‘Lobbying’ එහෙමත් නැත්නම් “ලොබි කිරීම” කියන්නේ වර්ථමානයේදී බහුලව දකින්නට ලැබෙන ජනප්රිය ව්යාපාරයක්. මෙතැනදි වෙන්නේ යම් රටක ආණ්ඩුවට වාසිදායක වන මතයක් හෝ ප්රතිපත්තියක් සඳහා වෙනත් රටක ආණ්ඩුවක අනුමැතිය හෝ රෙකමදාරුවක් ලබාගැනීමට තෙවැනි පාර්ශ්වයක් මැදිහත් වීම. ඕක තවත් පැහැදිලි කළොත්, ඊලාම් යුද්දේ අවසාන කාලයේදී දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වුණා සහ ඒ ගැන ජාත්යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා සමහර රටවල කියනවනේ. ඒත් අපි මේ චෝදනා ප්රතික්ෂේප කරන අතරම, එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පරීක්ෂණ කරන්නම් කියලා කියනවනේ. අන්න ඒ මතයට ඇමෙරිකානු රජයේ සහයෝගය සහ රෙකමදාරුවක් අපිට අවශ්ය කරනවා කියලා හිතන්නකෝ. අන්න ඒ සහයෝගය සහ රෙකමදාරුව අපට ගොඩනගලා දෙන එක තමයි “ලොබි කිරීම” කියන්නේ. මේ කපුකම කරලා දෙන මනුස්සයට තමයි “Lobbyist” එහෙමත් නැතිනම් “ලොබිකරුවා” කියන්නේ. ඔහුට බලවත් රටවල ඉහළ දේශපාලනඥයන් සමග සම්බන්ධකම් තියෙනවා. ඒ හරහා තමයි ඔවුන් අර වැඩේ කරලා දෙන්නේ. මේ ලොබි කිරීම වෙනුවෙන් ඔවුන් අපෙන් යම් ගාස්තුවක් අය කරනවා.
කැලිෆෝර්නියාව කේන්ද්ර කරගනිමින් ව්යාපාර කටයුතු සිදුකරන මේ වගේ ලොබිකරුවෙකුට පසුගියදා ඇමෙරිකානු අධිකරණය විසින් අවුරුදු 12 ක සිරදඬුමක් ලැබුණා. ඒ “ලොබි කිරීමට” මුවාවෙලා ඔහු සිදුකළ වංචාවන් සම්බන්ධයෙන්.
ඉමාඩ් සුබෙරි කියන මෙම පුද්ගලයා පාකිස්තානු සම්භවයක් ඇති ව්යාපාරිකයෙක් වගේම ඇමෙරිකානු මධ්යම රහස් ඔත්තු සේවයේ එහෙමත් නැතිනම් සී.අයි.ඒ. සංවිධානයේ හිටපු ඔත්තු කරුවෙක්. සුබෙරිට විරුද්ධව විභාග වුණු නඩුවේදී ඔහු සහ ශ්රී ලංකා රජය අතර සිදුවූ ගණුදෙනුවක් ගැනත් තොරතුරු අනාවරණය වුණා. ශ්රී ලංකාව විතරක් නෙමෙයි මේ හාදයා තුර්කිය, බහරේනය සහ ලිබියාව යන රටවල ආණ්ඩු සමගත් ගනුදෙනු කරලා තියෙනවා කියලා මේ නඩුවෙදි අනාවරණය වුණා.
තමන්ට වොෂිංටනය සමග සබඳතා ඇති බවත්, ඒවා පාවිච්චි කරලා ඇමෙරිකානු විදේශ ප්රතිපත්තියට බලපෑම් කළ හැකි බවත් කියලා තමයි ඔහු සිය ගණුදෙනුකරුවන්ව රවට්ටලා තියෙන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ශ්රී ලංකාවේ ප්රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා ශ්රී ලංකා රජය මේ සුබෙරි කියන පුද්ගලයව කුලියට අරගෙන තියෙන්නේ 2014 අවුරුද්දේ. ලොබි කිරීමට යන වියදම්, නෛතික වියදම් සහ ඇමෙරිකානු මාධ්ය හරහා ශ්රී ලංකාවේ ප්රතිරූපය වර්ධනය කිරීම සඳහා සැළකිය යුතු මුදලක් වැය වන බව සුබෙරි කියපු නිසා, 2014 වසරේ මාස 6 ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක ගාස්තුවක් සුබෙරිට ගෙවීමට ශ්රී ලංකා රජය එකඟ වෙලා තියෙනවා. මේ මුදල දළ වශයෙන් රුපියල් කෝටි 165 ක්.
