්නෙ.
කාලෙකට ඉස්සර මෙහේ ලියුම් ගෙනාව පියුම් කොලුවා පාරෙ ඉදන් මට පේන්න නිතර එහෙ මෙහෙ ගියා. අපිට ලියුම් දෙන්න ආව වෙලාවක අම්මා තමයි ලියුම ගත්තෙ පාරට ගිහින්. මාත් දොර ලගට ගියාම තමයි මිනිහා දකින්න ඇත්තෙ මම ඉන්නෙ රෝද පුටුවෙ කියලා. ඊලග දවසෙ ඉදන් මේ පැත්ත නොබලම බයිසිකලේ පාගලා යනවා. ඕව ඉවර වෙන්නෙ ඔන්න ඔහොම. බලාපොරොත්තු කඩවීම් එක්ක. මම කවුද කියන එක මම වටහාගෙන ජීවත් වීම තමයි වැඩියෙන්ම වටින්නෙ.
අපේ අම්මා නිතරම මං ගැන හරියට දුක් වුනා.
” අනේ පුතේ මේ නංගි ගැනවත් හිතල ඔය දේසපාලනෙ අතෑරල දාපන්. මම මැරුන දාට උඹත් නැති උනොත් ඒ අහින්සකීව කවුද බලන්නෙ” අම්මා නිතරම අයියට කිව්වා. අපෙ අම්මා ඒ ගැන නිතරම විස්සෝප උනා. මං හම්බවෙන්න උන්න කාලෙ අම්මව පිස්සු බල්ලෙක් කාල ඒකට විදපු බේත් සැරට මට මෙහෙම උනා කියලයි අම්මා කියන්නෙ.
“මේ මං පතාගෙන ආපු විදිය අම්මෙ. අම්මා ඔය ගැන හිතන්න එපා. මට අම්මයි අයියයි ඉන්නෙ. ඒ මදැයි. ” මම අම්මගෙ කදුලු පීදන ගමන් එහෙම කියනවා.
අපේ ලියුම් ගනු දෙනුවත් දිගටම කෙරුනා. තමරක්කා ගැන ලගදිම දවසක ගෙදරින් අහන්න ප්රේමයියා එනවා කියල එකක ලියා තිබ්බා. මට දැනුනෙ දුකක්. ලියුම් ලියවිල්ල නැතිවෙයිද කියලා. මම ඊලග ලියුමෙ ලියල යැව්වා ගෙදර ආවට කමක් නෑ. අපි ලියුම් ලියමු. හැමදේම කටින් කියනවට වඩා ලියන එක ලේසිනෙ කියලා.
දවස් දෙක තුනක් තමරක්කා අපේ ගෙදර ආවෙ නෑ . මම හිතුවෙ අක්කා අසනීපෙන්ද කියලා. මම ඒ ගොල්ලන්ගෙ සූකිරියගෙන් ඇහුවා අක්කට මක් වෙලාද කියලා. මට ඉතින් ගිහින් බලන්න පුලුවන් එකක් යෑ. අක්කා හන්දියෙ අලුතින් දාපු ගාමන්ට් එකට යනවනෙ කියලා ඌ කෝටුවෙන් ගහ ගහ ආව රෝදෙ පද්දගෙන ඉගිලිලා ගියා. කොහොම උනත් ලියුම ලියාගන්න ඒවිනෙ.
ඊලග දවසෙ තමරක්ක ආවා. එයාට නිවාඩුලු. වැඩත් හොදයි කිව්වා. නිකං ගෙදර ඉන්නවට වඩා කීයක් හරි හම්බ කරගන්න තියෙනවනම් හොදයිනෙ නංගියෙ තමරක්කා කිව්වා.
” ප්රේමතිලක අයියාව හම්බවුනේ නැද්ද ඉතින්. “මම ඇහුවා.
” මේ දවස් වල කඩේ හිටිය මුදලාලි මහත්තයගෙ පුතා, පොඩි මහත්තයාත් විස්ස විද්යාලෙට ගිහුන් හින්දා කඩේ වැඩ වැඩි වෙලා කිව්වෙ. ඒ නිසා ලොකු විවේකයක් නෑ කිව්වා” තමරක්කගෙ මූන මැලවිල ගියා.
” එතකොට ලියුං” මම එහෙම කිව්වම තමරක්කා හතරට නවපු කොල කෑල්ලක් මේසෙ උඩින් තිබ්බා. ඒකෙ තිබ්බෙ මොන්ටිසෝරි ලමයෙක්ගෙ වගේ ලොකු අකුරු. මේ මොකද්ද මේ.
” අදර තමර
මිට පසසෙ මම ලපි ලයන්න නැ. ගෙදර එන්න්ම්.
මිට
අදර පමතලක.
මම ලියුම අතේ තියන් එක පාරට හිස් වෙච්ච මගෙ පපුවෙ සද්දෙ අහගෙන හිටියා.
( පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි )
උපුටා ගැනීම: Buddhika Abeysundara