ලෙලි ගිය සෙල්ලම (ඉස්කෝලේ කාලේ රස කතා )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෙලි ගිය සෙල්ලම

දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ… හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ…”
හාර මසක් මුළුල්ලේ අටුවා ටීකා වනපොත් කරමින් මහා ජාතකට්ඨ කතා ග්‍රන්ථාරූඪ කළ පුස්තක, මසක් පුරාවට වේයන්ගේ රජදහනක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නටයි නිවාඩු කාලෙක මගේ නම් ලකලෑස්තිය. මොකෝ කිව්වොත් ආයුබොවන්ඩ, ඉස්කෝලෙත් ගොහින් අමතර පන්තිත් බඩගාල හොම්බෙන් යන සයිස් එකට පත් වුණාම නිවාඩුවක්‍ කියන්නෙම මට මරු කතරට දිය බිදක් ඉසින්නාම වාගේ වැඩක්. වාරෙ අන්තිම සතියේ නිවාඩුවට ඇගිලි ගනින මං නිවාඩු කාලෙ හොද අඩව්වක් අල්ලන්ඩමයි මග බලාන උන්නේ.
ඔන්න ඉතින් නිවාඩුවත් ලැබුණයි කියමුකෝ. අපේ පවුලම තකහනියක් කදමලුත් පොදි බැදන් ගියපි අත්තම්මාලෑ දිහා. ඔයි දිහා ඉන්නවා සෙල්ලම ජීවිතය කොට ඕනෑම සෙල්ලමක් ලෙල්ලමක් කිරීමට උපන් හපන් අක්කෙකුයි, අයියෙකුයි මලණ්ඩියකුයි. මේ උන්දලාට මාත් එක්කාසු වුණාම නම් ඔන්න කොහොඹ ගහට කරවිල වැල ගියා වාගෙම තමා ආයුබොවන්ඩ. ආයෙ ඉතින් සෙල්ලම ලෙල්ලම වුණත් නම් අපි  නං නෙවේ ඕං සැලෙන්නෙ නම්.
ඉතින් ආයුබොවන්ට ඔය කාණ්ඩෙ හිටපු මහදැනමුත්තා තමා ඔය අයියණ්ඩියා. උන්දැගෙ උප්පැන්න සහතිකේ නම ‘කවිෂ්ක’ උනාට  කාගෙ කාගෙත් හිත පිරෙන්නෙ මෙ උන්දැට ‘කවිට්ටයා’ කිව්වමලු. කවිට්ටයගෙ අන්තේවාසික වුනේ අපේ සුදු මල්ලියා. මේ පොඩි එකාට හිටපි ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ අක්කණ්ඩියෙක්. ඔය අක්කණ්ඩියි මායි ඉතින් රයිගමයයි ගම්පලයයි වාගේම ගජ යාළුයි.

අලින්ටයි ළමයින්ටයි එකතැන ඉන්‍ට බෑ කියනවලුනේ. අපිටත් ඔන්න කොරන්ට ලෙලියන සෙල්ලම් වැහි වැහැල. ඔයින් එකකි සාස්තර බැලිල්ල. කොළ අත්තකුත් කඩාගෙන මිදුල මැද තියාගත්තු බංකුවේ ඉදගෙන ගිරිය කඩාන කෑ මොර දෙන එකත් ඕකෙම කොටහක්.

“සාස්තරේ ….කියනවා…මාත්තියා නෝනා එන්ඩ සාශ්තරේ තමා කියනවා… අත බලලා කියනවා..කට බලලා කියනවා… කන පලලා කියනවා..ඔලු පලලා කියනවා.. ශාත්තරේ ශාත්තරේ… ටක්කෙටම කියනවා … ඉදං කියනවා…හිටං කියනවා…”

මෙකී නොකී විහිළු තහළු කෝටියයි. ඕක අන්තිමට අහවර වෙන්නෙ නම් ඉතින් ගුටි කෙලියකින් පස්සෙ ඔක්කෝම සමාදානයෙන් සැතපුනාට පස්සෙ ඕං. මොකෝ ඉතින් කාටත් වචනයක් වරදින්න බෑනෙ අපෙ ආයුබොවන්ඩ.