මේ එකඟතාවයට ආපු දිනට පස්සේ දිනයේ ගිවිසුමේ මූලික ගෙවීම් විදිහට ශ්රී ලංකා රජය ඩොලර් මිලියන 3.5 ක්, නැතිනම් රුපියල් කෝටි 68 ක් සුබෙරිට ගෙවලා තියෙනවා. සුබෙරි මේ මුදලින් ඩොලර් මිලියන 1.6 ක් එයාගේ පෞද්ගලික ගිණුමට මාරු කරලා, තවත් ඩොලර් මිලියන 1.5 කින් දේපොළ මිලට අරගෙන තියෙනවා කියලා ඇමෙරිකානු අධිකරණයේදී අනාවරණය වුණා.
ශ්රී ලංකා මහ බැංකුව විසින් සුබෙරිට එයාගේ ගාස්තුව විදිහට ගෙවලා තියෙන මුළු මුදල ඩොලර් මිලියන 6.5 ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 127 ක්. මේ මුදලින් ඩොලර් මිලියන 5.65 ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 110 ක් සුබෙරි වැය කරලා තියෙන්නේ එයාගෙයි එයාගේ බිරිඳගෙයි ඕනෑ එපා කම් වෙනුවෙන්.
ශ්රී ලංකා රජය වෙනුවෙන් ලොබි කිරීම සඳහා ලොබිකරුවන්, මහජන සබඳතා ආයතනය සහ නීති ආයතන සඳහා සුබෙරි ගෙවලා තියෙන්නේ ඩොලර් 850,000 ක් විතරයි. ඒ මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 17 ක්. කොන්ත්රාත්තුවේ සඳහන් මුදල ශ්රී ලංකා රජය විසින් ගෙවලා නැති නිසා ඉතිරි මුදල් ගෙවීමට හැකියාවක් නැහැයි කියලා සුබෙරි මේ ආයතනවලට බොරු කියලත් තියෙනවා. බොරුකාරයෙක් එක්ක කරපු මේ ගනුදෙනුවෙනව් ශ්රී ලංකාවට අහිමි වුණු මුදල ඩොලර් මිලියන 6.5 ක් හෙවත් රුපියල් කෝටි 127 ක්.
ඒ වගේම ඇමෙරිකා රජයට බදු ගෙවීමේදී ශ්රී ලංකාවෙන් ලැබුණු ඩොලර් මිලියන 6.5 වෙනුවට ඔහුට ලැබුණේ ඩොලර් 558,233 ක් කියලා තමයි සුබෙරි ඇමෙරිකානු ආදායම් බදු දෙපාර්ථමේන්තුවට කියලා තියෙන්නේ. මේ යකා ශ්රී ලංකා රජය විතරක් නෙමෙයි, ඇමෙරිකානු රජයත් අන්දලා. ඒ වගේම මේ සුබෙරි කියන මිනිහට ලොබි කරුවෙක් නෙමෙයි, වංචාකාරයෙක් කියලත් ඇමෙරිකානු අධිකරණයේදී අනාවරණය වුණා.
වැඩේ කියන්නේ 2015 දී පත්වුණු යහපාලන ආණ්ඩුවත් මේ අසාර්ථක ගනුදෙනුව ගැන දැනගෙන හිටියා. ඒත් දන්නේ නැහැ වගේ සද්ද නැතුව හිටියා. ඔය දැන් අධිකරණයට අපහාස කළා කියලා හිරේ දාලා ඉන්න රංජන් රාමනායක “මුන් ඔක්කොම යාලුවෝ මල්ලි…” කියන්නේ නිකම් නෙමෙයි නේ…?
අන්තිමේදී ශ්රී ලංකා රජයට රුපියල් කෝටි 127 ක් වංචා කරපු වංචාකාරයට දඬුවම් කළේ, කොහේ වත් හිටපු ඇමෙරිකන්කාරයා. එක අතකට ලංකාවේ උන්ට වඩා විජාතික බලවේග හොඳයි අනේ.
– අනිල් කරැණාරත්න –