තවත් දවසක ඔයි අක්කණ්ඩියි මායි පිලේ බංකුවක හරි බරි ගැහිල වාඩිගෙන හොර රහසෙම රසබර කතාවක. අපි ඉදගෙන හිටපු  බංකුවට ටිකාක් එහායින් ඒ කාලෙ නැන්දා පෝච්චිවල වවලා තිබ්බා ඔය පතොක් ගස් වගයක්.
කොහොමින් කොහොමහරි කතාව දැන් සුද්දා මල්ලියා ගැන. මේ පවුලම දවසක් ගිහිල්ලලු නෑදෑ වෙන අක්කෙක්ගෙ කොටහළු උත්සවේකට..ඒ කාලේ ඉතින් ඔව්වත් හරි කතා නොවැ. ඉතින් ඕකෙදි මලයා හරි සද්දෙන්ම නැන්දාගෙන් ඇහුවලු “අම්මෙ මටත් පාටියක් දානවනේ”දැයි  කියලා. ලැජ්ජාවේ බැරිලු.
අම්මෝ ඉතින් අක්කත් ඉතින්  දිග පත හෑල්ලක් ඇද බානවා. හිනාව දෝරෙ ගලනවා.  ඔය ඉන්න අල්ල පනල්ලේ මොකෙද්දෝ එකෙක් ‘ බුහ් ‘ ගාගෙන අපේ ඇගට කඩා පැනපි. “අම්මෝ” මහ දවාලෙ මහසෝනා අන්කල් සෙට් වුණා තමා කියල කකුල් දෙකට පින් දීගෙන හැල්මේ දුවනවෝ කියලා නැගිට්ටේ. ඒ පාරට බංකුවත් පෙරලෝගෙන අපි දෙන්නා හොග් ගාල බිම.
පතොක් පෝච්චි උඩ අපි ඩබල සෙත්තප්පෝච්චි..අහෝ දුකකි..ඉරකි තිතකි. පතොක් කටු ඇනිලා හරි සනීපේ බැරුවා. ඔය අස්සෙ මෙන්න ඉන්නවා කොලු ගැටයො දෙන්නා හූ කිය කිය අපිට හිනා වෙවී. “හූ ඇද්ද.. අපිට හොරෙන් රහස් කිව්වා හූ” අනේ උන්ගෙ සිරික්කිය. “ඔහෙ හිටු” කියල අපෙත් තියෙන එකම විනෝදෙට එදත් ඔන්න වලියකට අත් පොත් තියන්ඩ නම් පසුබට වුණේ නෑ අපෙ මිත්‍රවරුනි.

මේ ඇත්තොන්ට කියන්ට.. ඔය ගෙවල් ගාව තියේ පොඩි ඔයක්. ඒකෙ හරි හරියට පොඩි මාලු පොඩිත්තෝ. සීයා හදල දෙන ගොක්කොළ නලාවකුත් පිබ පිබ දවල්ට අපි යනව උන්ට කන්ට බත් ඇට දාන්ට. ඔයි අස්සෙ හම්බෙන බිලිං ගස්වල ගෙඩිවලට වගකියන්නෙත් ඉතින් අපිම තමා. අපි දාන බත් ඩිංගකට උන් පොරකන හැටි බලන්ට ලස්සනේ බැරුවා. තව ඔය දෙපැත්තෙ තියේ ගස්වලින් එල්ලෙන වැල් වගේ අතුවලින් ඔංචිල්ලා හැදිලා. ඕකත් පදින ගමන් රිලා මොටං සෙල්ලමකුත් කොරන අපි යනවා ඔයේ ඇති පොඩි උල්පතක් බලා කියා ගන්ට. ඕකෙන් තමා ඕං වතුර ගලන් එන්නෙ නං. අපි ඔතන ගිහින් කකුල ඔබාගෙන ඉන්නකොට කකුල ගිහින් පල්ලෙහටම එරිලා. “අම්බෝ මං ගිලෙනෝ ” කියල කෑ ගහල පොඩි ඇක්ටින් පාරකුත් දාලා හරි විනෝදයක් ගන්ටත් අපිට නම් අමතක නම් වෙන්නෙ නෑ ඕං.

දවසක ඔන්න අපේ කොලු ගැටයො කෙහෙල් කදන් ලණුවලින් ගැට ගහල හදලලු පාරු කොටයක්. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු.අපි කෙල්ලො දෙන්නටත් ඉතින් ඕක ආරංචි වෙච්චි හැටියේ ගෙදරින් පැනගෙන කුඹුර මැදින් දුවපි ඔයට. අනේ අපේ සහෝදරයො දෙන්නට සහෝදර ප්‍රේමයෙන් වැද නමස්කාර කොට බැගෑපත්ව අපේ  කන්නලව්ව ඇරඹෙච්චි. උන්ටත් අපෙ වදේ පොරේ ඉවස ගන්ට බැරුවලු.ඔන්න හැරෙන පමාවෙන් අපි දෙපලත් නැගල පාරුවේ. අපිත් ඉතින් නැවේ කපිතාන් වගේ පාරුවෙ ඉස්සරහට වෙලා දැන් හෙන සීන් එකේ. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ…අලුතින් එක් වුණ හාල්මැස්සයි තල්මහයි හින්ද බර වැඩි වුණාදො මන්දා. පාරුව එහෙට පැද්දෙච්ච්… මෙහෙට පැද්දෙච්ච්… අපිත් බය වෙච්චි… හූත් කියවෙච්චි…
අසුරු සැණින් පාරුව කණපිට. අපිත් ගොහින් ඔයේම පතුලට. අනේ සංසාරේ වතුර ගොහිල්ල ඉහ මොලේ පවා. අද නං වලකජ්ජ ගහනවාමයි පුතේ… කවුද දෙයියනේ හිතුවෙ මෙච්චර අඩු වයසින් මැරෙයි කියල. විහින් කරගත්තුවම නොවෙයිද මේ. අසරණ හොද පුංචි දුවක් ලක් මෑණිට නැති වෙන්ටයි යන්නේ බොලව්..රට ජාතිය වෙනුවෙන් මා බේරාගනිල්ලා..
ඒ අස්සේ කළ කුසලාකුසල පවා සිහිවෙනවා මිත්‍රවරුනි.. මං නාකි වෙල පිනක් දහමක් කරගන්නකංවත් ඉවසපල්ලකො මාර පුත්තරයෝ..
කළ පව් අස්සෙ හැංගිමුත්තන් කරපු පිනක් හේතුකාරණා වුණා වගේ..කවුරුහරි පින්වන්තයෙක් අපිව ගොඩට ඇදල ගත්තයි කියමුකෝ.. දෙයියෝ අපේ මූණ බලල මයෙ හිතේ..ගොඩට ගිහින් බැලින්නම් මේ අපේ ලොකූ අප්පොච්චා නොවැ. “හික් හික් හික්” එතුමාගේ ජාතිය ඇමතිල්ලටත් සවන් දීල තෙමිච්ච කුකුළු පැටව් ටික ගෙදරට ගෑටුවලු ඕං හීන් සීරුවේ… එදා මරණප්‍රාප්ත වුණා නම් හෙම අද මෙහෙව් ලිපියකුත් නෑ නෙවැ. ඒ වුණත් අපේ නං නොවේ දාංගලේ අඩුවුණේ ඕං. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වලුනෙ යාළු…

චතුරිකා අබේසේකර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!